Wednesday, May 8, 2019

සිරගත කෙරුණු කෙටි කථාකරු නිදහස් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ශේප කෙරේ

ලේඛක ශක්තික සත්කුමාරගේ "අර්ධ" නමැති කෙටි කතාවට එරෙහිව පොල්ගහවෙලවෙල පොලීසිය මගින් පවරන ලද නඩුව ඊයේ (07) සිව්වන වරටත් පොල්ගහවෙලවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ කැදවිනි. මේවන විට රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින ශක්තික කෑගල්ල බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කරන ලදී.

අගතියට පත් යැයි කියන පාර්ශවය වෙනුවෙන් පෙර දින පරිදිම  නීතිඥවරැන් පෙනී සිටි අතර, සත්කුමාර වෙනුවෙන් නීතීඥ සී.ඩබ්.ඩබ්.රත්නායක, බුද්ධදේව ගුනරත්න, සහ සංජය විල්සන් පෙනී සිටියහ.

පොල්ගහවෙල පොලීසිය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සත්කුමාර විසින් තමන්ගේ "අර්ධ" නම් කෙටිකතාවේ අත්පිටපත මරදානේ පිහිටි ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන ආයතනයක් වෙත මුද්‍රණය සඳහා ලබා දී ඇති බවත් එම අත්පිටපත අද දිනයේ නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය. එසේම සත්කුමාර විසින් භාවිතා කරන ලද සිම්කාඩ්පත් දෙකක් පිලිබද වාර්ථා ලබාගැනීමට අවශ්‍යකර ඇති බැවින් ඒ සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසත් එම වාර්ථා ලැබෙන⁣ තෙක් සත්කුමාර නැවත රිමාන්ඩ් බන්ධනාගාර ගතකරන මෙන් මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියහ. පොල්ගහවෙල පොලීසිය තවදුරටත් කියාසිටියේ මීලග නඩුදිනය වනවිට මෙම නඩුවට අදාල පරීක්ෂණ සියල්ල අවසන් කළ හැකි බවයි.

සත්කුමාර වෙනුවෙන් පෙනීසිටි නීතීඥ සංජය විල්සන් අද දිනත් මූලික විරෝධතාවක් ගෙන එමින් සඳහන් කර සිටියේ, පොල්ගහවෙල පොලීසිය ප්‍රකාශකළ පරිදි මෙම කෙටිකතාව මුද්‍රණය සදහා ලබා දී ඇත්තේ මරදාන ප්‍රදේශයේ ප්‍රසිද්ධ මුද්‍රණාලයක් වෙත බැවින් ද අදාල කෙටි කථාව මරදාන ප්‍රදේශයේදී ම තම අන්තර්ජාල ගිනුමට   එකතු කරන ලද බවට සත්කුමාර ප්‍රකාශයක්ද ලබා දී අති තත්ත්වය තුල, කරනු ලැබ ඇතැයි කියන වැරදි සංස්ථාපිතව ඇත්තේ පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ අධිකරන බලයෙන් පිටත කලාපයක දී බැවින් අපරාධ නඩුවිධාන සංග්‍රහයේ 128 වගන්තිය ප්‍රකාරව මෙම නඩුව පවත්වාගෙන යාමට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට කිසිදු හැකියාවක් නොමැති බවත් ඒ මතම මෙම නඩුව මෙයින් අවසන් කල යුතු බවයි.

වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින්  නීතීඥ විල්සන් මූලිකවම පසුගිය නඩුවාරදෙකේ සැකකරු වෙනුවෙන් ඉදිරිපත් කල කරුණු නැවත පුනරුච්චාරනය කරන බව කියාසිටියේය. මුල් ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 20 වන වගන්තිය ලංකාවට ආදේශ  කිරීම සඳහා යොදා ඇති සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද සම්මුති පනතේ 3(1) වගන්තිය යොදා ගැනීම පිණිස අඩු තරමින් අදාල ක්‍රියාවන් ජාතික, වාර්ගික හෝ ආගමික කොටස් දෙකක් අතර අසමානතාවයකට, සතුරැකම් හෝ ප්‍රචන්ඩත්වයට තුඩුදිය හැකි වෛරය පතුරුවන ක්‍රියාවන් විය  යුතු බැවින් මෙම නඩුවේ චූදිතගේ ක්‍රියාවන්ට කිසිසේත් එම වගන්තිය අදාල නොවන බවත් එම වගන්තිය ප්‍රකාරව මෙම නඩුව පවරා පවත්වාගෙන යා නොහැකි බවත් නීතීඥවරයා සැල කළේය. එබැවින් සත්කුමාර මුල් අවස්ථාවේම නිදහස් කිරීම හෝ දන්ඩනීති සංග්‍රහයේ 291ආ යටතේ ඇපලබාදීම සිදුකල යුතු බවටද කරුණු දැක්විණි.

එසේම  දන්ඩනීති සංග්‍රහයේ 291ආ වගන්තියේ අන්තර්ගතය වෙත අධිකරණයේ අවධානය යොමුකරමින් ඔහු ප්‍රකාශ කර සිටියේ එම වගන්තිය ප්‍රකාරව නඩුවක් පවරා පවත්වාගෙන යාමට නම්  “ආගමික හැගීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශසහගත අදහසකින්" ක්‍රියාත්මක වූ බව ඔප්පුකල යුතු බවයි. මෙම 291ආ වගන්තිය යටතේ ලංකාවේ වාර්ථාගත වූ නඩු තීන්දු අල්ප නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරනය කල Naomi Michelle Cokeman v. AG,  SCFR 136/2014 නමැති නඩු තීන්දුවේ දී ආගමික හැගීම් කෙලෙසීම සඳහා ඒකාන්ත හා ද්වේශසහගත චේතනාවකින් අදාල ක්‍රියාව සිදුකල යුතු බවත් සැකකරු අත්අඩංගුවට ගන්නා මුල් අවස්ථාවේදී එම වේතනාව පිලිබඳ හුදු අනුමානයන්ගෙන් පමනක් පදනම් වෙමින් නඩු පැවරීමට  නොහැකි බව ශ්‍රෙෂ්ඨාධිකරණයේ මතය වූ බව අධිකරණයට කරුණු දැක්වණි. මේ තත්ත්වය ඉන්දීය නඩුතීන්දුවක් වන Mahendra Singh Dhoni v. Yerraguntla Shyamsundar තුලින් උපුටා දක්වමින් "යම් සමාජ කන්ඩායමක ආගමික ඇදහීම් වලට ද්වේශ සහගත චේතනාවකින් යුතුව සිදුකරන ලද ක්‍රියාවකට" එරෙහිව පමනක් නඩු පැවරිය හැකිබව පිලිගෙන තිබෙන බව නීතිඥවරයා අධිකරණයට කරුණු සැලකර සිටියේය.


ශ්‍රී ලංකා දණ්ඩ නීති  සංග්‍රහයේ 291ආ වගන්තිය සහ ඉන්දීය දණ්ඩ නීති  සංග්‍රහයේ 295A වගන්තිය එකිනෙකට සමානුරූපී වන බැවින් ඉන්දීය නඩු තීන්දු ශ්‍රී ලංකාවට ආදේශ කල හැකි බවට කරුණු ඉදිරිපත් කරමින් ඉන්දීය දණ්ඩ නීති  සංග්‍රහය නඩුතීන්දු සමඟ සාකච්ජා කොට ඇති Ratanlal & Dhirajalal's ‘The Indian Penal Code’ (33rd Edition, Lexis Nexis 2013) හි පිටු 443, 444 සහ පිටු 272, 273,274 වෙත අධිකරණයේ අවධාණය යොමු කරනු ලැබිණි.  අනුරූපී වගන්තියකට (153A) අදාලව Ghulam Sarwar AIR 1965 Pat393 නඩු තීන්දුවේ දක්වා ඇත්තේ ද්⁣වේශ සහගත් චේතනාව අනාවරණය කර ගැනීමට  නම් අදාල ප්‍රශ්න ගත ලේඛනයේ සමස්ථය දෙස බැලිය යුතු බවත්, එම ප්‍රකාශනයට පසුබිම් වූ කරැණු සලකා බැලිය යුතු බවත් කොටස් වශයන් අවධානය යොමුකරමින් චේතනාව පිලිබඳ නිගමනය නොකල යුතු බවත් දක්වා අැති බව අධිකරණයට සැල ⁣කෙරිණි.

