Thursday, July 30, 2026

LTTE තහනම අප සැමටම එරෙහි ආයුධයකි: සංගීත්සන් අත්අඩංගුවට ගැනීම සහ රාජ්‍ය මර්දනයේ සැබෑ තර්කනය





සංජය ජයසේකර, ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කණ්ඩායම වන, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) සාමාජික. සසප යනු, ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) ප්‍රකාශයට පත් කරන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) ශ්‍රී ලංකා ශාඛාවයි.


LTTE තහනම අප සැමටම එරෙහි ආයුධයකි: සංගීත්සන් අත්අඩංගුවට ගැනීම සහ රාජ්‍ය මර්දනයේ සැබෑ තර්කනය




මෙම ලිපිය 2026 ජුනි 11 දින theSocialist.lk වෙබ් අඩවියේ “The LTTE Ban is a Weapon against All of Us: The Arrest of Sangeethsan and the Real Logic of State Repression යන සිරසින් ඉංග්‍රීසි බසින් පළ කෙරුණි. 
සංගීත්සන් (සංගීත්සන් ෆේස්බුක් පිටුව)


කිලිනොච්චියට සාමාන්‍ය දිනයක් විය යුතුව තිබූ දිනක (ජූනි 2 වනදා), චාවකච්චේරි පොලිසිය හරහා ක්‍රියාත්මක වූ යාපනය දිස්ත්‍රික් අපරාධ විමර්ශන කාර්යාංශය විසින් 24 හැවිරිදි සංගීතඥයෙකු අත්අඩංගුවට ගන්නා ලදී. ඔහුගේ නම ගනේෂ් කුමාර් සංකීතන් (සංගීත්සන්) වන අතර, ඔහු “හිප් හොප් සංගී” (HipHop Sangee – යූටියුබ් නාලිකාවේ නම) යන වේදිකා නාමයෙන් ප්‍රසිද්ධය. රජයට අනුව ඔහු කල අපරාධය වන්නේ, බෙදුම්වාදී දෙමළ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානය වක්‍රව උත්කර්ෂයට නංවන බවට පොලිසිය චෝදනා කරන ගීත අන්තර්ජාලයට උඩුගත කිරීමයි. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ (PTA) 3(h) වගන්තිය යටතේ ඔහුව සති දෙකකට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ඔහුගේ නීතිඥ කේ. සයන්තන් අපට තහවුරු කළේය.

සමාජීය විවේචන සහ සංස්කෘතික කථාන්දර එකිනෙක මුසු කරමින් නිර්මාණය කරන ලද ගීත හේතුවෙන්, රැප් ගායකයෙක් වන සංගීත්සන් දේශීය දෙමළ හිප්-හොප් ප්‍රජාව අතර පුළුල් පිළිගැනීමක් ලබා ඇත. ඔහුගේ නිර්මාණ බොහොමයක් ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ ලබාගත හැකිය. අප මේ පිළිබඳව තවදුරටත් ගැඹුරින් සොයා බැලීමට පෙර, එම ගීතවලින් එකක අන්තර්ගතය කුමක්දැයි සලකා බලමු. එය හුදු අපැහැදිලි සංස්කෘතික ප්‍රකාශනයක් හෝ නොපැහැදිලි කලාත්මක උපමාවක් නොවේ. එහි වේලුපිල්ලේ ප්‍රභාකරන් හැඳින්වීම සඳහා ඊළාම් දෙමළ දේශපාලන සංස්කෘතිය තුළ භාවිතා වන ‘අන්නන්’ (වැඩිමහල් සහෝදරයා) යන පදය යොදා ගනී. ජයග්‍රාහී ලෙස පැමිණෙන කොටි ධජය පිළිබඳව එහි සඳහන් වේ. එමෙන්ම, මියගිය LTTE සාමාජිකයන් වන ‘මාවීරන්’ (මහා වීරයන්) ඔවුන්ගේ නම්වලින් සහ ඔවුන්ගේ කැපකිරීම්වල ප්‍රතිරූපයන් මඟින් එහිදී ගෞරවයට පාත්‍ර වේ. නැවත පැමිණ දේශය ගොඩනඟන ලෙස එය ඔවුන්ගෙන් ඉල්ලා සිටියි. තවද, LTTE සංවිධානයේ මියගිය අය වෙනුවෙන් වාර්ෂිකව පවත්වනු ලබන “මාවීරර් නාල්” සැමරුම් මාසය වන “කාර්තිකෙයි” (නොවැම්බර්) මාසය එහි හැඟීම්බර සහ සංකේතාත්මක පසුබිම ලෙස භාවිත කර ඇත: එහිදී මියගිය අය වෙනුවෙන් මල් රැගෙන එන අතර, ඔවුන් වෙනුවෙන් හඬා වැලපෙන පවුල්වල සාමාජිකයෝ ඔවුන්ට ආමන්ත්‍රණය කරති; අවසානයේදී දේශය ගොඩනැඟීම සඳහා මියගිය අයට නැවත කැඳවීමක් කරනු ලබයි.

මේවා, යුද්ධයෙන් පීඩා විඳි දිස්ත්‍රික්කයක උපත ලබා, ශෝකය මැද හැදී වැඩුණු තරුණයෙකුගේ පද රචනයන් වේ. 2009 මැයි මාසයේ සිට තම ප්‍රජාවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට ප්‍රජාතන්ත්‍රවාදී නොවන අයුරින් තහනම් කර ඇති දේ, කලාව තුළින් ඉදිරිපත් කිරීමට ඔහු සංගීතය උපයෝගී කරගෙන ඇත.

