Thursday, April 28, 2022

පැතුම් කර්නර් විකල්පයක් ද?

 පැතුම් කර්නර් විකල්පයක් ද? 


රටේ ආර්ථික අර්බුදය විසඳීම සඳහා යැයි කියමින් ජාතික හරිත පෙරමුනේ නායක #පැතුම්කර්නර් (පීකේ) විසින් පසුගියදා තම කම්කරු-පීඩිත පන්තික විරෝධී ව්‍යාජ වැඩපිලිවෙල එලිදක්වා තිබේ. දශක ගනනාවක් වර්ථමාන තාරුන්‍යයට 'දේශපාලන සාක්ෂරතාවය' අහිමි කල අධ්‍යාපන පද්ධතියක්තුල නිර්වින්දනය කරනු ලැබීමෙන් පසු, දීර්ඝකාලීන වාම දේශපාලන රික්තයට "විප්ලවවාදියෙකු" "අරගලකරුවෙකු" ලෙස පැන තරුන පීඩිත මහජනතාව වෙත ධනපති, මහජන විරෝධී, ප්‍රතිගාමී හා ප්‍රතිවිප්ලවවාදී වැඩපිලිවෙලක් අයිසින් තවරා ගිල්ලවීමට දරන කර්නර්ගේ උත්සාහය අපේ පන්තිය, එනම් කම්කරු, පීඩිත,තරුන ජනතාව හෙලාදැකිය යුතුය, ප්‍රතික්⁣ෂේප කල යුතුය. මෙම පුද්ගලයාගේ දේශපාලන උගුල සම්බන්ධව මා ලියා පල කල කෙටි සටහන් ගනනාවකට පසුව මොහු ඉදිරිපත් කරන ආර්ථික-දේශපාලන වැඩපිලිවෙලේ හරය සම්බන්ධව විවරනයක් කිරීම අප පන්තියේ දේශපාලන ස්වාධිනතාවයට අත්‍යවශ්‍ය යැයි හැඟී ගියෙන් මෙම  කෙටි ලිපිය ඔබ අතට පත් කරමි. සංවිධාන ශක්තිය, කථිකත්වය, කැපකිරීම්, ආටෝප හෝ වෙනත් කුමන ආකාරයක හෝ පුද්ගලික චරිත ලක්ෂන තුලින් දේශපාලන චරිත හෝ සිද්ධි වටහාගැනීමේ ආත්මීය (subjective) ප්‍රවේශයට එරෙහිව වෛශිකව (objectively) කරුනු විචාරය කිරීමේ අවශ්‍යතාවය ද "වැරදි පරපුර" ට මෙමගින් අවධාරනය කරමි.




පීකේ අටවන උගුලේ භයානකම කොටස නම් අප පන්තියේ පන්ති ස්වාධීනතාවය දියාරු කොට ධනපති ආර්ථිකය හා එම පන්තිය අපේ ආර්ථික අවශ්‍යතාවයන් හා ධනපති පන්තිය සමඟ පෑහීමය. එමගින් දේශපාලන උතුරු දකුන පැටලවූ තාරුන්‍යයක දේශපාලන මාලිමාව අහිමි කිරීම ය.  ඔහුගේ රට ගොඩනැගීමේ ඊනියා දක්ශිනානංශික වැඩපිලිවෙල කම්කරු පීඩිත පන්තියට ඔබ්බවන්නේ පවතින ධනපති සමාජයේ මෙම අති මූලික පන්ති විභේදනය තුනී කිරීමට උත්සාහ කිරීමෙනි. කම්කරු, ගොවි, පීඩිත මහජනතාව සියලු වාර්ගික භේදයන් පරයා ධනපති-විරෝධය (anti-capitalism) වෙත ගොනු කොට ස්වාධින කිරිමේ වාම වැඩපිලිවෙලකින් සන්නද්ධ කිරීමට මෙම උගුල්  හරහට හිටී.


