Monday, October 7, 2019

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශකිරීම: එහි නීතිය හා දේශපාලන ආර්ථිකය

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශකිරීම : එහි නීතිය හා දේශපාලන ආර්ථිකය


දුම්රිය කම්කරුවන් දින දොලහක් තිස්සේ පවත්වාගෙන ගිය වැඩවර්ජනය ඇමති හා ජනපති ඉදිරියේ දනින් වැටුනු වෘත්තීය සමිති විසින් ඊයේ (07)අත්හැර දමා ඇත. 

දුම්රිය ඇතුලු පොදු ප්‍රවාහන සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට ඔක්තෝම්බර් 03 දින මඔ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති විසින් ප්‍රකාශයට පත් කෙරිනි. ඒ 1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය යටතේ නිකුත්කල අතිවිශේෂ ගැසට් පත්‍ර අංක.2143/51 මගිනි.

වැටුප් විෂමතා ඇතුලු‍ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සැප්තැම්බර් 25 මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය එන්ජින් රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, අධීක්ෂන නිලධාරීන් හා ගමන් පාලකවරුන් ඇතුලු‍‍ 2000කට අධික දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කලහ. යාන්ත්‍රික පරීක්ෂකවරුන්, ප්‍රවාහන පරීක්ෂකවරුන් සහ විශ්‍රාමිකයන් යොදවාගෙන දුම්රිය ධාවනය කරවීමට සහ තර්ජනයන් මගින් වර්ජනය කඩාකප්පල් කිරීමට ආන්ඩුව සහ දුම්රිය බලධාරීන් ගත් උත්සාහ ය අසාර්ථක විනි. දිනකට සාමාන්‍යයෙන් ධාවනය කෙරෙන 400 ක් පමන වන දුම්රිය සංඛ්‍යාව 10-12 පමන සීමා විනි. දැන් වෘත්තතීය සමිති තවත් අරගයක් පාවා දී ඇත. 

අත්‍යවශ්‍ය මහජන සේවා පනත: කම්කරුවන් මඩින පනතක්
මෙම පනත එක්සත් ජාතික පක්ෂ ආන්ඩුව විසින් නව-ලිබරල් විවෘත ආර්ථික ප්‍රතිපත්ති ලංකාව තුල ක්‍රියාත්මක කිරීම පිනිස, විධායක ඒකාධිපතියෙකුගේ බලය තහවරු කිරීම වෙනුවෙන් සකස් කල 1978 ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ හඳුන්වාදුන්, කම්කරු පන්තික අරගල මැඩීම සඳහා ගෙන ආ මර්දක නීතියකි. එය ලංකාවේ අලිඛිත ව්‍යවස්ථාවට,එනම් නවලිබරල් ව්‍යවස්ථාමය මූලික ව්‍යුහයට අයත් එක් නීතියකි. වැඩිවෙන උද්දමනය හා ජීවන වියදම, පොදු සහනසේවා හා වැටුප් කප්පාදුවට එරෙහිව, 25000 ක් පමන දුම්රිය සේවකයන් ද සහභාගී වූ1980 ජුලි වර්ජනයේදී 40000 ක් පමන කම්කරුවන්ගේ සේවය අහිමි කිරීම සඳහා මෙම පනත යොදා ගැනුනි. 

මෙම පනත ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල කල බරපතල පහරකි. වගන්ති අටකින් යුතු මෙම පනතේ 2(1) වගන්තිය යටතේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වා ගෙන යාම සඳහා අත්‍යවශ්‍ය බවට  සලකමින් එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පවතින්වන්ය යන පදනමින් රාජ්‍ය සේවයේ ඕනෑම අංශයක් පාහේ අත්‍යවශ්‍ය මහජන සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කිරීමේ බලය, අදාල ඇමතිගේ ද අදහස විමසීමෙන් පසුව, විධායක ජනාධිපතිට පැවරේ. මෙවන් අත්‍යවශ්‍ය සේවා නියෝගයක් එය ගැසට් පත්‍රයේ පලකල දින සිට බලාත්මක වන අතර  පාර්ලිමේන්තුව විසින් දින දාහතරක් ඇතුලත සම්මත කිරීමෙන් පසු මසක කාලයකට බල පැවැත්වේ.