අප මෙම කරුණු ප්‍රකාශ කරන්නේ සංගීත්සන්ව දිගින් දිගටම සිරකූඩුවක රඳවා තබා ගැනීමට අවශ්‍ය අයට අනුබල දීමට නොවේ. අප මේවා ප්‍රකාශ කරන්නේ, ශ්‍රී ලංකා රජය සහ සමාජ මාධ්‍ය ජාලාවල සිටින එහි අන්තවාදී ආධාරකරුවන් විනාශ කිරීමට එකලෙස උත්සාහ කරන එක්තරා මූලධර්මයක් වෙනුවෙන් මෙම ලිපිය පෙනී සිටින බැවිනි. එනම්, අවංක දේශපාලනයක් ආරම්භ විය යුත්තේ තමන්ට වාසිදායක දේ පමණක් තෝරාගෙන ඉතිරිය මඟ හැරීමෙන් නොව, සත්‍යය පදනම් කර ගනිමිනි. අප ඉදිරියේ ඇති ගැටලුව වන්නේ සංගීත්සන්ගේ පද රචනා මඟින් අප අනුමත කරන දේශපාලන වැඩපිළිවෙළක් ප්‍රකාශ කෙරේද යන්න නොවේ. ඒවායින් එවැන්නක් ප්‍රකාශ නොවන අතර, ඊට හේතුව ඉදිරි ඡේදවලදී අප නිහතමානීව හා පැහැදිලිව විස්තර කරන්නෙමු. අප ඉදිරියේ ඇති ප්‍රශ්නය මීට වඩා වෙනස් මෙන්ම මූලික එකකි: එනම් තරුණයෙකු තම ගීතවල අඩංගු දේශපාලන කරුණු හේතුවෙන් සිරගත කිරීමට කිසියම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට අයිතියක් තිබේද? යන්නයි.

එයට ඇති පිළිතුර නැත යන්නයි. නිසැකවම, නැත යන්නයි. 

වැරදි, නොමඟ ගිය හෝ අන් අයගේ දැඩි විරෝධයට ලක්වන දේශපාලන මතවාදයන් ප්‍රකාශ කිරීමේ නිදහස ද ඇතුළුව දේශපාලනික අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස  යනු කම්කරු පන්තිය විසින් උපරිම අවධානයෙන් යුතුව ආරක්ෂා කරන අයිතිවාසිකමකි. ඒ සඳහා පවතින්නේ එකම එක් මූලධර්මාත්මක සහ කිසිසේත් එකඟ විය නොහැකි ව්‍යතිරේකයකි: එනම් ෆැසිස්ට්වාදී කතා සහ ෆැසිස්ට්වාදී සංවිධානයයි. එය හැර, අප අන් සියලුම, අදහස් ප්‍රකාශ කිරීම් ආරක්ෂා කරන්නේ සියලුම දේශපාලන අදහස් එකලෙස නිවැරදි බැවින් නොවේ. දෙමළ ජනතාවගේ ශෝකය නිහඬ කිරීම සඳහා අද දින නිර්මාණය කර ඇති මර්දනකාරී නීතිමය යාන්ත්‍රණය, හෙට දින වැඩවර්ජනය කරන කම්කරුවන්ට, විරෝධතා පවත්වන සිසුන්ට සහ ධනේශ්වර රාජ්‍යයේ බලයට අභියෝග කරන වෙනත් ඕනෑම අයෙකුට එරෙහිව හරවනු ලබන්නේ, එම යාන්ත්‍රණයම වන බැවිනි. මෙය හුදු න්‍යායාත්මක අනතුරු ඇඟවීමක් නොවේ. මෙය ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA), අනෙකුත් ආරක්ෂක නීති සහ අත්‍යවශ්‍ය සේවා නීති පිළිබඳ ලේඛනගත ඉතිහාසයයි. මෙම නීති සිංහල ග්‍රාමීය තරුණයන්ට, සිසුන්ට, මුස්ලිම් තරුණයන්ට, දෙමළ මාධ්‍යවේදීන්ට, වතු කම්කරුවන්ට, විදුලිබල කම්කරුවන්ට සහ වරාය කම්කරුවන්ට එරෙහිව එකලෙස සහ වෙනසකින් තොරව සාහසික ලෙස භාවිත කර ඇත. 

මෙම ලිපිය මූලික වශයෙන්ම ලියැවෙන්නේ, අප මෙහි සාකච්ඡා කරන කරුණු තම දෛනික අත්දැකීම බවට පත්ව ඇති ජනතාව උදෙසා නොවේ. මෙය ලියැවෙන්නේ සිංහල තරුණ තරුණියන්, කොළඹ, මහනුවර සහ ගාල්ලේ මධ්‍යම පන්තික පවුල් මෙන්ම වතුවල සහ කර්මාන්තශාලාවල සේවය කරන කම්කරුවන් වෙනුවෙනි. ඔවුන්ට තම ජීවිත කාලය පුරාම අසන්නට ලැබුණේ 2009 මැයි මාසයේදී දෙමළ ප්‍රශ්නය විසඳා අවසන් වූ බවත්, “ත්‍රස්තවාදය” පරාජය කළ බවත්, දෙමළ දේශපාලන ප්‍රකාශනයන් කෙරෙහි දක්වන ඕනෑම අනුකම්පාවක් රටට එරෙහි කුමන්ත්‍රණයක් බවත්ය. මෙය ලියැවෙන්නේ, සමාජ මාධ්‍ය ඔස්සේ සංගීත්සන්ගේ පද රචනා සංසරණය වනු දැකීමෙන්, එහි ඇත්තේ කොටි කොඩිය, ප්‍රභාකරන්, දෙමළ ඊළම ආදිය ‍යන්නත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) තියෙන්නේ හරියටම මෙන්න මේ වගේ දේවල්වලට තමයි යනුවෙනුත් ස්වයංක්‍රීය ප්‍රතිචාරය දැක්වීමට හුරු කරන ලද වූ පිරිස් වෙනුවෙනි. 

