Thursday, July 30, 2020

ජෝර්දානයේ රැකියාවේ නියුතු ශ්‍රී ලාංකික කම්කරුවන්ට එරෙහිව පොලිස් ප්‍රහාරයක්


සංජය ජයසේකර 
29 ජූලි 2020

කොවිඩ්-19 වසංගතය හේතුවෙන් රැකියා හා වැටුප් අහිමිව අවතැන්ව සිටින ජෝර්දානයේ ශ්‍රී ලාංකික සංක්‍රමනික කම්කරුවන්  සඳුදා (27) පැවැත්වූ විරෝධතාවයකට ජෝර්දාන පොලීසිය කඳුලු ගෑස් හා බැටන් ප්‍රහාරයක් එල්ල කර විසුරුවා හලේය. එරට රජය මෙසේ  පොලීසිය කැඳවා ඇත්තේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම පිටය. 

ජෝර්දානයේ අල් කරත් නුවර කැමල්වෙගා කර්මාන්ත පුරයේ වසාදමා ඇති ඇඟලුම් කර්මාන්තශාලාවක 750 ක් පමන වන කාන්තා කම්කරුවන් මෙ⁣ලෙස උද්ඝෝෂනය කලේ, මාස පහකට ආසන්න කාලයක් ල⁣බා දී නැති තමන්ගේ වැටුප් හා “සමාජ” දීමනාව ලබා දෙන ලෙසත්, වසංගතයට ගොදුරු වීමට මත්තෙන් ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට පියවර ගන්නා ලෙසත්, දිගින් දිගටම කරන ලද ඉල්ලීම් සම්බන්ධයෙන් ජෝර්දානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිසි පියවරක් නොගැනීම හේතුවෙනි.
උද්ඝෝෂකයන්

කම්කරුවන්ගේ ඉල්ලීම් සම්බන්ධයෙන්, කම්හල් හිමියා හා කම්කරුවන් සමඟ සාකච්ඡා කිරීමට තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ ප්‍රධානී රවිඳු අබේපාල ඇතුලු නිලධාරීන් කිහිප දෙනෙක් කර්මාන්ත පුරයේ කම්කරු ⁣නේවාසිකාගාර වෙත ගොස් තිබුනු නමුත්, කම්හල හිමි සමාගම සමඟ කිසිඳු සාධනීය එකඟතාවයකට පැමිනීමට නොහැකිව ඇත. 

මේ සම්බන්ධයෙන් කම්කරුවන් අතර පැන නැගුනු විරෝධතාවය අතර තුර නිලධාරීන් පොලීසිය කැඳවා තිබිනි.

ප්‍රහාරයෙන් දුසිමකට වැඩි ප්‍රමානයක් රෝහල් ගත කෙරුනි. තවත් බොහෝ ගනනකට සැලකිය යුතු සීරීම් තුවාල ද සිදුව තිබුනු අතර බොහෝ දෙනෙක් මානසික පීඩනයට ලක්ව සිටිති. කඳුලු ගෑස් හේතුවෙන් ඇස් වලට හානි වූ අයද බෙල්ලට හා ශරීරයට එල්ල කරන ලද බැටන් ප්‍රහාර නිසා තැලීම් තුවාල වලට ලක් වූ අය ද ඒ අතර විය.

සඳුදා සිදු කර තිබූ මෙම ප්‍රහාරයේ වීඩියෝ දර්ශන ද, ප්‍රහාරය හා උද්ඝෝෂනයට පාදක වූ කරුනු සම්බන්ධ කම්කරුවන්ගේ අදහස් ඇතුලත් වීඩියෝවක් ද කම්කරුවන් විසින්ම සජීවීව සමාජමාධ්‍ය හරහා ප්‍රචාරය කර තිබිනි. ජෝර්දාන තානාපතිනිය විසින් ප්‍රහාරයේ වගකීම කම්කරු කාන්තාවන් මතම පටවමින් නිකුත් කර තිබූ ප්‍රකාශයට පිලිතුරු වශයෙන් කම්කරුවන් නිකුත් කල වීඩියෝ පටය තුල කම්කරුවන් තානාපති කාර්යාල නිලධාරීන්ට සෘජුවම චෝදනා කලේ සියල්ල අහිමිව අසරනව සිටියදී තමන් ඉදිරිපත් කල සාධාරන ඉල්ලීම් ඉටු නොකොට තම විරෝධතාවය අමානුෂික ලෙස මැඩ පැවැත්වීමට පොලීසිය කැඳවූ බවයි. 
මුගුරු අතැති පොලීසිය