ධනපති වැඩපිලිවෙල


කර්නර්ගේ පක්ෂයට වසර කිහිපයක මැතිවරන ඉතිහායයක් පවතී. ධනපති පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ විවිධ උපායන් අතර දැන් පුපුරා එලියට පැමින ඇති  තරුන, කම්කරු ගොවි අරගලවලට සීරුවෙන් පිවිස අධිරාජ්‍යවාදී, වෙලඳපොල ගැති, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) හා ලෝක බැංකුවේ (WB) මහජන විරෝධී, ධනපති වැඩපිලිවෙල සමාජගත කිරීම සඳහා ඔහු දේශපාලන අවස්ථාවාදියෙකු ලෙස කුමන්ත්‍රන කරමින් සිටී.


හරිත පෙරමුනේ (හපෙ) නිල වෙබ් අඩවිය (ngf.lk)  කර්නර්ගේ ධනපති ආර්ථික ස්ථායී වැඩපිලිවෙල සම්බන්ධව පැහැදිලි ප්‍රකාශයන් දක්වා තිබේ. එහි පැහැදිලිවම සඵතකොට ඇත්තේ හපෙ "විවෘත වෙලඳපොල ආර්ථිකය" ආරක්ෂා කරන බවයි. විවෘත වෙලඳපොල ආර්ථික ක්‍රමය යනු ලොවපුරා සෑම ජාතික රාජ්‍යයක්ම ගෝලීය නිෂ්පාදන ක්‍රමය හරහා එකට බැඳ ඇති දියුනු ධනපති රාජ්‍යයන්ගේ සිට ධනපති සංවර්ධනයේ පසුගාමීරටවල් දක්වා සෑම රටකම ක්‍රියාත්මක වන ආර්ථික ක්‍රමයයි. ධනපති පාලක පන්තියේ දූෂිත පාලන නියෝජිතයන් කවරක් උවද, වසර 74ක් මත්, විශේෂයෙන් 1978 සිටත් ලංකාවේ ආර්ථිකය පැවතුනු  ක්‍රමය එයයි. මේ පිලිබඳ වැඩිදුර සඳහන් කිරීම මෙම ලිපිය ප්‍රමානවත් නොවුනත්, මේ ආර්ථික ක්‍රමය තුල මිලියන ගනනින් කම්කරු පීඩිත මහජනතාවට උරුමකරදී ඇති අන්ත දරිද්‍රතාවය, කාලකන්නිකම, සංස්කෘතික පසුබෑම, අසමානතාවය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. මෙය ලංකාවට පමනක් නොව පසුගාමී ධනපති රාජ්‍යයන් සියල්ලටමත් 2008 ලෝක ආර්ථික අර්බුදයෙන් පසු දියුනු ධනපති රටවලටත් පොදු ගෝලීය සංසිද්ධියකි. 


මේ යථාර්ථය වසන් කරමින් පීකේ ඇතුලු හපෙ කන්ඩායම තම වෙබ් අඩවියේ පොරොන්දු දෙන්නේ තවත් වසර 30කින් දියුනු ධනපති ලංකාවක් ගොඩ නැගීමටයි. මෙය මුලා කිරීමකි. ලියොන් ට්‍රොට්ස්කි "නොනවතින විප්ලවය" තුල නිවැරදිව සූත්‍රගත කලේ ධනපති සංවර්ධනයේ පසුගාමී රටවල ධනපති පාලක පන්තියට කම්කරු පන්තියේ මූලික සමාජ අවශ්‍යතාවයන් හෝ ප්‍රජාතන්ත්‍රවාදය තහවරු කල නොහැකි බව යි. මූල්‍ය කථිපයාධිපත්‍යයේ ගෝලීය ආර්ථිකයක් තුල මෙම කරුන ශතවර්ෂයක ලෝක ඉතිහාසය පුරාම සත්‍යේක්ෂනය වී ඇත්තේ පීඩිත මහජනතාවට දැවැන්ත දරිද්‍රතාවය, කාලකන්නිකම, භීෂනය හා ලේවැකි සිවිල් යුද්ධ උරුම කර දෙමිනි. එබැවින් වසර 30කින් සමෘධිය පිලිබඳ ප්‍රලාපය ධනපති ලාභ පද්ධතිය ආරක්ෂා කිරීම සඳහා කම්කරු පන්තියෙන්, තරුනයන්ගෙන් බරපතල කැපකිරීම් ඉල්ලාසිටීමක් හා ඒ වෙනුවෙන් කම්කරු මහජනතාව ශතවර්ෂයක පමන කාලයක් පුරා පන්ති අරගල හරහා ජයග්‍රහනය කල සීමිත කම්කරු අයිතීන් ඇතුලු සමාජ සහන, සුභසාධන හොදින් හෝ නරකින් ආපසු හැරවීමට කැඳවුම් කිරීමකි.