මෙය ලියැවෙන්නේ මෙසේ ප්‍රශ්න කිරීමටය: එම ස්වයංක්‍රීය ප්‍රතිචාරය ඇති කර ගැනීමට ඔබට කියා දුන්නේ කවුද? එයින් වාසි ලබන්නේ කවුද? එමෙන්ම, සිංහල පුද්ගලයෙකු ලෙස නොව, කම්කරුවෙකු ලෙස, තරුණයෙකු ලෙස, සහ දෙමළ තරුණයන් හා කලාකරුවන්ගෙන් රිමාන්ඩ් බන්ධනාගාර පුරවන එම රාජ්‍යය විසින්ම තමන්ගේ ජීවන තත්ත්වය විනාශ කරනු ලැබ පවතින අයෙකු ලෙස, ඒ වෙනුවෙන් ඔබට ගෙවීමට සිදුව ඇති වන්දිය කුමක්ද?

LTTE තහනමේ එල්ලය ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම නොව, එය නිර්මාණය කිරීමය

හමුදාවේ අවසාන ප්‍රහාරයෙන් සිවිල් යුද්ධය අවසන් වීමට මාස කිහිපයකට පෙර, එනම් 2009 ජනවාරි මාසයේදී මහින්ද රාජපක්ෂ රජය විසින් ගැසට් පත්‍රයක් මඟින් LTTE ය තහනම් කළ දා සිට මේ දක්වා එම නිල තහනම අඛණ්ඩව පවත්වාගෙන ගොස් ඇත. 2011 වසරේ නිකුත් වූ අවසාන ගැසට් පත්‍රය මඟින් මෙම තහනම තවදුරටත් ශක්තිමත් කළ අතර “ඊට අදාළ ක්‍රියාකාරකම්” ද ඇතුළත් වන පරිදි එය දීර්ඝ කරන ලදී. එතැන් සිට සිරිසේන, වික්‍රමසිංහ, ගෝඨාභය සහ දැන් පවතින දිසානායකගේ JVP/NPP රජය ඇතුළුව බලයට පත් සෑම රජයක්ම, මෙම නීතිමය රාමුව කිසිදු වෙනසකින් තොරව එලෙසම පවත්වාගෙන ගොස් ඇත.

සමාජවාදී සමානතා පක්ෂය (සසප/SEP) 2009 දී පැනවූ මුල් තහනමට විරුද්ධ වූ අවස්ථාවේදී, එම තහනම සැබවින්ම පැනවූයේ කුමකටද යන්න ඉතා නිවැරදිව පැහැදිලි කළේය. එකල නිකුත් කරන ලද ප්‍රකාශයේ සඳහන් වූයේ මෙම තහනමෙන් “LTTE සංවිධානයට සෘජු බලපෑමක් නොමැති බවයි, මන්ද ආණ්ඩුව ඒ වන විටත් එම දෙමළ බෙදුම්වාදී සංවිධානයට එරෙහිව යුද්ධය දියත් කර තිබූ බැවිනි.” LTTE සංවිධානය සමඟ “සම්බන්ධ හෝ එය නියෝජනය කරන” සංවිධාන තහනම් කිරීමට මෙම නියෝගය මඟින් ලැබෙන පුළුල් බලතල, “පාර්ලිමේන්තු දේශපාලන පක්ෂයක් වන දෙමළ ජාතික සන්ධානයට (TNA) එරෙහිව වහාම භාවිත කළ හැකි බවට” ද එමඟින් අනතුරු අඟවන ලදී. එමෙන්ම, “මෙවැනි පුළුල් අර්ථකථනයන්, රජයේ විරුද්ධවාදීන් ලෙස සැලකෙන දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති හෝ ශිෂ්‍ය සංවිධාන ඇතුළු ඕනෑම සංවිධානයකට එරෙහිව වුවද භාවිත කළ හැකි බව” සසප පූර්ණ නිරවද්‍යතාවයකින් යුතුව අනාවැකි පළ කළේය.[1]

වසර දාහතකට පසු, එම අනතුරු ඇඟවීම් එකින් එක සැබෑ වී ඇති බව විවිධ සිදුවීම් මඟින් තහවුරු වී ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිත කරමින් දෙමළ රැඳවියන් නඩු විභාගයකින් තොරව වසර ගණනාවක් තිස්සේ සිරගත කර තැබීමටත්, අයිසිස් (ISIS) සංවිධානය සහ අධිරාජ්‍යවාදී යුද්ධය හෙළා දකිමින් කවි ලිවීම හේතුවෙන් අහ්නාෆ් ජසීම් නම් තරුණ මුස්ලිම් කවියෙකුට වධ හිංසා පැමිණවීමටත්, දෙමළ මාධ්‍යවේදීන්ට හිරිහැර කිරීමටත් කටයුතු කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන බවට වූ පොරොන්දුව මත බලයට පත් වූ JVP/NPP රජය, ගාසා වර්ග සංහාරයට සිය විරෝධය පළ කළ මුස්ලිම් තරුණයන්ට එරෙහිව මේ වන විටත් මෙම පනත භාවිත කර තිබේ. 2025 අගෝස්තු මාසයේදී, උතුරු පළාතේ සමූහ මිනීවළවල් පිළිබඳව වාර්තා කළ දෙමළ මාධ්‍යවේදියෙකුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය (TID) ප්‍රශ්න කරන ලදී. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට හඳුන්වා දීමට කෙටුම්පත් කරමින් පවතින නව ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත (PSTA) මඟින් එහි මූලික ලක්ෂණ එලෙසම රඳවාගෙන ඇති අතර, “මහජනතාව බිය ගැන්වීම” හෝ “යම් ක්‍රියාවක් කිරීමට හෝ එයින් වැළකී සිටීමට රජයට බල කිරීම” ඇතුළත් වන පරිදි “ත්‍රස්තවාදී ක්‍රියාවක්” ලෙස අර්ථ දැක්විය හැකි පරාසය තවදුරටත් පුළුල් කර ඇත. මෙම නීතිමය භාෂාව වෘත්තීය සමිති වැඩවර්ජන, මහජන විරෝධතා සහ ඕනෑම ආකාරයක සංවිධානාත්මක ප්‍රතිරෝධයක් අපරාධයක් බවට පත් කිරීම සඳහා භාවිත කළ හැකිය.