සීරීම් තුවාලයක් හෝ සිදුවී නැතැයි තානාතිපතිවරිය සිදු කල ප්‍රකාශය පුස්සක් කරමින් වීඩියෝ දර්ශන තුල තමන් ට සිදුවී තිබූ ශාරීරික හානි ⁣පෙන්නුම් කල කාන්තාවන් ප්‍රකාශ කරන්නේ උදරය ප්‍රදේශයට එල්ල කල බැටන් ප්‍රහාර හේතුවෙන් කාන්තාවන් කිහිප දෙනෙකු නොකඩවා ලේ වහනය වීමට පවා පාත්‍ර වී ඇති බවයි. තානාපති නිලධාරීන් ප්‍රාන ඇපයට ගත්තා යැයි ආන්ඩුව හා ධනපති මාධ්‍ය නගන චෝදනාව කම්කරුවන් ප්‍රතික්ෂේප කරන නමුත්, මෙම  චෝදනාව කම්කරුවන් දඩයම් කිරීම සඳහා කඩතුරාවක් ලෙස යොදා ගැනීමට ඉඩ ඇත.

මාස හතරහමාරක කාලය තුල මෙම කම්කරුවන් සඳහා තානාපති කාර්යාලය හරහා ලබා දී තිබුනේ දත් බෙහෙත් පැකට්ටුවක්, සනීපාරක්ෂක තුවා පැකට්ටුවක්, “කන්න බැරි” නූඩ්ල්ස් පැකට්ටුවක් ඇතුලු භාන්ඩ හයක පමන පාර්සලයක් පමනි. එය ලබා දීමේ දී ද ඔවුන්ගෙන් අත්සන් ලබාගෙන තිබුනු නමුත් තමන් අත්සන් කරන්නේ කුමකටද යන්න ගැන එහි නිශ්චිත සඳහනක් තිබී නැත. 

⁣කම්කරුවෙකුට “ජේඩ්” තුන්සියයක මුදලක් බැගින් ශ්‍රී ලංකා රජය විසින් ලබා දී ඇති බව ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍යයකින් ප්‍රචාරය කර තිබූ බවත්, එවැනි කිසිදු මුදලක් නොලැබීම නිසා තමන් විමතියට පත් වූ බවත් ප්‍රකාශ කල කාන්තාවෝ තමන්ට දී තිබූ සහන මල්ල ජේඩ් තුනක් වත් නොවටින බව ප්‍රකාශ කලෝය.

“සනීපාරක්ෂක තුවා වත් ගන්න සල්ලි තිබුනෙ නැහැ. 'රවි' ඇවිත් මෙතනින් (සමාගමෙන්) පගාව අරන් යනවා. තව සතියක් දෙකක් මේ විදියට හිටියොත් මේකෙ එක්කෙනෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා. ඒක භාර ගන්න කැමති නම් තව දුරටත් අපිව මෙහෙම හිරකරගෙන ඉන්න. අපි ඉල්ලුවෙ ලංකාවට යන්න ටිකට් එකයි, මාස හතරෙ පඩියයි සෝෂල් එකයි. ඒව දෙන්න බෑ කිව්ව. ⁣ඒව කථා කරන්න බෑ කිව්ව”, එක් කම්කරු තරුනියක් තම විරෝධය ආවේගශීලීව ප්‍රකාශ කලාය. 

යැපීම සඳහා තම කනකර පවා උකස්කර ඇති මෙම කම්කරුවන්ට පානීය ජලය පවා මිලදී ගැනීමට සිදුව ඇති අතර ඔවුනට මාස ගනනාවක්ම සමාගමෙන් ලැබී ඇත්තේ නීරස ආහාර වේල් දෙකක් පමනි. “කාඩ් එකක් වත් ෆෝන් එකට දාගන්න සල්ලි නෑ, ගෙදර දරුවොන්ට කතා කරන්න විදියක් නෑ. අපි කෑවෙ මොනවද කියලවත් හොයල බැලුවෙ නෑ,” යනුවෙන් තවත් තරුනියක් චෝදනා කලාය. 

එක් තරුනියක් පවතින අවදානම තක්සේරු කරමින් මෙසේ ප්‍රශ්න කලා ය: “අපි යවන විදේශ විනිමය කොහාටද යන්නෙ? ඇයි අපිට මෙහෙම කරන්නෙ? හැකිතාක් ඉක්මනින් අපිව ගෙන්න නොගත්තොත් අ⁣පේ මිනී දහයක් පහලොවක් ලංකාවට එන්න ඉඩ තියෙනවා.”