හපෙ වෙලඳාම සඳහා "සියලු බාධක" ඉවත් කිරීම ("alleviate all barriers for trade"), එනම් "වෙලඳපොල ගලවාගැනීම (liberate markets)" සඳහා සහ "කර්මාන්ත හා වෙලඳපොල හිතකාමීත්වය (industry and market friendly)" වෙනුවෙන් සිටගන්නා බව එහි වෙබ් අඩවිය දක්වයි. මහා සංගත, මූල්‍ය සමාගම් හා බැංකු වල ලාභ වශයෙන් අතිරික්ත ශ්‍රමය මංකොලලකෑම සඳහා නවලිබරල් විවෘත වෙලඳපොල ආර්ථිකයට අවශ්‍ය සියලු දොලපෙදේනි කම්කරු පන්තියේ කරමතින් ලබා දෙන බව මෙහි අර්ථයයි. සමාජ මාධ්‍ය වීඩියෝවක පීකේ මෙයම නැවත කියා සිටින්නේ  වෙලඳපොල කෙරෙහි  රාජය අවම මැදැහත්වීමක් කලයුතු බවයි. මෙය කීන්සියානු සුභසාධක රාජ්‍ය සංකල්පයට එරෙහිව  ෆෙඩ්‍රික් හයෙක් ඇතුලු නව-සම්භාව්‍ය අර්ථශාත්‍රඥවරුන් 1930 දශකයේ ඉදිරිපත් කර '70 දශකයේ ඉස්මත්තටගනු ලැබුනු   නිර්බාධී විවෘත ආර්ථිකයට පහසුකම් හා ආරක්ෂාව සපයන නවලිබරල් රාජ්‍යයක් පිලිබඳ සංකල්පයයි. ලංකාවේ මෙන්ම ලොව පුරා මිලියනගනනින් මහජනතාව කොවිඩ් වසංගතයට ගොදුරුකරමින් ඝාතනය කරනු ලැබුවේද, ලොවපුරා බිලියන ගනනින් ජනතාව අති දැවැන්ත ආර්ථික අසමානතාවයකින්  පෙලනු ලැබ ඇත්තේද, ලොවපුරා උධිරාජ්‍යවාදි ඝාතක යුද්ධ හා ලෝක යුද්ධ දෙකක් හරහා පසුගිය ශතවර්ෂයේමත්, දැන් තෙවන ලෝක යුද්ධයකට සූදානම් වෙමින් මෙම ශතවර්ශයේදීත් ලොවපුරා ධනපති ආන්ඩු මෙම ආර්ථික ප්‍රතිපත්ති හරහා සිදුකලේ පරපුටු  මූල්‍ය වෙලඳපොල අධිකාරිය දරන වෙලඳපොල ආර්ථිකය මෙසේ ආරක්ෂා කිරීමයි. පීකේගේ කම්කරු පන්තික විරෝධී වැඩපිලිවෙල පිලිබඳව මෙයට වඩා පැහැදිලිකිරීමක් අවශ්‍ය ද?


මෙම ධනපති ආර්ථික වැඩපිලිවෙල ඉදිරියට ගනිමින් ධනපති ආන්ඩු යටතේ "පාඩු ලබන (poor performing)" රාජ්‍ය ආයතන පුද්ගලීකරනය, වානිජකරනය හෝ වසාදැමීම හා යම් යම් සේවා හා නිෂ්පාධන ක්ශේෂ්ත්‍රවල  රාජ්‍ය අධිකාරය අවසන් කිරීම පීකේ පෙනීසිටින වැඩපිලිවෙලේ ප්‍රකාශිත අංගයන් ය. "කාර්යක්ෂම රාජ්‍ය පරිපාලන ක්‍රමයක්" වෙනුවෙන් "අතිරික්ත" රාජ්‍ය සේවකයන් දොට්ට දැමීම කල යුතු බවට ඔහු නිවේදනය කර ඇත.