භාවිත කරන මෙවලම වෙනස් වේ. නමුත් එහි අරමුණ එලෙසම පවතී: එනම් ඕනෑම අවස්ථාවක, ඕනෑම අයෙකුට එරෙහිව එල්ල කළ හැකි, අවශ්‍ය ආකාරයකින් නිර්වචනය කර යොදා ගත හැකි නීතිමය ආයුධයක් ධනේශ්වර රාජ්‍යයේ අතට පත් කිරීමයි.

මතකය අපරාධකරණය කිරිම අහම්බයක් නොවේ

කිලිනොච්චියේ වෙසෙන 24 හැවිරිදි රැප් ගායකයෙකු දෙමළ ඊළාම් පිළිබඳව ගීත ගැයීම හේතුවෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටින්නේ මන්දැයි වටහා ගැනීමට නම්, කිලිනොච්චිය යනු කෙබඳු ප්‍රදේශයක්ද යන්න සහ කිසිවිටෙකත් නමකින් හෝ හැඳින්විය නොහැකි බවට රජය බලකර සිටින්නේ කෙබඳු තුවාලයක් පිළිබඳවද යන්න ඔබ තේරුම් ගත යුතුය.

කිලිනොච්චිය යනු LTTE පාලන ප්‍රදේශයේ පරිපාලන අගනුවර විය. එය යුද්ධයේ අවසාන වසරවලදී, වඩාත්ම දරුණු සටන් සහ සිවිල් වැසියන් අවතැන් වීම් සිදු වූ ප්‍රදේශයක් ද විය. එක්සත් ජාතීන්ගේ ඇස්තමේන්තුවලට අනුව, දසදහස් සංඛ්‍යාත දෙමළ සිවිල් වැසියන් පිරිසක් මියගිය එම ගැටුමේ අවසාන අදියරයන් ක්‍රියාත්මක වූයේ ඒ අවට පිහිටි වන්නි කලාපය තුළය. එම මහා විපතින් දිවි ගලවා ගත්, එනම් තම පියවරුන්, මව්වරුන්, ස්වාමිපුරුෂයන් සහ දරුවන් අහිමි වූ, රඳවා තැබීමේ කඳවුරුවල මාස ගණනාවක් ගත කිරීමට සිදු වූ සහ සුන්බුන් අතරින් සිය ජීවිත නැවත ගොඩනඟා ගත් පවුල්, අද ජීවත් වන්නේ එම අත්දැකීම් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම පවා අපරාධමය ක්‍රියාවක් ලෙස සැලකිය හැකි සමාජයකය.

සංගීත්සන් යනු ත්‍රස්තවාදියෙකු නොවේ. ඔහු එම මහා විපතින් පසු බිහි වූ වටපිටාවක හැදී වැඩුණු, කලාකරුවන් (සංගීතඥයන්) සාමාන්‍යයෙන් තමන්ට දැනෙන දේ ප්‍රකාශ කරන එකම ක්‍රමය වන සංගීතය ඔස්සේ එම අත්දැකීම් විග්‍රහ කිරීමට උත්සාහ කළ තරුණයෙකි. දේශපාලනිකව මෙන්ම සදාචාරාත්මකව මෙහි ඇති සැබෑ අවදානම තේරුම් ගැනීමට නම්, ඔහු සැබවින්ම ගායනා කළේ කුමක්දැයි අප කියවා බැලිය යුතුය. ඉන්පසුව අප ඇසිය යුත්තේ අප එහි සෑම වචනයක් සමඟම එකඟ වන්නේද යන්න නොව, ඒවා ගැයීම හේතුවෙන් තරුණයෙකු රිමාන්ඩ් සිරකූඩුවක සිරකර තැබීම කිසියම් හෝ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයකට සාධාරණීකරණය කළ හැකිද යන්නයි.

මෙය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) තර්කනයට අහඹු ලෙස එකතු වූවක් නොවේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ සැබෑ තර්කනය එයම වේ.  LTTE සංවිධානයට නැවත හමුදාමය වශයෙන් හිස එසවීමට ව්‍යුහාත්මකව කිසිසේත්ම හැකියාවක් නොමැති බවත්, එවැනි තර්ජනයක් ප්‍රායෝගිකව නොපවතින බවත් රජය ඉතා හොඳින් දනී. LTTE සංවිධානයට අයත් ශක්තිමත් ආයතනික ව්‍යුහයක්, හමුදාමය අණදෙන මූලස්ථානයක් හෝ ක්‍රියාකාරී සන්නද්ධ බලකායක් පවතින බවට කිසිදු සාක්ෂියක් නොමැත. මෙම තහනම දිගින් දිගටම පවත්වාගෙන යනු ලබන්නේ LTTE සංවිධානයෙන් තර්ජනයක් පවතින නිසා නොවේ; මෙම තහනම පිටුපස ඇති නීතිමය යාන්ත්‍රණය වෙනත් නිශ්චිත අරමුණක් සඳහා අතිශයින්ම ප්‍රයෝජනවත් වන බැවිනි. එනම්: දේශපාලන අතෘප්තිය සාපරාධී ක්‍රියාවක් බවට පත් කිරීමටත්, ස්මරණය කිරීම සාක්ෂි බවට පරිවර්තනය කිරීමටත්, සිරගත කිරීමේ බිය උපදවමින් දෙමළ ජනතාව ස්ථිර දේශපාලන නිහඬතාවයකට ඇද දැමීමටත් ය.