තම ගැටලු සම්බන්ධව මීට පෙර ජුලි 10 දින ප්‍රචාරය කල සමූහ වීඩියෝවක් තුල  කම්කරුවන් සඳහන් කරන්නේ තමන්ගේ 'සෝෂල්' ඉල්ලූ විට සමාගම් හිමි තායිවාන ප්‍රධානියා කියා ඇත්තේ  පඩි කපන බවත් “හිරේ දාන” බවත්ය. “හෙම්බරිස්සාවකට උනු වතුරවත් උනු කරගන්න විදියක් නෑ, වේල් දෙකක් කාල ඉන්නෙ. දරුවොන්ට එහෙමවත් කන්න සල්ලි යවන්න විදියක් නෑ” යි තවත් තරුනියක් අඳෝනා නගයි.

උද්ඝෝෂනයට සම්බන්ධව සිටි සිය ගනනක් වන කම්කරුවන්ගෙන් කවරෙකු හෝ මුඛ ආවරන පැලැඳ සිටියේ නැත. ඔවුනට කවර හෝ සෞඛ්‍ය ආරක්ෂනයක් ලබා දී නොමැති බවට එයමත් සාක්ෂියකි. කම්කරුවන්ගේ ශ්‍රමය ඇට පොත්තටම සූරා කන කර්මාන්ත හිමියන් හා මැදපෙරදිග කලාපයේ  ඔවුන්ගේ ධනපති ආන්ඩු මෙන්ම, ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, මියන්මාරය, නේපාලය වැනි මෙම කලාපයේ රටවල ආන්ඩු ද විගමනික කම්කරුවන්ගේ ජීවිත මාරාන්තික වසංගතයට ගොදුරුවීම සම්බන්ධයෙන් දරන්නේ සාපරාධී නොතැකීමකි. 

වසංගතය හේතුවෙන් පෙබරවාරි මාසයේ සිට මැදපෙරදිග කලාපයේ රටවල් වසා දැමීමත් සමග, ඒවායේ සේවයේ නියුතුව සිටි විගමනික කම්කරුවන්ගෙන් දහස් ගනනකට රැකියා, වැටුප් සහ නවාතැන් අහිමිව ඉතා අසරන තත්වයට ඇද දැමුනි. මාධ්‍ය වාර්තා කලේ පසුගිය සතිය වන විට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන්  ලාංකීය විගමනික කම්කරුවන් 44 දෙනෙකු මියගොස් ඇති බවයි. (මැදපෙරදිග සේවය කල ශ්‍රී ලාංකික කම්කරුවෝ 23 ක් වසංගතයෙන් මියයති: රාජපක්ෂ ආන්ඩුවේ සාපරාධී නොතැකීමේ ප්‍රතිඵලයක්. )

ප්‍රශ්නය හුදෙක් විදේශ කටයුතු අමාත්‍යංශය හා තානාපති කාර්යාල නිලධාරීන්ගේ අකර්මන්‍යතාව නිසා නිර්මානය වූවක් ය යන ව්‍යාජ මතය ගොඩනැගීමට, ආන්ඩුව සහ එහි මාධ්‍ය හොරනෑ විසින් ගෙනගිය ප්‍රචාරයේ ප්‍රතිඵලයක් ලෙස, කම්කරුවන් සියලු දෙනාම පාහේ “ජනාධිපති තුමනි, අපි ලංකාවට ගෙන්න ගන්න”යනුවෙන් ගෝඨාභය රාජපක්ෂ වෙතම ඇවිටිලි කලහ.   

විගමනික කම්කරුවන් රටට ගෙන්වා ගැනීම දිගින් දිගටම අතහැර දමා ඇති රාජපක්ෂ  පෙර දී ප්‍රකාශ කලේ රජය ප්‍රමුඛස්ථානය දෙන්නේ විදෙස්ගත ශිෂ්‍යයින් ගෙන්වා ගැනීමට බව ය.  ජනාධිපතිවරනය සමයේ “රට විරුවන්” ලෙස හැඳින්වූ කම්කරුවන්ට රාජපක්ෂගේ දැන් ප්‍රතිචාරය එසේය.

මිලිටරිය මත වාරුවන ජනාධිපති ඒකාධිපතිත්වයක් ස්ථාපිත කිරීම සඳහා, පාර්ලිමේන්තුවේ තුනෙන්  දෙකක බලය ලබා ගැනීම පිනිස මහ මැතිවරනය හැකි ඉක්මනින් පැවැත්වීමේ සහ ධනපති ලාභෝත්පාදන ක්‍රියාවලිය වහා පනගන්වා ගැනීමේ නරුම චේතනාවෙන්, අන්තරායකාරී ලෙස කම්කරුවන් නැවත වැඩට කැඳවා ගැනීම හරහා, රාජපක්ෂ රට තුල කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් දක්වා ඇත්තේ මීට නොදෙවෙනි ප්‍රතිචාරයක්ය. 