"අර්බුදයට පිලියම"


මේ කරුනු යටතේ, වර්තමාන ඩොලර් අර්බුදයට විසඳුම් ඉදිරිපත් කරමින් හපෙ නායක ලෙස පීකේ අප්‍රේල් 20 දින තම ෆේස්බුක් ගිනුමේ පලකල වැඩපිලිවෙල ("අර්බුදයට පිලියම") ගැන කෙටියෙන් සඳහන් කිරීම ප්‍රමානවත්ය. පීකේ පුන පුනා කියා සිටින්නේ වංචා හා දූෂනයන්ගෙන් පිරි රාජපක්ෂ ගෙදර යා යුත්තේ රටේ ධනපති ව්‍යාපාරිකයන්ගේ, විදෙස් ආයෝජකයන්ගේ,  විදෙස් ශ්‍රමිකයන්ගේ විශ්වාසය පලුදු කර ඇති නිසා රටට ඩොලර් ගලා යාම වැලකී ඇති  බැවිනි. රාජපක්ෂ ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, වර්ගවාදී වැඩකටයුතු ප්‍රතිකෂේප කිරීමක් එහි නැත. ඇත්තවශයෙන්ම නම්, 2019 නොවැම්බර් ලංකාවේ ඉහල මධ්‍යම පන්තිය හා ධනපති ව්‍යාපාරික කොටස් රාජපක්ෂ පත්කරගැනීමට හේතු වූ ආර්ථිකය ගොඩනගා ස්ථායී කිරීමේ වැඩකටයුත්ත සාක්ෂාත් කිරීම සඳහා ආඥාදායකත්වය, මර්දනය දිගේලිකිරීම පීකේ හා හපෙ ඉදිරිපත් කරන වැඩපිලිවෙල යථාර්ථයක් කිරීමේ ද අත්‍යවශ්‍ය කොන්දේසියයි.


"⁣දූෂනයෙකන් තොර", හොඳින් හෝ නරකින් IMF, WB ඇතුලු ඇප දෙන ආයතන ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කරන ඒම ආයතනවල විශ්වාසය දිනාගත් ආන්ඩුවක් පත්කරගත යුත්තේ ඒ නිසයි.  පීකේ තම වීඩියෝ පනිවඩ හරහා  පවසන්නේ මෙම නයදෙන ආයතන ඉදිරිපත් කරන අයවැය පරතරය පියවීම, ව්‍යුහාත්මක වෙනස්කම් සිදුකිරීම, ආන්ඩුවේ සුභසාධන වියදම් හා නිදහස් සේවාවන් කප්පාදුව, පුද්ගලීකරනය,  ආයෝජන සහන දීම හා (වක්‍ර) බදු ඉහල දැමීම් යන කොන්දේසි පිලිගෙන අදාල "ප්‍රතිසංස්කරන" සිදුකල යුතු බවයි. රාජ්‍යය කුඩා කිරීම, රුපියල පා කිරීම, ඉන්දන හා විදුලිය සඳහා මිල සූත්‍ර හදුන්වාදීමද  මීට ඇතුලත් වේ.  "අර්බුදයට පිලියම" එය යි. මෙය ප්‍රති-විප්ලවයේ න්‍යායපත්‍රයයි! පීකේ තම ව්‍යාජ ජනතාවාදී (populist) රැඟීම් හරහා කම්කරු තරුන මහජනතාවට මේ ගිල්ලවමින් සිටින්නේ ස්වයංඝාතක විෂ කෂායකි.


ජාත්‍යන්තර මූල්‍ය කථිපයාධිපත්‍යයේ ආරක්ෂකයන් වන IMF හෝ WB පිහිට පැතීම මගින්  කම්කරු, ගොවි, තරුන පීඩිත පොදු මහජනතාවගේ ජීවන කොන්දේසි වර්ධනය වී අසමානතාවය සැලකිය යුතු තරමකට හෝ සමනය වූ රටක් ලෝකයේ කොතැනකින් හෝ පෙන්වමින් සාක්ෂි සහිත තම "පිලියම" සනාථ කිරීමේ භාරය පීකේට පැවරේ. දශක ගනනවක් පල්ල ගිය මෙම පුස් විසඳුම්වල කිසිදු නව න්‍යයයක් හෝ ගැඹුරක් නැති බව ගෝලීය නවලිබරල් වෙලඳපොල ආර්ථිකය සම්බන්ධ ප්‍රමානවත් දැනුමක් ඇත්තවුන්ගේ සාමාන්‍ය දැනුමකි.