රාජ්‍යතාන්ත්‍රික අරමුණු වෙනුවෙන් දෙමළ ඩයස්පෝරා කණ්ඩායම් කිහිපයක තහනම ඉවත් කිරීමට වික්‍රමසිංහ ආණ්ඩුව කටයුතු කළ අතිවිශේෂ ගැසට් නිවේදනය මගින්ම, මෙම තහනම් රාමුව තවදුරටත් පවත්වාගෙන යාමට පියවර ගත් අවස්ථාවේදී, එනම් 2022 අගෝස්තු මාසයේදී, සමාජවාදී සමානතා පක්ෂය (SEP) මෙසේ නිරීක්ෂණය කළේය: “දෙමළ සහ මුස්ලිම් කණ්ඩායම් දිගින් දිගටම තහනම් කර තැබීම, රටේ පීඩිත සුළුතරයන්ට එරෙහිව සිංහල ස්වෝත්තමවාදය සහ වෙනස්කොට සැලකීම් අවුලුවාලීම සඳහා එකින් එක බලයට පත් වූ රජයන් විසින් ගනු ලබන අඛණ්ඩ උත්සාහයන් හි කොටසකි. කම්කරුවන්ගේ සහ දුප්පත් ජනතාවගේ දැවැන්ත මහජන විරෝධයට මුහුණ දී සිටින, අර්බුදයෙන් පීඩිත වික්‍රමසිංහ පාලන තන්ත්‍රය, වාර්ගික ආතතීන් ජීවමානව තබා ගැනීමටත් මර්දනකාරී පියවරයන් තීව්‍ර කිරීමටත් දැඩි ලෙස අධිෂ්ඨාන කරගෙන සිටී.” [2]

නිදහසින් පසු යුගයේ බලයට පත් වූ සෑම රජයක් තුළම මෙම රටාව එකසේ දක්නට ලැබේ. එජාප (UNP), ශ්‍රීලනිප (SLFP), පොදුජන එක්සත් පෙරමුණ (PA), එජනිස (UPFA), ශ්‍රීලපොපෙ (SLPP), ජවිපෙ/ජාජබ (JVP/NPP) ලෙස නාමයන් වෙනස් වුවද, ප්‍රතිපත්තිය වෙනස් නොවේ. මෙය අහම්බයක් නොවේ. ලංකාව තුළ වාර්ගිකවාදය (communalism) විසින් සැමවිටම ඉටුකර ඇති කාර්යභාරය මෙයයි. නිදහසින් පසු 60 වසරක ඉතිහාසය පිළිබඳ තම විශ්ලේෂණයේදී සමාජවාදී සමානතා පක්ෂය සඳහන් කළ පරිදි, “නිදහසින් පසු ගතවූ දශක හයක කාලය සාමාන්‍ය වැඩකරන ජනතාවට උරුම කර දී ඇත්තේ වාර්ගික ගැටුම්, දිනෙන් දින උග්‍ර වන සමාජ පීඩනය සහ වර්ධනය වන ප්‍රජාතන්ත්‍ර-විරෝධී පාලන ක්‍රමවේදයන් පමණි.” එම ක්‍රියාවලියේ ප්‍රතිලාභීන් කිසිවිටෙකත් සාමාන්‍ය සිංහල වැඩකරන ජනතාව නොවීය. එහි ප්‍රතිලාභ ලැබුවේ බෙදුණු රටක් පාලනය කිරීම සඳහාත්, තමන්ගේ ජනවාර්ගිකත්වය කුමක් වුවත් සමස්ත වැඩකරන ජනතාවම පීඩාවට පත් කරමින් ප්‍රාග්ධනයට (ධනපති පන්තියට) සේවය කරන ආර්ථික ප්‍රතිපත්ති පටවනු ලැබීම සඳහාත් මෙම ජාතික බෙදීම භාවිත කළ පාලක පන්තියයි.[3]

පදවැල කියවන්න — ඉන්පසු නිවැරදි ප්‍රශ්නය විමසන්න

අප ඉහත සඳහන් කළ ගීතයෙන් සංගීත්සන් ගායනා කළ දේ පිළිබඳව අපි අවංක වෙමු. ඔහුගේ පදවැල් අපැහැදිලි සංස්කෘතික නොස්ටැල්ජියාවක් (අතීතකාමයක්) නොවේ. ගීය “අන්නන්” (அண்ணன்), එනම් වැඩිමහල් සහෝදරයා යන වචනය උපයෝගී කරගනියි. ඊළාම් දෙමළ දේශපාලන සංස්කෘතිය තුළ මෙම යෙදුමෙන් සෘජුවම අදහස් කෙරෙන්නේ වේලුපිල්ලේ ප්‍රභාකරන්වය. ජයග්‍රාහී ලෙස පැමිණෙන කොටි ධජයක් ගැන එය කතා කරයි. LTTE සංවිධානයේ මියගිය සාමාජිකයන් වෙනුවෙන් පමණක් වෙන් වූ විශේෂිත ගෞරව නාමය වන “මාවීරන්” (மாவீரன்), එනම් ශ්‍රේෂ්ඨ වීරයා යන යෙදුම එය භාවිතා කරයි. ගීය’කාර්තිකෙයි’ (கார்த்திகை/නොවැම්බර්) මාසය සිහිපත් කරන අතර, එය LTTE සංවිධානයේ මියගිය අය වෙනුවෙන් පවත්වනු ලබන වාර්ෂික සැමරුම වන “මාවීරර් නාල්” (වීරදින සැමරුම) යෙදෙන මාසයයි. එම වීරයන්ට “නැවත පැමිණ” “දේශය ගොඩනඟන ලෙස” ගීයෙන් ඉල්ලා සිටියි. “සල්ෆර් සුවඳැති ශරීර සුළඟ සමඟ මුසු වූ” රණශූරයන් ගැන පද වැල් කතා කරයි. මෙහිදී යුද පිටියේ වෙඩි බෙහෙත් සුවඳ නිරූපණය කර ඇත්තේ පරිත්‍යාගයේ සුවඳ ලෙසය. මෙය පැහැදිලිවම LTTE සංවිධානයේ මියගිය සටන්කාමීන් සහ ඔවුන්ගේ නායකයා වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමක් මෙන්ම ඔවුන්ව ඇගයීමට ලක් කිරීමක් ද වන ගීතයකි. එහි පදවැලෙන් කොටසක් [පරිවර්තනය] මෙසේය:

අපගේ ලොකු අයියාගේ කොටි ධජය පැමිණෙමින් තිබේ, ඉඩ සලසා මාවත හෙළි පෙහෙළි කරන්න!