විගමනික කම්කරුවන්ට එරෙහිව දිගේලි කල මෙම ප්‍රහාරය ධනපති සංගත ආරක්ෂා කිරීම සඳහා සමස්ත කම්කරු පන්තියේ ජීවිත නොතකමින් ආන්ඩුව ගෙනයන සාපරාධී ප්‍රතිපත්තියේම කොටසකි.

අඩු තරමින් ගල්කැ⁣ටයකින් හෝ සන්නද්ධව වී නොසිටි තරුන වියේ මව්වරුන් ද වන කම්කරු කාන්තාවන්ට එල්ල කල මෙම ම්ලේච්ඡ  ප්‍රහාරය සමාජවාදී සමානතා පක්ෂය (සසප) දැඩි ලෙස හෙලා දකී. 

ලංකාවේත්, සෙසු රටවලත් කම්කරුවන්ට සසප අවධාරනය කරන්නේ, සංක්‍රමනික කම්කරුවන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම සහ ඔවුන් හැකි ඉක්මනින් මව් රටවලට ‌ගෙන්වා ගැනීම ඇතුලු කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී  අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිනිස ධනපති ආන්ඩුවලට එරෙහිව පෙරට ආ යුතු බවයි.

එයට අවශ්‍ය ජාත්‍යන්තර සමාජවාදී දේශපාලන ඉදිරි දර්ශනය සම්පාදනය කිරීමට සසප සහ එහි මාධ්‍යය වන ලෝක සමාජවාදී වෙබ් අඩවිය කැප වී සිටී.


Wednesday, July 8, 2020

අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරීත්වයේ නිදහස ඇතුලු භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය ආරක්ෂා කරනු!


විසම්මුතිකයන් තලා දැමීම සඳහා සමාජමාධ්‍ය හා විකල්ප අන්තර්ජාල මාධ්‍ය ඉලක්ක කරගැනීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටීමකි.

කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුවේ (කප්‍රනිආක) ප්‍රකාශය
3 ජූලි 2020
ගැඹුරු ආර්ථික හා දේශපාලන අර්බුදය හමුවේ නැගී එන කම්කරු අරගල මැඩීම සඳහා මිලිටරිය මත පදනම් වූ ආඥාදායක පාලනයක් සූදානම් කරමින් සිටින ශ්‍රී ලංකා ආන්ඩුව, කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ මුවවෙන්  අන්තරජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්, උද්ඝෝෂකයන් හා මාධ්‍යවේදීන්  දඩයම් කිරීම නව අඩියකින් තීව්‍ර කර තිබේ.
සමාජ මාධ්‍ය ගිනුම් තුල “සාවද්‍ය” තොරතුරු පලකිරීම හා වසංගත මර්දන වැඩසටහන්වලට සම්බන්ධ රාජ්‍ය නිලධාරීන් “ද්වේශ සහගතව” විවේචනය කිරීම යන චෝදනා මත ශ්‍රී ලංකා පොලීසිය පසුගිය දෙමසකට වැඩි කාලයක්  තුල විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුලු  අවම වශයෙන් හතලිහකට වැඩි දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කිරීමෙන් පසු බන්ධනාගාරගත කර ඇත. 
වැඩබලන පොලිස්පති විසින්, අප්‍රේල් 01 දින නිවේදනයක් නිකුත් කරමින්, අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව ඇතුලු සෑම පොලිස් ස්ථානයකටම නියෝග කලේ කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ගේ “සුලු අඩුපාඩු” මතු කර පෙන්වමින් “බරපතල ලෙස” ඔවුන්ගේ “රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශ සහගත ප්‍රකාශ” අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන නීතිමය පියවර සඳහා අධිකරනයට ඉදිරිපත් කරන ලෙසයි. අත්අඩංගුවට ගැනීම් කරනු ලැබ තිබුනේ මෙම නියෝගය අනුවයි.
පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවෙකු වන තරිඳු අවිෂ්ක අත්අඩංගුවටගෙන තිබුනේ, කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අනුබද්ධ රෝහල, ප්‍රභූවරුන් සඳහා කොරොනා නිරෝධායන මධ්‍යස්ථානයක් ලෙස වෙන් කර ඇති බවට තම ෆේස්බුක් ගිනුමේ  "අසත්‍ය" පල කලේයැයි චෝදනාව කරමිනි. 
වසංගතය තුරන් කිරීම සහ නිරෝධායන වැඩසටහන අතරතුර සිදු වූ අසාධාරනයන් සම්බන්ධයෙන් අදාල ප්‍රාදේශීය ලේකම්ගේ ක්‍රියාකලාපය සිය ෆේස්බුක් ගිනුම තුල විවේචනය කිරීම නිසා තවත් තරුනයෙකු ත‍්‍රිකුනාමලයේ උප්පුවෙලි පොලිසිය විසින් අත්අඩංගුවට ගැනු ලැබිනි.
වසංගතය පැතිරීයාම සම්බන්ධයෙන් පොලීසිය, මිලිටරිය හා ආන්ඩු⁣ගැති රජයේ හා පුද්ගලික මාධ්‍ය හරහා  මුස්ලිම් මහජනයාට වගකීම පැවරීමට උත්සාහගනිමින්  ගෙනගිය වර්ගවාදී ප්‍රකෝපකරනය මධ්‍යයේ එයට  එරෙහිව තම ෆේස්බුක් ගිනුමේ අදහස් පලකල මුස්ලිම් ජාතික රම්සි රාසික්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති පනත (අයිසීසීපීආර්) යටතේ අත්අඩංගුවට  ගනු ලැබ ඇත. රාසික් නිරන්තරයෙන් වර්ගවාදයට එරෙහිව හඬනැඟු අයෙකු බව ඔහුගේ පලකිරීම් සාක්ෂි දරයි. 
රාසික් මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, ආන්ඩුව දැනුවත්වම  මුස්ලිම් ජනකොටස් එල්ල කර ගනිමින් සමාජමාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිරන්තරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරන හා ප්‍රකාශ පිලිබඳ කිසිවකුට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නැති පසුබිමක් යටතේය. 
නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහන, ඔහු නිරන්තරයෙන් කරන අනීතික තර්ජනය කිරීම් මධ්‍යයේ, මාධ්‍යයට ප්‍රකාශ කලේ “අසත්‍ය” තොරතුරු පලකිරීම පමනක් නොව, ඒවා බෙදා හැරීම හා නැවත ප්‍රචාරය කිරීමද වරදක් බවත් එසේ කරන්නන් අත්අඩංගුවට ගන්නා බවත්ය. 