නමුත් කවියෙකු ද වන තම සේවාදායක සත්කුමාරගේ සිදුවීමේදී කෙටිකතාවේ සමස්ථය කිසිලෙකින් සලකාබලා නොමැති බවත්, පොලීසිය විසින් මෙම  කෙටිකතාවේ සම්පූරණ ⁣පිටපත අධිකරණයටද ඉදිරිපත් කලේ දෙවන නඩුවාරයේදී බවත් නඩුව ගොනුකරන විට පොලීසිය සලකා බලා ඇත්තේ මුහුණු පොතේ පලකල කෙටිකතාවේ එක් කුඩා ජේදයක් පමනක්  බවත් අධිකරණයේ අවධානයට යොමුකර සිටි⁣යේය. එමනිසා සත්කුමාර පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වනවිටත් ඔහුගේ ද්වේශ සහගත චේතනාව ඔප්පුකීරිමට කිසිදු සාධකයක් පොලීසිය සතුනොවු බව පැහැදිලි කරුණක් බව නීතිඥවරයා අධිකරණයට ප්‍රකාශකර සිටියේය.
විශේෂයෙන් කොරෙයා එ. රැජින  නඩුවේදි උපුටා දක්වන ලද John Lewis & Co. Ltd . V. Times 1 ((1952) A.C. 676 at 691). නඩුවේ දැක්වෙන ආකාරයට,  යම් පොලිස් නිලධාරියෙක් වරෙන්තු රහිතව පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමක් සිදුකරනවා නම් ඔහු වැරදිකරුවන බවට සාක්ෂි ඒවන විටම සොයා⁣ගෙන තිබිය යුතු බවත් පුද්ගලයා රදවා තබාගනිමින් සාක්ෂි තහවුරු කරගැනීමට හෝ නඩුවේ ශක්තිමත්බව වැඩිකරගැනීමට කරුණු සෙවිය නොහැකි බවත් Lord Porter ඉහත නඩුතීන්දුවේදි අවධාරණය කර ඇති බවද අධිකරණයට කරුණු දැක්වීය. එහෙත් වරෙන්තු රහිතව සත්කුමාර අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ඉහත ආකාරයට ඔහුගේ වරදකාරීත්වය ඔප්පු කළ හැකි වනබවට කිසිදු සාධාරන නිගමනයකට පොලීසියට එලැඹීමට හැකියාවක් නොපැවති බවත් අවධාරණය කෙරණි.

එසේම සත්කුමාර දණ්ඩ නීතිසංග්‍රහය සහ  සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ පනත යටතේ  අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය යන සංවිධානයේ අඟුලුගල්ලේ සිරි ජිනානන්ද  නමැති භික්ෂුවක් විසින් පොලිස්පතිවරයාට පැමිනිලි ලිපියක් ඉදිරිපත් කර ඇතිබවත්, මිට පෙර මාලක දේවප්‍රියගේ “කනට පාරක් ” නම් ගුවන්විදුලි වැඩසටහනට විරැද්ධව පැමිණිලි කර නඩු පවරා ඇත්තේද එම පිරිසගේම අවශ්‍යතාවයට  බවත්, ඒ අනුව මෙම බෞද්ධ අන්තවාදි කණ්ඩායම් වල මෙහෙයවීම මත පොලීසිය අත්තනෝමතික, ප්‍රජාතන්ත්‍රවි⁣රෝධී ලෙස හා නීතියට උඩින් කටයුතු කරමින් සිටින බවත් මේ පිටුපස යම් දේශපාලන හස්තයක් ක්‍රියාත්මක වන බවට මේ වන විට සීමිත උපදෙස් ලැබී ඇති බවත් අධිකරණයට කරුණු ඉදිරිපත් කෙරිණි.