දෙමළ ඊළාම් දේශය මහත් ජයග්‍රාහී උදම් අනමින් නර්තනයේ යෙදෙයි, ඔහුගේ නාමය සෑම දෙසින්ම දෝංකාර දෙයි!

මව්බිම  සුරැකීම වෙනුවෙන් මියගිය ශ්‍රේෂ්ඨ වීරවරුනි, කාලය කිසිදා ඔබව අමතක නොකරනු ඇත!

ඔබගේ වීරත්වය ප්‍රදර්ශනය කිරීමට සහ දේශය ගොඩනැඟීම සඳහා, කරුණාකර නැවත එන්න, නැවත එන්න, නැවත වරක් පැමිණෙන්න! [වඩාත්ම ආසන්න සිංහල පරිවර්තනය] 

ගීතයෙන් ප්‍රකාශ කර ඇති පරිදි මෙම අදහස්, කිසිදු අත්අඩංගුවට ගැනීමක් සාධාරණීකරණය නොකරයි. ඕනෑම බරපතල දේශපාලන විශ්ලේෂණයක් යථාර්ථයෙන් ආරම්භ විය යුතු බැවින්, අපි මෙහි අන්තර්ගතය වටහා ගනිමු. නමුත් මෙම ගීතය ලිවීම සහ ගායනා කිරීම වෙනුවෙන් කිලිනොච්චියේ පදිංචි 24 හැවිරිදි තරුණයා බන්ධනාගාරගත නොකළ යුතු බව අපි නිසැකවම ප්‍රකාශ කර සිටිමු.

සංගීත්සන්ගේ ගීතය ෆැසිස්ට්වාදී ප්‍රකාශනයක් නොවේ. කම්කරු පන්තිය ෆැසිස්ට්වාදී ප්‍රකාශන වෙනුවෙන් පෙනී නොසිටින අතර, ඔවුන් ඉල්ලා සිටින්නේ ෆැසිස්ට් කණ්ඩායම්වලට සහ ඔවුන්ගේ මූල්‍ය අනුග්‍රාහකයන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි. මෙම වෙනස අත්තනෝමතික එකක් නොවේ. එය ෆැසිස්ට්වාදයේ ස්වභාවය තුළම මුල් බැස ඇත: වෙනත් ඕනෑම දේශපාලන ප්‍රවණතාවක් කෙතරම් වැරදි වුවද, ඒවායින් වෙනස්ව, ෆැසිස්ට්වාදය උත්සාහ කරන්නේ දේශපාලන තර්ක ජය ගැනීමට නොව, දේශපාලන තර්කනයකට පැවතිය හැකි වටපිටාවම සහමුලින්ම විනාශ කිරීමටයි. සංගීත්සන්ගේ ගීතය යනු සංගීතය ඇසුරින් ප්‍රතිනිර්මාණය කරන ලද, දැඩි ශෝකයට හා පීඩාවට පත් ජනතාවකගේ සැබෑ ප්‍රකාශනයයි. නමුත්, ශ්‍රී ලංකාවේ සමස්ත පශ්චාත් නිදහස් ඉතිහාසය තුළ කිසිදු සුවිශේෂී ව්‍යතිරේකයකින් තොරව,  දෙමළ ජනතාවගේ ශෝකය සහ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය නිශ්ශබ්ද කිරීම සඳහා නිර්මාණය කර ඇති මෙම නීතිමය යාන්ත්‍රණය, පාලක පන්තිය විසින් පන්ති අරගලය තීව්‍ර වන අවස්ථාවන්හිදී, හදා වඩා, අරමුදල් සපයා සහ රැකවරණය සපයනු ලබන සිංහල ස්වෝත්තමවාදී සහ වාර්ගිකවාදී කණ්ඩායම්වලට එරෙහිව කිසිවිටෙකත් ක්‍රියාත්මක වූයේ නැත. බොදු බල සේනාවේ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වයන් හෝ සිහල උරුමයේ වාර්ගික උසිගැන්වීම් ආදී මෙයින් කිසිවකට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ (PTA) දරුණු කඩාපැනීම එල්ල වූයේ නැත. රාජ්‍යය සිය ත්‍රස්ත විරෝධී යාන්ත්‍රණය වාර්ගිකවාදී බලවේග දෙසට යොමු කරන්නේ නැත. එය යොමු කරන්නේ පන්ති අරගලයේ බලවේග දෙසටය. එම අසමතුළිතභාවය එම යාන්ත්‍රණයට ආනුශංගික එකක් නොවේ. එහි සම්පූර්ණ අරමුණම එයයි.

දෙමළ තරුණ පරපුරට සිතට එකඟව උදව් වීමට සහ කුමක් සිදුවෙමින් පවතී දැයි වටහාගත යුතු සිංහල කම්කරුවන් සමඟ අවංකවම කතා කිරීමට නම්, රාජ්‍ය මර්දනය මඟින් කිසිවෙකු විසින් ඇසීම වලක්වා ඇති වඩාත් දුෂ්කර ප්‍රශ්නය අප ඇසිය යුතුය: කිලිනොච්චිය, යාපනය සහ මුලතිව් ප්‍රදේශවල දෙමළ තරුණ පරපුර ප්‍රභාකරන්ට අවංකවම ආදරය කරන්නේය සහ LTTE සංවිධානයේ මියගිය අය වෙනුවෙන් අවංකවම ශෝක වන්නේය යන්නෙහි සැබෑ අර්ථය කුමක්ද? 