අත්අඩංගුවට ගත් අය අධිකරනයට ඉදිරිපත් කරනු ලැබුවේ  2007 අංක 24 දරන පරිගනක අපරාධ පනතේ 6 වන වගන්තිය හා දන්ඩනීති සංග්‍රහය යටතේ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සෙනෙවිරත්න සඳහන්කර ඇත.  නමුත් “අසත්‍ය” හෝ  “ද්වේශසහගත” තොරතුරු පලකිරීම රටේ කිසිදු නීතියක් යටතේ අපරාධ වරදක් නොවේ. 
එමෙන්ම, “අසත්‍ය” තොරතුරු පලකිරීම යන චෝදනාව යටතේ මින් පෙර රටේ කිසිවකු අත්අඩංගුවට ගත්බවට වාර්තා වී නොමැත. එසේ කිරීම සඳහා කිසිදු නෛතික ප්‍රතිපදානයක් නොමැති පසුබිමක "අසත්‍ය" තොරතුරු පලකිරීම අපරාධමය වරදක් බවට පත්කරන නීතියක් ගෙන ඒමට ගිය වසරේ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව  දැරූ තැත ව්‍යර්ථ විය. 
පරිගනක අපරාධ පනත යටතේ වරදක් සම්බන්ධව චෝදනා ලැබූවෙකුට ඇප ලබාදිය හැක්කේත්, එම වරදක් පිලිබඳ විභාග කල හැක්කේත් මහාධිකරනයට පමනි.  පනතේ 6 වන වගන්තිය යටතේ යමෙකු වරදකරු කරනු ලැබුවහොත් වසර පහක් දක්වා සිරදඬුවමකට එම තැනැත්තා යටත්කල හැකිය. 
වසරකට පෙර  අප්‍රේල් 01 දින, තම ෆේස්බුක් ගිනුමේ කෙටිකතාවක් පල කිරීම මගින් බුද්ධ චරිතයට අපහාස කලැයි යන අභූත චෝදනාව මත, කලාකරුවෙකු වන ශක්තික සත්කුමාර රටේ ඉතිහාසයේ පලමු වරට, අයිසීසීපීආර් පනත යටතේ  අත්අඩංගුවට ගැනීමට සිරිසේන-වික්‍රමසිංහ අන්ඩුව පොලීසිය යොදාගත්තේය. ⁣එම පනත යටතේ ඔහු වරදකරු කරනු ලැබුවහොත් ඔහුට වසර දහයක් දක්වා සිරදඩුවම් පැනවනු ලැබිය හැකිය.  
කොරෝනා ⁣රෝග ආසාදනය සම්බන්ධව සිද්ධියක් සමාජ මාධ්‍යවල වාර්තා කල අන්තර්ජාල මාධ්‍යවේදියෙකුද, ඔහුට තොරතුරු සැපයූ වෛද්‍යවරයෙකුද "අසත්‍ය" ප්‍රවෘත්ති පලකිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන සිරගත කෙරුනේ රෝගය වැලඳීම පිලිබඳ නිල නිවේදන මාධ්‍යයන්හි වාර්තා කෙරෙනුයේ ඉතා අඩුවෙන් බව ප්‍රචලිත කරුනක්ව පැවතියදීය.
වසංගතය මධ්‍යයේ සහනාධාර නොලැබීමට හා ආධාර බෙදීමේදී සිදුවූ අසාධාරනකම්වලට එරෙහිව ගම්පොල දොලුව ප්‍රදේශයේ පැවති උද්ඝෝෂනයක් සංවිධානය කල අයෙකු පේරාදෙනිය පොලීසිය විසින් ඇඳිරිනීතිය කඩකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන නඩු පවරා ඇත.
අභූත චෝදනා නගා අත්අඩංගුවට ගැනීම හරහා, පරීක්ෂන අවසන්වනතුරු බන්ධනාගාරගත කිරිමට ඇති අධිකරන ක්‍රියාමාර්ගය, වරදක් ඔප්පුකිරීමට පෙර දඬුවම් පැමිනවීමේ ක්‍රමවේදයක් වශයෙන් මහජනයා බියවැද්දිම සඳහා ආන්ඩුව අපයෝජනය කරමින් සිටි.
මෙම අත්අඩංගුවට ගැනීම් හරහා ආන්ඩුව පැහැදිලි නිවේදනයක් නිකුත් කර ඇත: එනම්,  “රජය විවේචනය නොකරනු!” යන්නයි. 
අප්‍රේල් 01 නියෝගය මෙන්ම මෙම සෑම අත්අඩංගුවට ගැනීමක්ම නීති විරෝධීය. අත්අඩංගුවට ගැනීම් දිගටම ක්‍රියාත්මක කෙරුනේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙම නියෝගය ව්‍යවස්ථා විරෝධී බවට ප්‍රකාශකර තිබියදී ය. විසම්මුතිකයන් තලා දැමීම සඳහා සමාජමාධ්‍ය හා විකල්ප අන්තර්ජාල මාධ්‍ය ඉලක්ක කරගැනීම මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට කෙටීමකි.
වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන්  මුලසිටම සාපරාධී නොතැකීමෙන් හා නොහැකියාවෙන් කටයුතු කල ආන්ඩුව, ඇඳිරිනීතිය පැනවීමේ සිට අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කරමින් නිකුත්කර ඇති ජනාධිපති මාධ්‍ය නිවේදන සෑම එකක්ම පාහේ නීතියට පටහැනිය. රටේ ධනපති නීතියමත් මායිම් නොකරමින් සහ ඒවා අමු අමුවේ උල්ලංඝනය කරමින් ව්‍යවස්ථා විරෝධී ලෙස කටයුතු කරන රාජපක්ෂ පසුගිය වසරේ නොවැම්බරයේදී බලයට පත්වීමෙන් පසු සමාජ-ආර්ථික දේහයේ සෑම ක්ෂේත්‍රයකටම මිලිටරිය මැදිහත් කිරීමේ වැඩකටයුතු තීව්‍ර කරමින්  ආඥාදායක පාලනයක පූර්ව කොන්දේසි සකස් කරමින් සිටී.  
