Tuesday, April 23, 2019

ලේඛක ශක්තික සත්කුමාර තවදුරටත් සිරගත කෙරේ

ලේකඛ ශක්තික සත්කුමාර විසින් තම මුහුනු පොතේ පලකල  ‘අර්ධ’ නම් කෙටි කථාව මගින් “බුදු දහමට අගෞරවයක් හා නින්දාවක්” වෙතැයි බෞද්ධ අන්තවාදී සංවිධානයක් විසින් කරන ලද අභූත චෝදනාවක් මත අප්‍රේල් 01 වන දින පොල්ගහවෙල පොලීසිය විසින් අත්තනෝමතික හා අයුක්තිසහගත ලෙස ඔහුව අත්අඩංගුවට ගෙන පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේ පවත්වාගෙන යන නඩුව තෙවන වරට අද කැඳවනු ලැබිනි.
ශක්තික සත්කුමාර


පසුගිය 09 වන දින දෙවනවරට පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරනයේදී නඩුව කැඳවූ අවස්ථාවේ දී සත්කුමාර වෙනුවෙන් ජනාධිපති නීතිඥ ටී.එස්.ජයනාග මහතා කරන ලද දීර්ඝ කරුනු දැක්වීමෙන් අනතුරුව පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීම මත මහේස්ත්‍රාත්වරිය විසින් මෙම මස 23 දින, එනම් අද දිනය දක්වා ඔහුව රක්ශිත බන්ධනාගාර ගත කරන ලදී. බ්‍රිතාන්‍ය යටත්විජිත යුගයේ නීතියක් වන ශ්‍රී ලංකා දන්ඩ නීති සංග්‍රහයේ 291(ආ) සහ 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) යටතේ පොලීසිය විසින් සත්කුමාරට එරෙහිව මෙම අභූත චෝදනා ගොනුකොට තිබුනි.

අද දින නඩුව කැඳවූ අවස්ථාවේ අගතියට පත් පාර්ශවය වෙනුවෙන් යැයි කියමින් බෞද්ධ පූජකයන් වෙනුවෙන් නීතිඥ මහෙශ් හේරත්, දුලංගනී ජයලත්,  සරත් දසනායක සමග පද්මසිරි ජයලත් යන අය පෙනී සිටියෝය.

සත්කුමාර වෙනුවෙන් තරිඳු සම්පත්, සී.ඩබ්.ඩබ්.රත්නායක, බුද්ධදේව ගුනරත්න, තුෂාර ද සිල්වා, සංජය විල්සන් සහ එස්.කොටගොඩහෙට්ටි යන නීතිඥවරුන් පෙනී සිටියහ.

පොල්ගහවෙල පොලීසිය වැඩිදුර වාර්ථාවක් ඉදිරිපත් කරමින් ඉල්ලාසිටියේ පරීක්ෂන අවසන් නැති බවත්  සත්කුමාරගේ ෆෙස්බුක් ගිනුම පිලිබඳ ප්‍රකාශයක් ඔහුගෙන් ලබා ගත යුතුබවත් ඒ සඳහා අවසර ලබා දෙන ලෙසත්‍ ය.

සත්කුමාර වෙනුවෙන් දීර්ඝව කරුනු දක්වමින් නීතිඥ සංජය විල්සන් ප්‍රථමව කියා සිටියේ පොලීසිය මෙම කාරනය සම්බන්ධව පරීක්ෂන පවත්වනවා යයි කියමින් සති තුනක් තිස්සේ අවශ්‍ය  ප්‍රකාශයක් ලබාගැනීමට ඕනෑ තරම් කාලය ගතකර ඇති තත්ත්වයක් තුළ අසාදාරන හා අයුතු සහගතලෙස තම සේවා දායකයා බලවත් අපහසුතාවයට ලක් කිරිමේ චේතනාවෙන් යුතුව පොලීසිය ඔහුව තවදුරටත් බන්දනාගාරගත කිරීමට කටයුතු කරමින් සිටින බවත්ය.

තම සැල කිරීම් ඉදිරිපත් කරමින් ඔහු අනතුරුව කියා සිටියේ පසුගිය දින ජනාධිපති නීතිඥ ටී.එස්.ජයනාග මහතා ව්සින් කල සැලකිරීම් ඒ ආකාරයෙන්ම අද දිනද පුනරුච්චාරනය කරන බවත් ඒ අනුව ඉදිරිපත් කොට ඇති කරුනු යටතේ සත්කුමාරට එරෙහිව ගොනු කොට ඇති චෝදනා දෙකෙන් ඇප ලබාදීම සඳහා දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ පමනක් ක්‍රියාත්මක වෙමින් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) ‍යටතේ චෝදනා කිසිවක් සනාථ නොවන නිසා එම චෝදනාව නොසලකා හැර තම සේවාදායක සත්කුමාර හට ඇප ලබාදීමට අධිකරනයට හැකියාව ඇතිබවයි.