නව ලිබරල් විවෘත වෙලඳපොල ආර්ථිකයේ ජාත්‍යන්තර සාර්වආර්ථික ස්ථායීතාවය සුරක්ෂිත කිරීම සඳහා ආරක්ෂකයින් වෙමින් සහ ඒ සඳහා පිහිටුවා ඇති ආයතන වෙමින්  - කම්කරු පන්ති අරගල හරහා පුද්ගලික දේපල හා ජාතික රාජ්‍ය ක්‍රමයේ ලාභ පද්ධතියට තර්ජනයක් වන පැවැත්මේ අර්බුදයක් (existential crisis) මතු නොවීම තහවරු වන පරිදි - මෙම අධිරාජ්‍යවාදී ආයතන (මූල්‍ය ප්‍රාග්ධනයේ ආධිපත්‍යයේ ආයතන) ලොව පුරා අසාර්ථක ධනේශ්වර පාලක පන්තීන්ට උදව් කරන්නේ, "අර්බුදයට පිලියම" තුල කියන පරිදි කම්කරු පන්තියේ සහ පීඩිතයන්ගේ ජීවිත නඟාසිටුවීම පිලිබඳ කිසිදු සැලකිල්ලක් නිසා නොව, ධනේශ්වර නිශ්පාදනයේ හා බෙදාහැරීමේ පද්ධතිය රැකගනිමින් එහි ලාභ හා පාලක පන්තියේ  අවශ්‍යතා සුරක්ෂිත කිරීම සඳහා පමනි.


"අර්බුදයට පිලියම" පදනම් වන්නේ රටේ නය ගෙවීම සඳහා කම්කරු පීඩිත පන්තියේ කරමතින් උපක්‍රම සෙවීමටයි. නය නොගෙවා සිටීමට එයට කැඳවීම කල නොහැකිය. ලංකාවේ දැවැන්ත ආර්ථික අසමානතාවයට තුඩුදී ඇති ධම්මික පෙරේරාගේ සිට සුපිරි ධනපතියන්ගේ හා බැංකු වල ගොඩගසා ඇති අපෙන් සූරාකන ලද ධනස්කන්දය මත සියයට සියයක් බදු ගැසීම හා ඒවා රාජසන්තක කිරීම හා ජනසතු කිරීමේ වැඩපිලිවෙලක් එම "පිලියම" ට නැත. 


"සිස්ටම් චේන්ජ්"


"අර්බුදයට පිලියම" ඉදිරිපත් කරන "system change"යන්න අතිශය ව්‍යාජයකි. මේ ආකාරයෙන්ම පීකේ "අරගලය", හා "විප්ලවය" යන වචන නිර්ලජ්ජිත ලෙස විකෘති කරයි. පවතින ධනපති ක්‍රමය වඩා සුපිරිසිදු කර දූෂන චංචාවෙන් තොර අපාලිත වෙලඳපොලට, තරඟයට හා එහි අසීමිත නිදහස පිහිටුවන ආර්ථික ක්‍රමයක් හා පරිපාලන හා කලමනාකරන ව්‍යුහයක් කම්කරු මහජනතාවගේ ජීවිතයත් මරනයත් අතර ජීවන අරගලයට පිලියමක් වන්නේ කොසේ ද? එවන් ක්‍රමයක් සඳහා අනිවාර්ය අවශ්‍යතාවය ආසියානු ටයිගර් ආර්ථික හෝ චීනය මෙන් කම්කරු නීති පාගා දමමින් ආඥාදායකත්වයන් පිහිටුවීම, ප්‍රජාතන්ත්‍රවාදී නිදහස අතුගා දැමීම නොවේද? මේ කැඳවා සිටින "ක්‍රම වෙනස" හෙවත් "රටේ පාලන ක්‍රමය වෙනස් කර ගැනීම", "පවතින දේශපාලන ක්‍රමය අවසන් කිරීම" නම් ආඥාදායකත්වයන් මගින් සීමිත ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිෂ්ඨාපනය කිරීම යි. යෝජනා කරන නව ව්‍යවස්ථාව තුල පවා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට යෝජනා නොකිරීම⁣ට තරම්  "අර්බුදයට පිලියම" සූක්ෂමව අඹරා ඇත්තේ එබැවිනි.