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ගේ සිට ආන්ඩුවේ සිවිල් පරිපාලනයේ ඉහලම තනතුරුවලට හිටපු හමුදා නිලධාරීන් පත්කර ඇති රාජපක්ෂ වසංගත මර්දන කාර්ය සාධක බලකායේ ප්‍රධානත්වයට හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත් කර සෞඛ්‍ය සේවය ඇතුලු අදාල සේවාවන් මිලිටරියේ අධීක්ෂනය යටතට පත් කෙරුනි. රටේ "සාමය පවත්වාගැනීම" සඳහා ත්‍රිවිධ හමුදාව පොලිස් බලතල සහිතව රටපුරා ලිහා දමා ඇත්තේ ය.  වසංගතය මධ්‍යයේ "ආර්ථිකය නැවත විවෘත කිරීම" සඳහා අගනුවරට මිලිටරිය කැඳවූ ආන්ඩුව, සමස්ත දිවයිනම  මිලිටරිය මත පාදකවූ  පාලනයක් වෙතට වේගයෙන් ධාවනය කරවමින් තිබේ.
මෙවන් පසුබිමක් ය⁣ටතේ, වසංගත තත්ත්වයට පෙර සිටම මාධ්‍යවේදීන්ට මරන වරෙන්තු නිකුත් කරමින් සහ මෘග ප්‍රහාර එල්ල කරමින් රාජපක්ෂ ආන්ඩුව උත්සන්න කල මර්දන වැඩසටහනේ දිගුවක් ලෙස දැන් අන්තර්ජාල මාධ්‍ය හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් එල්ලකරගත් දඩයම ක්‍රියාත්මක වේ.
අප්‍රේල් 01 දින ඇඳිරිනීතිය පනවා හමුදා හා පොලිස් ආරක්ෂාව දැඩිකොට තිබියදීම කිලිනොච්චියේ මාධ්‍යවේදියෙකු වන නඩරාසලිංගම් තුෂාන්ත්ට නාඳුනන පිරිසක් විසින් කඩුවලින් කොටා පහරදී තිබුනි. පසුගිය ජනවාරි 23 දින, මිලිටරිය වාඩිලාසිටින මඩකලපුවේ, දෙමල මාධ්‍යවේදීන් සත් දෙනෙකුට මරන තර්ජන එල්ල කරමින් අත්පත්‍රිකා ⁣නිකුත් කර තිබිනි. ජනාධිපති මහින්ද රාජපක්ෂගේ තන්ත්‍රයට සම්බන්ධ නිලනොවන ඝාතක කල්ලි විසින් මරාදමන ලද, ලසන්ත වික්‍රමතුංග ඇතුලු මාධ්‍යවේදීන් සිහිකිරීමේ උදඝෝෂනයකට සහභාගීවීම ඔවුන්ට එරෙහි මරන වරෙන්තු නිකුත් කිරීමේ ආසන්නතම කරුනය.
ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය බොහොමයක් ආන්ඩුවේ නිලනොවන හොරනෑ බවට පත්ව ඇති පසුබිමක සමාජමාධ්‍ය හා අන්තර්ජාල ප්‍රකාශන විකල්ප මාධ්‍ය ලෙස වැඩිවශයෙන් භාවිතා කෙරේ. පසුගිය ආන්ඩු සමයේ ද පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු කිහිපවරක්ම ර⁣ටපුරා සමාජමාධ්‍ය වාරනයට ලක්කෙරිනි. 
වසංගතය හමුවේ සහන සේවාවන් සැපයීමේ කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව නගර අගුලු දැමීම, වසංගතයට හා මරනයේ අන්තරායට කම්කරු-පීඩිත මහජනතාව නිරාවරනය කරමින් නැවත වැඩට කැඳවීම ආදිය සම්බන්ධයෙන් වර්ධනය වෙමින් පවතින්නේ පුලුල් මහජන වික්ෂෝපයකි. 
ඊට සමාන්තරව, රාජපක්ෂ ආන්ඩුවේ කප්පාදු හා මිලිටරීකරන වැඩපිලවෙලටත්, උග්‍රවන සමාජ අසමානතාවයට හා ප්‍රජාතන්ත්‍රීය අයිතීන්ට එල්ල කරන ප්‍රහාරයන්ටත් එරෙහිව ගොඩනැගෙමින් පවතින මහජන විරෝධයට ප්‍රතිචාරයක් ලෙස භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහසට එරෙහි ආන්ඩුවේ වත්මන් මර්දනය දිගේලි කරමින් තිබේ.
කෙසේ නමුත්, වෘත්තීය සමිති හා ව්‍යාජ වාම කන්ඩායම් ආන්ඩුවට ආයාචනා කරමින් ප්‍රකාශනයේ නිදහස මර්දනය නොකරන ලෙස ආන්ඩුවට නිරර්ථක ආයාචනා කරමින්  දේශපාලන උගුල් ඇටවීමක නිරතව සිටී.