තවදුරටත් නීතිඥ සංජය විල්සන් සඳහන් කලේ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 135(1)ඉ වගන්තිය යටතේ ක්‍රියාත්මක වීමට පොලීසිය අසමත්ව ඇති බවත් එම වගන්තිය යටතේ කිසි ලෙසකින්  අධිකරනයට දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ වන වරදක් සම්බන්ධයෙන් සලකා බැලීමක් කිරීමට මුල් අවස්ථාවේම නීතිපතිගේ පැමිනිල්ලක් හෝ නීතිපතිගෙන් කලින් ලද අවසරයක් මත කරනු ලබන පැමිනිල්ලක් නොමැති අවස්ථාවක සිදු කල නොහැකි බවත්‍ ය. ඒ අනුව දන්ඩ නීති සංග්‍රහයේ 291ආ වගන්තිය යටතේ වරදක් සම්බන්ධව මෙම නඩුව ගෙන යා නොහැකි බැවින් මුල් අවස්ථාවේම තම සේවාදායක නිදහස් කල යුතුව පවතින බවට ඔහු සඳහන් කලේය.

විශේෂයෙන් නීතිඥ සරත් දසනායකගේ සැලකිරීමට පිලිතුරු ද වශයෙන් නීතිඥ විල්සන් සඳහන් කලේ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනතේ 3(1) වගන්තිය යටතේ වරදක් සංථාපිත වීම සඳහා ආගම් අතර වෛරය පැතිරවමින් අසමානතාවයට, එදිරිවාදිකම්වලට හා ප්‍රචන්ඩත්වයට මුල්වන කටයුත්තක් සිදුකර තිබිය යුතු බවත් සත්කුමාරගේ කෙටිකථාව හරහා එවන් ආකාරයේ අන්තර් ආගමික නොසන්සුන්තාවයක් ඇතිකරවන කිසිවක් සිදුවී නොමැතිබවත් එය පොලීසිය විසින් ඉදිරිපත්කර ඇති බී වාර්ථාවලින්ද තහවරු වන බැවින් එම වරද පිලිබඳ චෝදනාව අතිශයින් පදනම් විරහිත වන බවත්ය. ඒ අනුව එම චෝදනාව යටතේද නඩුව පවත්වාගෙන යා නොහැකි බැවින් මුල් අවස්ථාවේම තම සේවාදායක සත්කුමාර මෙම නඩුවෙන් නිදහස් කර යුතු බව ඔහු ප්‍රකාශ කලේය.

දේශීය නීතියේ හිස් තැන් පවතින අවස්ථාවල ජාත්‍යන්තර නීතියේ ප්‍රමිතීන්ට අනුව දේශීය නීති අර්ථකථනය කලයුතු අතර  විශේෂයෙන් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත එම ජාත්‍යන්තර සම්මුතියේ මූලධර්ම හරහා ගලා එන්නක් බැවින් ඒ යටතේ එන සියලු ජාත්‍යන්තර නිර්දේශයන් හා ප්‍රමිතීන් දේශීය නීතිය අර්ථකතනයේදීද යොදාගත යුතු යැයි නීතිඥ  විල්සන් තර්ක කලේය. යුනෙස්කෝ සංවිධානයේ 1980වේ කලාකරුවාගේ ස්ථිත්‍යය සම්බන්ද නිර්දේශයන්හි මාර්ගෝපදේශ මූලධර්ම 3 උපුටා දක්වමින් ඔහු සඳහන් කලේ යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකයන් වන සෑම රටක්ම සමස්ථ සමාජයේම හා පුද්ගලයන්ගේ සංවර්ධනයට අවශ්‍ය වන  කලාකරුවන්ගේ නිර්මාන නිදහස ආරක්ෂා කිරීමට බැඳී සිටින බවයි.

කලාත්මක ප්‍රකාශනයේ සහ නිර්මානශීලීත්වයේ නිදහස සඳහා වන අයිතිය පිලිබඳ 2013 එක්සත් ජාතීන්ගේ සංවිධානයෙ විශේෂ රැපෝර්ටර්ගේ නිර්දේශයට අධිකරනයේ අවධානය යොමුකල නීතිඥ  විල්සන් තවදුරටත් සැලකර සිටියේ එම නිර්දේශයට අනුව කලාත්මක නිදහස සීමාකිරීමේ අවස්ථාවන්ට යොමුවීමට පෙර විනිසුරුවරුන් ඇතුළුව සෑම තීරකවරයෙකුම කලාකෘතියක වටිනාකම හෝ එහි අන්තර්ගතය සම්බන්ධ කාරනා වලට මත්තෙන් එහි කලාත්මක නිර්මානශීලීත්වයේ ස්වභාවය සැලකිල්ලට ගතයුතු අතරම විරෝධි අදහස් දැක්වීමට කලාකරුවාට  ඇති අයිතිය, පවතින අධිපතිවාදී බලයන්ට එරෙහිව ප්‍රතිකතිකාවක් ඇතිකිරීම සඳහා අවශ්‍ය වන දේශපාලනික, ආගමික සහ ආර්ථික රෑපකයන් භාවිතා කිරීමේ කලාකරුවාට ඇති අයිතිය සැලකිල්ලට ගත යුතු බවයි . පරිකල්පන සහ ප්‍රභන්ධ කලාකෘතීන් තුල යොදා ගැනීම තේරුම් ගත යුත්තේ සහ එය සැලකිල්ලට ගතයුත්තේ නිර්මාණශීලී කර්තව්‍යන්ට අත්‍යවශ්‍ය නිදහසේ ප්‍රධානම සාධකයක් හැටියටය.