එලෙස අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබූ රාජ්‍යසේවයක වැඩවර්ජන ක්‍රියාවලියකට එක්ව සිටින සේවකයන්ට එරෙහිව අපරාධ නඩු පැවරිය හැකි වරදවල් ගනනාවක් පනතේ 2(2) වගන්තිය යටතේ දක්වා තිබේ. එ් අනුව අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත්කොට ඇති විටෙක ⁣එම සේවයට වාර්ථා කිරීමට හෝ අදාල ආයතන ප්‍රධානියා විසින් නියම කරනු ලබන කටයුත්තක් ඔහු විසින් සාධාරනයැයි සිතන කාලයකදී කිරීමට අපොහොසත් වීම හෝ එය ප්‍රතික්ෂේප කිරීම වරදවල් ගනයට වැටේ. තවද අදාල සේවාව කිරීම සඳහා යොදවනු ලැබිය හැකි පුද්ගලයන්ට අවහිර කිරීම, භාදා කිරීම,  වැඩ පමා කිරීම; එලෙස අමතරව සේවයේ යොදවා ඇති පුද්ගලයන් සේවයට වාර්ථා කිරීම අවහිර කිරීම, වැලැක්වීම හෝ සේවයට නොඑන ලෙස හෝ සේවා ස්ථානය හැරයන ලෙස බලකිරීම, අනුබල දීම, පෙලඹවීම; එවන් වෙනත් පුද්ගලයකු අදාල සේවය සඳහා බඳවා ගැනීම වැලැක්වීම යනාදිය පනත යටතේ අපරාධ ගනයේ වැරදි යටතට වැටේ.

පනතේ 4 වන වගන්තිය එම වරදවල් යටතේ ලබා දිය හැකි බරපතල දඬුවම් දක්වයි. මෙම වරදවල් යටතේ මහේස්ත්‍රාත් උසාවියේ අසන ලඝු නඩු විභාගයකින් පසුව වරදකරු වන කම්කරුවෙකුට වසර දෙකකට නොඅඩු හා වසර පහකට නොවැඩි බරපතල වැඩ සහිත සිරදඩුවම්වලට යටත් කල හැකිය. ඊට අමතරව රුපියල් දෙදාහත්, පන්දහසත් අතර දඩයකටද යටත් කල හැකිය.  

වෙනත් දන්ඩන නීතිවල සාමාන්‍ය දඩුවම් ක්‍රම පරයා යමින් මෙම පනත යටතේ ඉහත දඩුවම් වලට අමතරව උසාවිය මඟින් අදාල කම්කරුවාගේ චංචල හා නිශ්චල දේපල රාජසන්තක කල හැකි අතර ඔහුගේ/ඇයගේ නම යම් වෘත්තියකට හෝ රැකියාවකට අදාල නාම ලේඛනයකින්  කපාහැරීමේ දඩුවමක්ද දිය හැකිය.

මෙම පනතේ මර්දනකාරීත්වය කොතෙක්ද යත්, එහි හයවන වගන්තියටඅනුව, එකී වැරදි යටතේ පවරනු ලබන අපරාධ නඩු කටයුත්තකදී විත්තිවාචකයක් ලෙස කම්කරුවා අදාල ක්‍රියාව කලේ හෝ නොකලේ තමන් අයත් වෘත්තීය සමිති විසින් දියත් කල වැඩ වර්ජනයක් නිසාය යන්න ඉදිරිත් කල නොහැක.

⁣මෙම පනත අනිකුත් සෑම ලිඛිත නීති විධිවිදානයක්ම අභිබවා ක්‍රියාත්මක වන අතර අපරාධ නඩුවිදාන සංග්‍රහ පනතේ 15(2) යටතේ වරදකරු කරනු ලැබූ අයෙකු උසාවියතුල දඩ ගෙවන තෙක් රඳවා තැබීමට ඇති බලය මහේස්ත්‍රාත් උසාවියට අහිමි කොට කම්කරුවා අනිවාර්ය බන්ධනාගාරගත කිරීමට බලකර තිබේ. 