ආර්ථික අර්බුදයට හේතු


IMF හා WB  කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි පැවති සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව කෙරෙහි පැවති පලල් මහජන වික්ෂෝපය හා පාස්කු ප්‍රහාරය හරහා මුස්ලිම්වරුන්ට එරෙහි වර්ගවාදය හා රාජ්‍ය ආරක්ෂාව පිලිබඳ භීතිය ගසා කමින් බලයට පැමිනි රාජපක්ෂ ආර්ථිකය කෙලින් කිරීම සඳහා මහා ව්‍යාපාරිකයන්ට හා සංගතවලට දැවැන්ත බදු සහන දෙමින් වැඩ පටන් ගත්තේය. නැවත වරක් වහා ජාත්‍යන්තර මූල්‍යඅරමුදල සරන යෑම ඇතුලු තම ආර්ථික විශේෂඥයන්ගේ මහජන විරෝධී නිර්දේශ එක්වරම ක්‍රියාත්මක කිරීම පසුපසට දැමීමට රාජපක්ෂව දේශපාලනිකව තල්ලු කෙරුනේ තම ආන්ඩුවේ පුද්ගලීකරන වැඩපිලිවෙල ඇතුලු කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව නැග ආ කම්කරු-ගොවි-ශිෂ්‍ය අරගල මාලාවක් මගිනි. 


කොවිඩ් වසංගතය මධ්‍යයේ ආර්ථිකය විවෘතව තබා ගත්තේ අපනයන ප්‍රවර්ධන කලාපවල තරුන කම්කරුවන් ඒවායේ සිර කර වසංගතයේ තුරුලට දක්කමින් ධනපති නිෂ්පාදකයන්ට  ලාභ ගැරීමට අවශ්‍ය සියලු රැකවරනයන් සපයමිනි. වසංගතය මධ්‍යයේම බංකෙලොත්වීමේ අවධානමේ පැවති ධනපති සංගත, මහා ව්‍යාපාර ගලවා ගැනීම සඳහා මුදල් පොම්ප කෙරුනේ වසංගතයෙන් බැටකමින් සිටි මහජනතාවට පන්දාහේ කුනු දීමනාවවත් ගෙවාගත නොහැකිවය. වසංගතය හේතුවෙන් විදෙස් කම්කරුවන්ගෙන්, සංචාරක කර්මාන්තයෙන් හා අපනයන වෙලඳපොල අවස්ථා අහිමිවීම ආදියෙන් විදෙස් සංචිත බරපතල ලෙස  නොලැබීම නිසා සංචිත සිඳීමේ අර්බුදයට යෑමත් සමග රටතුලට වාහන ආනයනයෙන් පටන්ගෙන අත්‍යවශ්‍ය භාන්ඩ පවා ආනනයන සීමා කරමින් ජාතික  නිෂ්පාදන ආර්ථිකයක්  ගොඩනැගීමේ ව්‍යාජ වැඩපිලිවෙල ක්‍රියාවට දැමූ රාජපක්ෂ රසායනික පොහොර ගෙන්වීම නතර කරමින් දේශීය කෘෂි ආර්ථිකය නට්ටන් කලේය. සහල් පවා නැවත ආනයනය කිරීමට සිදුවිය. නිෂ්පාදනය ඇනහිටි ආර්ථිකයක මූර්ත වටිනාකම් සිඳීයාමත් සමග නිතිපතා බිලියන ගනනින් රුපියල් නෝට්ටු අච්චු ගසන විට උද්දමනය දරාගත නොහැකි මට්ටමට ඉහල ගියේ රුපියලේ සැබෑ අගය ඩොලරයට සාපේක්ෂව සීඝ්‍රව අවපාත වෙමිනි.  


තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයට ද, සුදු අලි සංවර්ධන ව්‍යාපෘතිවලටද, සංගතවලට බදු සහන ලබාදීම හා ඇප තැබීම නිසාද ඒ වනවිටත් දැවැන්ත නය අර්බුදයකට හිරවී සිටි ආන්ඩුව බරපතල ගෙවීම් ශේෂ අර්බුදයකින් (balance of payment crisis) ආර්ථික අර්බුදයේ පතුලටම ගිලී ගියේය. රාජපක්ෂලාගේ දූෂන කොතරම් පැවතියද, කිසිදු ආයතනයක කිසිදු ආර්ථික ගිනුම් වාර්ථාවක ඒවා ගිනුම් ගතව නොපැවතියදීම රටේ ආර්ථික අර්බුදයේ ගිනුම සකස්වී හමාරය. ජාත්‍යන්තර ⁣මූල්‍ය අරමුදලේ කොන්දේසි පිලිගනිම්න් නය ප්‍රතිවෘහගත කිරීම හා අයවැය පරතරය⁣ කුඩාකිරීමට දැවැන්ත කප්පාදු (austerity) පිලිවෙත් ක්‍රියාවට දැමීම සඳහා රාජපක්ෂ ප්‍රමාද වූයේ යැයි චෝදනා කරන පීකේගේ "අර්බුදයට විසදුම" හා ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් මේ කියා සිටින්නේ කම්කරු මහජනතාවට එරෙහි කප්පාදු වැඩපිලිවෙල වඩාත් කලින් ක්‍රියාවට දැමිය යුතුව තිබූ බවයි. දැන් ප්‍රමාදයකින් පසුව රාජපක්ෂ කරමින් සිටින්නේ කලහැකිව තිබූ එකම දෙයයි: එනම් මහජනයාගේ ගෙල සිරවෙනතෙක් පටි තද කිරිමයි, මහජන දේපල විකිනීමයි.  ඒ සියල්ල කරනුයේ නය ගෙවාගත නොහැකිව බංකොලොත් වීමෙන් පසු එම නය ගෙවීම සඳහා නයබර කම්කරු ගොවි මහජනයා මත පැටවීම සඳහා යි. 


එහෙත් මේ කිසිදු නයක් එම මහජනයාගේ සුභසාදනය සඳහා වැයකරන ලද්දක් නොවේ. ඒ අනුව මෙම විදෙස් නය මහජනතාවගේ නයක් නෙවේ. කම්කරු පීඩිත මහජනතාව එය ගෙවීම සඳහා ලේ මස් දිය කල යුතු නැත.  IMF පිහිට පැතීමේ ධනපති මර උගුල ප්‍රතික්ෂේප කරමින් අපි මෙම නය ගෙවීම ප්‍රතික්ෂේප කලයුතු වන්නේ එබැවිනි.


ආර්ථික අර්බුදයට හේතුවක් ලෙස අධිකලෙස  මුදල් අච්චු ගැසීම හා බදු සහන දීම නම් කරන මුත් මුදල් අච්චු ගැසුවේ කුමක් හිලව් කිරීමටද, බදු සහන දුන්නේ කාටද යන්න සඳහන් කිරීම "අර්බුදයට විසදුම" හිතාමතා මඟ හරී. ඒ සත්‍යය හෙලි වන නිසාය.


උද්ඝෝෂකයන් 



උග්‍ර උද්ධමනය නිසා කම්කරු පීඩිත මහජනතාවට  වියදම් කිරීමට සිදුවන සෑම අමතර රුපියලකම වැඩම කොටස රටේ ඉහලම ධනපති ව්‍යපාර හා මූල්‍ය ආයතනවලටද, විදෙස් ආයෝජකයන්ටද රාජපක්ෂ ආන්ඩුව දොලපෙදේනි දුන් බදු සහන හා ඇප බැඳීම් (bail-out) පියවීමට  මුද්‍රනය කරන ලද මුදල් සඳහා හිලවි වන බව ඒ සත්‍යයයි. මෙය ධනපති ව්‍යාපාර, විවෘත-වෙලඳපොල ආර්ථිකය හා මූල්‍ය වෙලඳපොල රැකීම සඳහා මහ දවල් කරන ලද මංකොල්ලයකි.  2020/21 කාලය තුල රුපියල් බිලියන 1200 ක බදු අහිමිකිරිීමක් සිදුකර තිබේ. එම කාලය තුලම රුපියල් බිලියන 500ක් වූ බදු අදායම වැඩිකොටසක් මහජනතාවගේ එදිනෙදා භාන්ඩ හා සේවාවන්ට ගැසූ වක්‍ර බදුය. රාජ්‍ය වියදම් පියවාගත්තේ මෙම හිඟ මුදල් රුපියල් ට්‍රිලියන එකයි තවත් බිලියන  හත්සියයක් පමන ප්‍රමානයක් මහබැංකුව හරහා මුදල් අච්චු ගැසීමෙනි. 