තම ⁣සේවාදායකයා මෙලෙස අත්තනෝමතික ලෙස හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස අත්අඩංගුවට ගැනීම  හා රඳවා ගැනීම මගින් තහවරැ කෙරී ඇත්තේ් පොලීසිය විසින් බෞද්ධ අන්තවාදී සංවිධාන ලංකාවේ ලිඛිත ව්‍යවස්ථාවට ද ඉහලින් පිහිටුවා ඇති බවත් අධිකරණය ඒ සඳහා යොදා ගැනෙමින් පවතින බවත් යැයි නීතිඥ විල්සන් සඳහන් කලේ ය.

නීතිඥ විල්සන් විශේෂයෙන් සඳහන් කලේ සත්කුමාරට එරෙහි මෙම ක්‍රියාමාර්ග ඔහුට පමණක් පුද්ගලිකව එල්ල කළ එකක් නොවන බවත් එය සමස්ථ කලාවටම හා කලා කරැවන්ටම එරෙහිව එල්ල කළ ප්‍රහාරයක් බව ය.

එසේම ⁣අපරාධ නඩුවිධාන සංග්‍රහයේ  135(1) වගන්තිය ප්‍රකාරව දන්ඩනීති  සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ නඩු පැවරීමට නම් මුල් අවස්ථාවේම නීතිපතිවරයාගේ අවසරයක් ලබා ගත යුතු බවත්, මෙම නඩුවේදි මෙතෙක් නීතිපති අවසරය ලබාගැනීමට කිසිදු පියවරක් ගෙන නොමැති නිසාවෙන් මෙම නඩුකටයුත්ත වහා අවසන්කල යුතු බව ඔහු ප්‍රකාශ කලේය.

තම දේශනය තුල නීතිඥ විල්සන් තවදුරටත් සඳහන් කළේ පොලීසිය විසින් අන්තවාදී සංවිධානවල අවශ්‍යතාවය මත අත්තනෝමතික හා පදනම් විරහිත ලෙස තම සේවා දායකයා අත්අඩංගුවට ගැනීම හා රඳවා තබාගැනීම මගින් පොලීසිය රටේ ලිඛිත ව්‍යවස්ථාවට පිටින් යමින්  එහි 10, 12(1), 13(1), 13(2), 14(1)(a) යන වගන්තියටතේ වන භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ඇතුලු ශක්තිකගේ මූලික අයිතීන් උල්ලංගනය කර ඇති බව යි. ඔහු සඳහන් කළේ එම මූලික අයිතිවාසිකම්වලට පනවා ඇති සීමා කිරීම්, වි⁣ශේෂයෙන් භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතියට ව්‍යවස්ථාවේ 15(2) හා 15(7) යටතේ පනවා ඇති සීමා කිරීම් යටතේ එන වාර්ගික හා ආගමික සහයෝගීතාවට ද, රාජ්‍ය ආරක්ෂාව හා යථා පැවැත්මට ද, මහජන සෞඛ්‍ය හෝ සදාචාරයද, අනෙක් අයගේ අයිතිවාසිකම්වලට ද, ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක පොදු යහපතට ද  තර්ජනය වන කිසිවක් හෝ ‘අර්ධ’කෙටිකථාව මගින් සිදු නොවන බවත් ඒ අනුව එකී සීමාකිරීම් එම කෙටිකථාවට එරෙහිව කිසිසේත් යෙදිය නොහැකි බවත් ය.