ශක්තික සත්කුමාර අත්අඩංගුවට ගැනීම හා රඳවා තබා ගැනීම මෙම නිර්දේශයන්ට පටහැනි බවත් එය ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල පහරක් බවද නීතිඥ  විල්සන් අවධාරනය කලේය.

අගතියට පත් පාර්ශවය නියෝජනය කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කල නීතිඥ සරත් දසනායක පසුගිය නඩුවාරයේදි මෙන්ම අද දිනයේත ශක්තික සත්කුමාරගේ “අර්ධ” කෙටිකතාවේ  එක් පරිඡ්ඡේදයක කොටසක් පමනක් උපුටා දක්වමින් බුද්ධ ධර්මයට හා බුද්ධ චරිතයට අපහාසයක් මෙම කෙටිකතාව තුලින් සිදුවන බවට අධිකරණයට ඒත්තු ගැන්වීමට උත්සහ කලේය. නමුත් කෙටි කතාවේ සම්පූර්න අන්තර්ගතය විකෘති කරමින් එක් පරිඡ්ඡේදයක කොටසක්  පමනක් උපුටා දක්වමින් උත්සාහ කරනු ලැබූයේ අධිකරණය නොමග යැවීමය.

එමෙන්ම අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ කරුණු දක්වමින් තවදුරටත් ප්‍රකාශ  කර සිටියේ මේ නඩුව කිසිසේත් සුළුකොට තැකිය හැක්කක් නොවන බවත්, මෙම කෙටිකතාව තුලින් ආගම් දෙකක් අතර ගැටුමක් ඇතිවීමේ විශාල සම්භාවිතාවක් ඇති බවත්ය. විශේෂයෙන් මෙම නඩුවේ චූදිත පාර්ශවය නිරාගමික කණ්ඩායමක් බවත් ඔවුන් සිතාමතාම  බුද්ධ චරිතය⁣ට අපහාස කිරීමේ අරමුනින් මෙම කෙටිකතාව රචනා කර ඇති බවත් මේ හෙතු⁣වෙන් නිරාගමික පිරිස් හා බෞද්ධයින් අතර ගැටුම් ඇතිවිය හැකි බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය. එබැවින් ඉහත සදහන් කල හේතූන් මත ⁣සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබද පනතේ 3(1) වගන්තිය යටතේ මෙම නඩුව පවත්වාගෙන යාමට බාධාවක් නොමැති බවද ඔහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කර සිටියේය. නීතිඥ විල්සන් විසින් එයට විරෝධීව කරුණු දැක්වුයේ ඉන් අනතුරුවය.

ඉන්පසුව චූදිත පාර්ශවය වෙනුවෙන් අධිකරණයට කරැණු දැක්වූ නීතිඥ  එස්. කොටගොඩ හෙට්ටි මහතා චෝධිත වරද සංස්ථාපනය වූ ස්ථානය අනුව පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණයට මෙම නඩුව පවත්වාගෙන යාමට අධිකරණ බලයක් ඇත්ද යන කරැණ අධිකරණයේ අවධානයට යොමු කරනු ලැබීය. එමෙන්ම ශක්තික සත්කුමාරගේ මෙම “අර්ධ” නම් වූ කෙටිකතාව හුදෙක්ම සාහිත්‍ය නිර්මාණයක් පමනක් බවත්, මෙවැනි සාහිත්‍ය නිර්මාණයක් කිරීමේ අයිතිය ඕනෑම අයෙකු සතුවන බවත් එවැනි දේ සාහිත්‍ය ලෝකයේ සුලබ බවත් උදාහරන සහිතවම අධිකරණයට කරැණු දැක්වූ ඒ මහතා සාහිත්‍යමය ඇසකින් පමණක් මෙවැනි නිර්මාණ දෙස බැලිය යුතු බව ප්‍රකාශ කලේය.

මෙම නඩුව කෙටි දිනයක එනම් සතියක කාලයක් ඇතුලත කැදවන මෙන් සත්කුමාර වෙනුවෙන් ඉල්ලාසිටියද  සියලු සැලකිරීම් අවසානයේ මහේස්ත්‍රාත්වරිය පොල්ගහවෙල පොලීසියේ ඉල්ලීමට ඉඩදෙමින් මෙම නඩුව මැයි මස 07 වන දින තෙක් කල්තැබූ අතර එතෙක් සත්කුමාර රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලාය.

ශක්තික සත්කුමාරට සහයෝගය දක්වමින් ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක සෝමරත්න දිසානායක ඇතුළු කලාකරුවන් පිරිසක් අද දින අධිකරණය තුළ රැදී සිටියෝය.

No comments:

Post a Comment