එයින් අදහස් වන්නේ සැබෑ වූත් වේදනාකාරී වූත් යමක් ය. කලින් සඳහන් කළ පරිදි, මෙම තරුණ තරුණයන් හැදී වැඩුණේ ලේවැකි යුද්ධයක නටබුන් අතර ය. ඔවුන් හැදී වැඩුණේ අඛණ්ඩ හමුදා අත්පත් කරගැනීමකට යටත් වූ ප්‍රදේශයක ය; එහි තවමත් හමුදා භටයන් විසින් දෙමළ ඉඩම් පාලනය කරනු ලබන අතර, නිරන්තර විමර්ශනය සහ නිරීක්ෂණය එදිනෙදා ජීවිතයේ යථාර්ථයක් වී තිබේ. තවද, ඔවුන්ගේ වැඩිහිටියන් අතුරුදහන් කරනු ලැබුණු අතර, සමූහ මිනීවලවල් තවදුරටත් සොයාගනු ලැබෙමින් පවතී. 2022 ආර්ථික කඩාවැටීමට පවා පෙර මූලතිව් දිස්ත්‍රික්කයේ දරිද්‍රතා මට්ටම සියයට 40 දක්වා ළඟා වූ දිස්ත්‍රික්කවල ඔවුහු හැදී වැඩුණහ. මෙම යථාර්ථය හමුවේ, ප්‍රභාකරන් යනු ඔවුන්ට දේශපාලන වැඩපිළිවෙළක් නොවේ. ඔහු ඔවුන්ට යම් දිනෙක යමෙකු කෙළින් නැගී සිට පෙරළා සටන් වැදුනේය යන අදහසේ සංකේතයකි.

එම ශෝකය සැබෑ එකකි. එම කෝපය සාධාරණ ය. අභිමානය (dignity) උදෙසා වන එම අපේක්ෂාව හුදෙක් මානුෂීය ගුණාංගයක් පමණක් නොව, එය දේශපාලනික වශයෙන් ද අත්‍යවශ්‍ය වන්නකි. එමෙන්ම, සංගීත්සන්ගේ ගීතය වැනි නිර්මාණ තුළට දෙමළ තරුණ පරපුර වක්කරන උද්‍රෝගී අපේක්ෂාවේ හැඟීම, තමන්ට විශ්වාසය තැබිය හැකි යමක් සොයා දැඩි ලෙස වෙහෙසෙන පරපුරකට අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය සපයයි.

එබැවින්, අපගේ විප්ලවවාදී ව්‍යාපාරය මතු කරන ප්‍රශ්නය වන්නේ, “අපි මෙම දැඩි උද්‍රෝගය (passion) මර්දනය කරන්නේ කෙසේද?” යන්න නොවේ. අපගේ ප්‍රශ්නය වන්නේ, “මෙම දැඩි උද්‍රෝගය  සමාජවාදී දේශපාලනය දෙසට ගලා එනු වෙනුවට දෙමළ ජාතිකවාදය දෙසට ගලා යන්නේ ඇයි?” යන්නයි. එම ප්‍රශ්නයට ලැබෙන පිළිතුර, අපව සෘජුවම නැවත කොළඹ පාලක පන්තිය වෙත සහ සිංහල කම්කරු පන්තියේ සුවිශේෂී වගකීම මෙන්ම, දෙමළ කම්කරුවන් සහ දුප්පත් ජනතාව සමඟ සැබෑ සහෝදරත්වයකින් කටයුතු කිරීමට ඔවුන් සතුවන විභවය වෙත යොමු කරයි. සංගීත්සන්ගේ ගීතය අපරාධයක් ලෙස සලකන මෙම රාජ්‍යය, හුදෙක් දෙමළ තරුණ පරපුර පීඩාවට පත් කරනවා පමණක් නොවේ. ඔවුන්ගේ එම දැඩි උද්‍රෝගය කිසිවිටෙකත් නිවැරදි දේශපාලන ඉලක්කයක් කරා ළඟා නොවන බව තහවුරු කර ගැනීම සඳහා ද මෙම රාජ්‍යය ක්‍රියාකාරීව කටයුතු කරමින් සිටියි.

රවටනු ලබන්නේ කවුද, සහ ඒ ඇයි ?

මෙතැනදී අප මෙම ලිපියේ සිංහල පාඨකයන්ට — විශේෂයෙන්ම, සමාජ මාධ්‍ය තුළ සංගීත්සන්ගේ අත්අඩංගුවට ගැනීම ගැන සාකච්ඡා වූ විට, ‘ඔහු දෙමළ ඊළාම් ගැන ගීත ගායනා නොකළ යුතුව තිබුණා, ඒක LTTE මතවාදයේ සීමාවන්, LTTE ය නැගිටවීම හැර ඔහු කුමක් බලාපොරොත්තු වුණාද?’ වැනි ස්වාභාවික ප්‍රතිචාරයක් හැඟෙන්නට ඇති තරුණ තරුණයන්ට — සෘජුවම කතා කළ යුතුය.

එම ප්‍රතිචාරය ඔබගේම එකක් නොවේ. එය ඔබ තුළ කාවද්දන ලද එකකි.