යම් ප්‍රකාශනයක් රටේ යථා පැවැත්මට තර්ජනයක් වන්නේ ද යන්න තීරණය කිරීමේ දී Shreya Singhal v. Union of India යන ඉන්දියානු නඩු නීන්දුවේ දක්වා ඇති “සමීපතාවය පිළිබඳ පරීක්ෂණය” යොදාගත යුතු බව නීතිඥ විල්සන් පෙන්වා දුන්නේ ය. එහිදී නඩුවේ පහත කොටස උපුටන ලදී:

“Our commitment of freedom of expression demands that it cannot be suppressed unless the situations created by allowing the freedom are pressing and the community interest is endangered. The anticipated danger … should have proximate and direct nexus with the expression … In other words, the expression should be inseparably locked up with the action contemplated like the equivalent of a “spark in a powder keg”

එනම් අදාල ප්‍රකාශනය හා මහජන යහපතට ඇති තර්ජනය අතර සම්බන්ධය “වෙඩිබෙහෙත් පීප්පයකට දැමූ ගිනි පුපුරක්” හා සමාන සෘජු හා ආසන්නම සම්බන්ධයක් විය බයුතු බවයි.

නීතිඥවරයා තවදුරටත් අවධාරණය කළේ මූලික අයිතිවාසිකම්වලට පනවා ඇති සීමා කිරීම් කිසිවක්  අධීක්ෂනය කිරීමේ හෝ ඒ මත ක්‍රියාත්මක වීමේ කිසිදු බලයක් පොලීසියට නොමැති බවත් ඒ සඳහා රජයේ වෙනම ආයතන (ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වැනි) පවතින බවත්ය.

ඊට අදාලව කෙටි කථාවේ අන්තර්ගතය පිළිබඳ අවධානය යොමු කරමින් නීතිඥවරයා සඳහන් ක⁣⁣ළේ ප්‍රධාන ධාරාවේ ඉගැන්වීම් වලට පටහැනිව සිද්ධාර්ථ චරිතය සම්බන්ධයෙන් ද විවිධ කියැවීම් පවතින බවත් “ආරියපරියේෂණ සූත්‍රය (Ariyapariyesana Sutta)” ට අනුව සිදුහතුන්ට බිරිඳක් හෝ දරුවෙකු ⁣සිටනැති බවට ද මත ඉදිරිපත් කර ඇති බවයි.

ඉහතින් සදහන් කල සියළුම කරුණු අනුව විශේෂයෙන්ම අධිකරණ බලය නොමැති වීම සහ දක්වා ඇති වරදවල් එකක් හෝ සංස්ථාපනය වීමේ අවශ්‍යතා කිසිවක් මුල් අවස්ථාවේම නොසැපිරීම මත  මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යා නොහැකි බවත් ඒ අනුව සත්කුමාර නඩුවෙන් නිදහස් කරන ලෙස නීතිඥ විල්සන් ඉල්ලා සිටියේ ය. ඊට විකල්ප ලෙස සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබද පනතේ 3 (1) වගන්තියේ අවශ්‍යතාවන් කිසිවක් සංතෘප්ත වී නොමැති බැවින් එම පනත යටතේ මෙම නඩුව ගෙන යා නොහැකි නිසා දණ්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය අනුව මහේස්ත්‍රාත් අධිකරණයට ඇප නියම කිරීමේ හැකියාවක් ඇති බැවින් ශක්තිකට ඇප නියම කරන මෙන් ද අයැද සිටින ලදී.

මෙම සැලකිරීම් කිසිවක් බිඳ දැමීමට පැමිනිලිකාර භික්ෂූන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරු කිසිදු උත්සාහයක් නොගත්හ.

සියලු සැලකිරීම් අවසානයේ මහේස්ත්‍රාත්වරිය ශක්තික නිදහස් කිරීම සඳහා කළ ඉල්ලීම සම්බන්ධ ප්‍රකාශිත නියෝගයක් නොකරමින් ඇප ලබාදීමට බලයක් නොමැතිය යන පදනමින් ඇපද ප්‍රතික්ශේප කලාය. අනතුරුව පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම්වලට ඉඩදෙමින් නඩුව මැයි මස 21 වන දින තෙක් කල්තැබූ අතර එතෙක් සත්කුමාර රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලාය.

ශක්තික සත්කුමාරට සහයෝගය දක්වමින් ඊයේ් දිනද කලාකරුවේ කිහිප දෙනෙක්ම අධිකරණයට පැමින සිටියහ.  

No comments:

Post a Comment