මීට අමතරව, ආයතන සංග්‍රහයේ පස්වන පරිඡ්චේදයේ හත්වන වගන්තියට අනුව කම්කරුවා නිවාඩු ලබා නොගෙන රාජකාරියට නොපැමිනීම යන පදනමක් යටතේ ඔහුව එලෙස සේවයට නොපැමිනි දින සිට තනතුර අත්හැර ගියා සේ සැලකිය හැකි අතර ඒ බව ඔහු අනුබද්ද දෙපාර්තමේන්තු ප්‍රධානියකු වන මාන්ඩලික නිලධාරියකු විසින් ලියාපදිංචි තැපෑලෙන් දන්වා සිටිය හැක.

මහජන ආරක්ෂන ආඥා පනත යටතේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත් කරනිමින් වැඩබිම් හා සේවා ස්ථානවලට මිලිටරි හමුදාව බස්සවා අරගල මර්ධනය කල මෑත අවස්ථා මෙන්ම නැවත නැවතත් එලෙස ක්‍රියාත්මක වීමට ධනපති ආන්ඩු දෙවරක් සිතන්නේ නැත. මේ සියල්ලගෙන් පෙන්නුම් කරන්නේ වැඩෙන පන්ති අරගල හමුවේ ධනපති පාලනය මුහුන දී ඇති බරපතල අර්බුදය යි.

දුම්රිය ඇතුලු‍ රාජ්‍ය අංශයේ දැන් පවතින වර්ජන වලට එරෙහිව හමුදාව යෙදෙවීමට තමන් සූදානම් බව කියමින් හමුදාපති සවේන්ද්‍ර සිල්වා  පසුගිය අඟහරුවාදා ප්‍රකාශ කර ඇත්තේ කැඳවුම් කලොත් “මහජන ආරක්ෂාව සහතික කිරීමට සහ රාජ්‍ය සේවාවන් තුල නීතිය පවත්වාගෙන යාම” සඳහා ඉල්ලා සිටින “ඕනෑම” දෙයක් කිරීමට හමුදා නිලධාරීන් සූදානමින් සිටින බවයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය මෙම ප්‍රකාශයන්ගේ භයානක අඟවුම් මෙසේ පැහැදිලි කලේය:

"මෙය වනාහි කම්කරුවන් අරගලවලට එලඹීමත් සමග ආන්ඩුව හා සමස්තයක් ලෙස පාලක පන්තිය ම අර්බුදයට පත්ව සිටින තත්වය තුල මිලිටරිය පැත්තෙන් මැදිහත්වීමකට සූදානම් බව ප්‍රකාශ කිරීමකි; සරල භාෂාවෙන් ගතහොත්, මෙය ආඥාදායක පාලනයක් සඳහා සූදානම ප්‍රකාශ කිරීමකි".

වෘත්තීය සමිතිවල පාවාදීමට එරෙහිව අයිතීන් සඳහා දේශපාලන වැඩපිලිවෙලක්:

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව හෝ ජනාධිපතිවරනයෙන් පසු බලයට පත්වන කුමන හෝ ආන්ඩුවක් හෝ ක්‍රියාවට දමනු ඇත්තේ කම්කරුවන්ගේ ඉල්ලීම් වලට විසඳුම් දීමේ වැඩ පිලිවෙලක් නොව ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් නියෝග කරනු ලැබ ඇති කප්පාදු වැඩපිලිවෙල ඇතුලු ආර්ථික ප්‍රතිසංස්කරනයන් ය. 2020 වන විට අයවැය පරතරය   දල ජාතික නිෂ්පාදනයෙන් සියයට 3.5 දක්වා අඩු කිරීමට බැඳී ඇති ආන්ඩුව ඇමරිකානු ඩොලර් බිලියන 54.2ක විදෙස් නයබරින් එරී ඇත. 