ලංකා ගුරු සංගමය, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය,  තරුන ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ආදී වෘත්තීය සමිත් ඇතුලු සංවිධාන 32ක් ජනාධිපතිවෙත යැවූ ලිපියකින්, මෙලෙස උද්ඝෝෂකයන් හා සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගැනීමට එරෙහිවන බවට  දන්වා ඇත. ලිපිය තුල ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙල පිලිබඳ කිසිදු සඳහනක් නැති අතර "අදහස් ප්‍රකාශ කිරීමට හා විරෝධය පෑමට ජනතාවට ඇති මූලික අයිතිය ආරක්ෂා කරන ලෙස" ජනාධිපතිට තන්නලව් කර සිටී.
ජනාධිපති ආඥාදායකත්වයක් එල්ල කරගත් රාජපක්ෂ ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට එරෙහි වීමකින් තොරව, ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා  යැයි කියමින්, එම සංවිධාන ගෙන යන වැඩපිලිවෙල අන්ත බංකොලොත් හා අන්තරායකාරී එකකි. 
ඊනියා විරුද්ධ පක්ෂ වන, දක්ෂිනාංශික එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, දෙමල ජාතික සන්ධානය ඇතුලු දෙමල ධනපති පක්ෂ, මුස්ලිම් කොංග්‍රසය ඇතුලු මුස්ලිම් ධනපති පක්ෂ සහ ජනතා විමුක්ති පෙරමුන, "වසංගතය මර්දනය කිරීම සඳහා" ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුව ගෙනයන වැඩපිලිවෙලට තම පූර්න සහයෝගය ප්‍රකාශ කලහ. එමගින් ඔවුන් සහයෝගය දී ඇත්තේ වසංගතය මැඩීමේ නාමයෙන් රාජපක්ෂ ගෙනයන රුදුරු මිලිටරීකරන වැඩපිලිවෙලට යි. ව්‍යාජ-වාම සංවිධානයන් වන, නව සම සමාජ පක්ෂය  හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ද ඉහත කඩතුරාව යටතේ ආන්ඩුවේ මිලිටරීකරනයට පිටුබලය සපයති.
කම්කරුවන්, මාධ්‍යවේදීන් හා කලාකරුවන් තීරනාත්මක ලෙස මෙම ධනපති ව්‍යපාරවලින්ද ඒවායේ ව්‍යාජ-වාම සහායකයන්ගෙන්ද බෙදී වෙන්විය යුතුය. ප්‍රකාශනයේ නිදහස ඇතුලු අන් සෑම ප්‍රජාත්නත්‍රවාදී අයිතියක්ම ආරක්ෂා කර ගත හැක්කේ මේ සියලු ධනපති සංවිධානවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු පිහිටුවාගනිමින්, කම්කරු පන්තියේ නායකත්වය යටතේ, ජාත්‍යන්තර සමාජවාදී වැඩපිලිවෙලක් මත සටන් වැදීමෙන්  පමනි. 
වසංගතයට පෙරසිටම එක්සත් ජනපදය, ජර්මනිය, ප්‍රන්සය, ග්‍රීසිය, බ්‍රිතාන්‍ය⁣ය, ස්පාඤ්ඤය, ඉන්දියාව මෙන්ම ලොව සෑම රටකම ආන්ඩු,  දැවැන්ත ආර්ථික අර්බුදයක කොන්දේසි මධ්‍යයේ ක්‍රියාවට දැමූ ප්‍රතිවිප්ලවීය ක්‍රියාවන්ට එරෙහිව වැඩෙන කම්කරු පන්තික අරගල තලා දැමීම සඳහා පොලීසිය, මිලිටරිය, බුද්ධි අංශ සීරුවෙන් තබමින් ද, වර්ගවාදය හා අන්ත දක්ෂිනාංශික ප්‍රතිගාමී බලවේග පෝෂනය කරමින් ද, ආඥාදායක පාලනරූපවලට මාරුවෙමින් සිටී. රාජපක්ෂ ආන්ඩුවේ ක්‍රියාකලාපය මෙම  ජාත්‍යන්තර සන්තතියේම කොටසකි.
පහත සටන්පාඨ මත කලාවේ, භාෂනයේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීම සඳහා නොපමාව පෙරට එමින් කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව  ගොඩනැගීම සඳහා එක්වෙන ලෙස අපි  කම්කරුවන්, කලාකරුවන්, මාධ්‍යවේදීන් හා තරුනයන් ට ආරාධනා කර සිටිමු:
ව්‍යාජ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙනඇති සියලු සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයන්, මාධ්‍යවේදීන් හා උද්ඝෝෂකයින් කොන්දේසි විරහිතව වහා නිදහස් කරනු!
කලාකරුවන්ට, මාධ්‍යවේදින්ට හා අන්තර්ජාල මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට එරෙහිව ඔවුන්ගේ ලිපි, ප්‍රකාශන හෝ නිර්මාන මත ගොනුකොට ඇති හා ගොනුකිරීමට නියමිත නඩු ක⁣ටයුතු වහා අහෝසි කරනු!
අයිසීසීපීආර් පනත, පරිගනක අපරාධ පනත ඇතුලු මර්දක නීති වහා අහෝසි කරනු!
ප්‍රජාතන්ත්‍රිය අයිතීන් ආරක්ෂා කරනු!
කම්කරු පන්තියේ ස්වාධීන ජාත්‍යන්තර සමාජවාදී එකමුතුව සඳහා පෙරට!