සමාජවාදී විකල්පයක්


ධනපතිය ජාතික රාජ්‍ය හා පුද්ගලික දේපොල පද්ධතිය ඇතුලත, එයට දරා සිටිය හැකි ප්‍රමානයට ගැලපෙන ලෙස කම්කරු පන්තිය පටි තද කරගත  යුතු නැත. කම්කරු පන්තිය සමාජ හා ආර්ථික අර්බුදයට තමන්ගේ ම පන්ති විසඳුම ඉදිරිපත් කල යුතු ය. වැඩකරන ජනතාවට තවත් ධනේශ්වර ආන්ඩුවකට බලයට ඒමට ඉඩදිය නොහැක. මොනම බලපෑම් දැමීමකින්, කේවල් කිරීමකින් හෝ ධනපති "සිස්ටම් චේනජ්" එකකින් තම ජීවන තත්වයන්ට එල්ල වන ප්‍රහාර නතර වන්නේ නැත. කම්කරුවන් තින්දු තීරන ගැනීමේ අයිතිය තමන්ගේ අතට ගෙන, නාගරික හා ගම්බද දුගීන් පෙලගස්වා ගනිමින්, සමාජවාදී ඉදිරිදර්ශනයක් සඳහා සටන් කල යුතු ය. ලොවපුරා මෙම වැඩපිලිවෙලට සටන් කරනුයේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය (#WSWS) හා සමාජවාදී සමානතා පක්ෂ (#SEP) පමනි. එය පහත සටන්පාඨ ඉදිරියට ගනිමින් අපේ පන්තියේ විසඳුම ඉදිරිපත් කර තිබේ: 


*ශ්‍රී ලංකාවේ රාජපක්ෂ ආන්ඩුව පෙරලා දමනු! 

*විධායක ජනාධිපති ධුරය අහෝසි කරනු! 

*කප්පාදුව හා කුසගින්න එපා! 

*මහජන ජීවිතවලට තීරනාත්මක සියලු අත්‍යවශ්‍ය භාන්ඩ හා අනෙකුත් සම්පත් නිෂ්පාදනය හා බෙදාහැරීම කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගැනීම සඳහා! බැංකු, මහා සංගත, වතු හා අනෙකුත් ප්‍රධාන ආර්ථික මර්මස්ථාන ජනසතු කරනු!

*බිලියනපතියන්ගේ හා සංගතවල යෝධ ධනය අත්පත් කරගනු!

*ජාත්‍යන්තර කම්කරු පන්තියේ සහාය කැඳවමින් සියලු විදේශ නය ප්‍රතික්ෂේප කරනු! *ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය ආයතන නියෝජනය කරන ජාමූඅ හා ලෝක බැංකුවේ කප්පාදු නියෝගයන් ප්‍රතික්ෂේප කරනු!

*දුගී හා ආන්තික ගොවීන්ගේ සහ කුඩා ව්‍යාපාර හිමියන්ගේ සියලු නය අහෝසි කරනු! *ගොවීන්ගේ පොහොර සහනාධාර ඇතුලු සියලු සහනාධාර යලි ලබා දෙනු!

*ශිෂ්ට සම්පන්න හා ආරක්ෂිත වැඩ කොන්දේසි සහිත ව සියලු දෙනාට රැකියා සහතික කරනු! 

*ජීවන වියදම් දර්ශකයට අනුව ඉහල යන වැටුප්!

*සියල්ලන්ට ආහාර, ඉන්ධන හා ඖෂධ සුරක්ෂිත කරගැනීම සඳහා සමාජවාදී ක්‍රියා මාර්ගයකට සටන් කිරීමට ක්‍රියාකාරී කමිටු ගොඩනගනු!


මගේ ආරාධනය මෙම එකම විකල්ප වැඩපිලිවෙල වෙත හැරෙන ලෙසයි.


සංජය විල්සන් ජයසේකර (නීතීඥ)