ආන්ඩුවේ මෙම ප්‍රහාරයන්ට එරෙහිව, ජාත්‍යන්තර ප්‍රපංචයක කොටසක් ලෙස, ලංකාවේ පන්ති අරගලය ඉහල තලයකට අද නැංවී තිබේ. ගුරුවරුන්, විශ්ව විද්‍යාල අනධ්‍යයන සේවකයින්, පරිපාලන සේවකයින් ආදී සෑම කම්කරු කොට්ටාශයක්ම එකම වැටුප් හා ජීවන ගැටලු වලට මුහුන පා සිටින අතර මෙම අරගල මැඩීම සඳහා බලට එන ඕනෑම ආන්ඩුවක්ම පොලිස් රාජ්‍ය පියවරයන් යොදාගනිමින් වඩ වඩාත් දේශපාලන දකුනට ගමන් කිරීමට නියමිතය. සිංහල වර්ගවාදී නඩ පෝෂනය කරමින් සුලු ජනකොටස්වලට එරෙහිව ඒවා යොදාගනිමින් කම්කරු පන්තිය බෙදා දැමීම හා අවමංගත කිරීම සඳහා දිගින් දිගටම පියවර ගනු ඇත.
දුම්රිය වැඩ අරඹයි

මෙම රාජ්‍ය මර්දනයට අනුග්‍රහ කරමින් වර්ජනයෙන් මහජනයා අපහසුවට පත්වීම ගැන කිඹුල් කඳුලු‍ හෙලමින් දුම්රිය කම්කරුවන්ට එරෙහිව මහජනයා උසිගැන්වීමේ නින්දිත ව්‍යයාමක ධනපති ජනමාධ්‍ය නිරතව සිටිති. මෙම ව්‍යායාමයන් පරාජය කර හැක්කේ වර්ජනයේ යෙදෙන කම්කරුවන් සෙසු කම්කරු මහජනතාවගේ අරගල සමඟ තම අරගල ඒකාබද්ධ කිරීමෙනි. වෘත්තීය සමිති කිසිවිටෙක මෙය නොකරති. කම්කරු පන්තියේ අවශේෂ කොටස් තබා සෙසු ශ්‍රේනි වලට අයත් දුම්රිය සේවකයන් බලමුලු‍ ගැන්වීම දුම්රිය සමිති විසින් ප්‍රතික්ෂේප කර ඇත. 


නිෂ්පාදනයේ භූගෝලීකරනයෙන් පසු ජාතික රාජ්‍ය මට්ටමේ පදනම් වී ඇති වෘත්තීය සමිති ඇතුලු කිසිදු සංවිධානයකට කම්කරු මහජනතාවගේ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් හෝ හරයාත්මක සමාජ සුභසාදනයක් ජයග්‍රහනය කල නොහැක. ඒ බැවින් අරගල පාවාදීමේ හා ආන්ඩු ආරක්ෂාකරගැනීමේ න්‍යායපත්‍රයක් හැර කම්කරු අයිතීන් ජයග්‍රනය කිරීම සඳහා ධනපති පන්ති පාලනයට අභියෝග කිරීමේ  දේශපාලන වැඩපිලිවෙලක් වෘත්තීය සමිතිවාදයට නැත. තම අයිතීන් ජයග්‍රහනය කිරීම සඳහා තම කර්මාන්තශාලාවල, සේවා ස්ථානවල හා කාර්මික නිවහන් ප්‍රදේශවල ක්‍රියාකාරී කමිටු සාදා ගනිමින් ජාත්‍යන්තර සමාජවාදී ක්‍රියාමාර්ගයක් යටතේ අවශේෂ සෑම කම්කරු කොටසක්ම ඒකාබද්ධකරගන්නා අරගලයකට කම්කරුවන් අවතීර්න විය යුතුය.

නීතිඥ සංජය විල්සන් ජයසේකර විසිනි
Credit for image on top: dailynews.lk