දශක ගණනාවක් තිස්සේ, ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සහ ඔවුන්ගේ ආයතනික මාධ්‍ය විසින් සමාජය මිලිටරීකරණය කිරීමේ සහ දේශපාලනිකව හැඩගැස්වීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවා ඇත. සිංහල දරුවන් හැදී වැඩුනේ ජාතික ඉතිහාසය පිළිබඳ එක්තරා කතාන්දරයක් සමඟිනි; එහිදී ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වූ දෙමළ ජනතාවගේ අරගලය, එහි ආරම්භයේ සිටම විදේශීය කුමන්ත්‍රණයක් සහ ත්‍රස්තවාදී ව්‍යාපෘතියක් ලෙස නිරූපණය කර තිබුණි. 1956 ක්‍රමානුකූල භාෂාමය වෙනස්කම් කිරීම් වලට මගපෑදීම, 1958, 1977 සහ 1983 දෙමළ විරෝධී කලබල (pogroms), සහ රාජ්‍ය රැකියා මෙන්ම විශ්වවිද්‍යාල ප්‍රවේශයන්ගෙන් දෙමළ ජනතාව චේතනාන්විතව බැහැර කිරීම ආදී, දෙමළ ජාතික ව්‍යාපාරය බිහිවීමට හේතු වූ සාධාරණ දුක්ගැනවිලි, මහජන මතකයෙන් අතුගා දමන ලදී. ඒ වෙනුවට, භීතිය වැපිරීම මත පදනම් වූ ස්ථිර ආරක්ෂක කතිකාවක් ආදේශ කෙරුණි: “අපි තර්ජනයට ලක්ව සිටිමු, අපි අවධානයෙන් සිටිය යුතුයි, දෙමළ අනන්‍යතාවය කෙරෙහි දක්වන ඕනෑම අනුකම්පාවක් ත්‍රස්තවාදයට දක්වන අනුකම්පාවකි” යන්න එම මතයයි. යුද්ධය අත්‍යවශ්‍ය දෙයක් ලෙස සාධාරණීකරණය කර ඇති අතර, ජාතික බෙදීම් අභිබවා එකමුතු වන කම්කරු පන්තියේ ඕනෑම අරගලයකට එරෙහිව යෙදවීමට සූදානම් කර ඇති හමුදාව, “රණවිරුවන්” ලෙස උත්කර්ෂයට නංවා ඇත.

මෙම වාර්ගිකවාදී ව්‍යාපෘතිය කිසිවිටෙකත් සිංහල සංස්කෘතියේ හෝ බුද්ධාගමේ ස්වාභාවික වර්ධනයක් නොවීය. එය, කොන්සර්වේටිව් (ගතානුගතික) එක්සත් ජාතික පක්ෂය අභිබවා යාම සඳහා වූ මැතිවරණ උපායමාර්ගයක් ලෙස 1956 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් දියත් කරන ලද චේතනාන්විත දේශපාලන නිර්මාණයකි. ඉන්පසුව, පාලක පන්තියේ සෑම කල්ලියක් විසින්ම එය දිගින් දිගටම පවත්වාගෙන යනු ලැබුවේ, එයින් ඔවුන්ගේ වැදගත් පන්තිමය අවශ්‍යතාවයක් ඉටු වූ බැවිනි: එනම්, සිංහල සහ දෙමළ කම්කරු පන්තියට තම පොදු අවශ්‍යතා හඳුනා ගැනීමට සහ තමන් දෙපිරිසම සූරාකෑමට ලක් කරන පද්ධතියට එරෙහිව එක්සත් වීමට තිබූ ඉඩකඩ එමඟින් වළක්වාලීමයි.

එහි ප්‍රතිඵලය අද ටික්ටොක් (TikTok), ෆේස්බුක් (Facebook) සහ එක්ස් (X) සමාජ මාධ්‍ය ඔස්සේ දැකගත හැකිය. දෙමළ කලාකරුවෙකු, මාධ්‍යවේදියෙකු හෝ සාමාන්‍ය පුරවැසියෙකු තම ඉතිහාසයට අදාළ වචන, එනම් “දෙමළ ඊළාම්”, “නිජබිම”, “ජනසංහාරය”, “වගවීම”, “යුද අපරාධ”, “සමරුව” ආදිය භාවිත කරන සෑම අවස්ථාවකදීම, සිංහල සමාජ මාධ්‍ය අවකාශයේ ඇතැම් කොටස්වලින් ඊට එරෙහිව දැඩි විරෝධයක් සහ දෝෂාරෝපණයක් එල්ල වෙයි. මෙම සමාජ මාධ්‍ය හැසිරෙන්නන් තමන් රාජ්‍යයේ මෙවලම් ලෙස සලකන්නේ නැත. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ද උතුරේ සහ නැඟෙනහිර දෙමළ කම්කරුවන් මුහුණ දෙන ආකාරයේම ආර්ථික විනාශයකින්, එනම් රැකියා විරහිතභාවය, උද්ධමනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දැඩි කප්පාදු පියවර සහ කඩාවැටෙන පොදු සේවාවන්ගෙන් බැටකන්නෝ වෙති. එහෙත්, ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට පාලකයින් සමත්ව ඇත. ඔවුන්ට පෙන්වා දී ඇති සතුරා වන්නේ තමන්ව පාලනය කරන පන්තිය නොව, වෙනත් භාෂාවක් කතා කරන සහ වෙනත් වේදනාවක් දරා සිටින තම අසල්වැසියා බවයි. 

පාලක පන්තිය දශක හතක් තිස්සේ පවත්වාගෙන ආ, එමෙන්ම සිංහල කම්කරුවන් සහ තරුණයින් අනිවාර්යයෙන්ම තේරුම් ගත යුතු අපෝහකය මෙයයි : එනම්, සිංහල ස්වෝත්තමවාදය විසින් දෙමළ ජාතිකවාදය බිහි කරන අතර, දෙමළ ජාතිකවාදය විසින් නැවතත් සිංහල ස්වෝත්තමවාදය ශක්තිමත් කරනු ලබයි. මෙම ප්‍රවණතා ද්විත්වයම එකක් අනෙකාගේ කැඩපත් ප්‍රතිබිම්බය මෙන්ම අනෙකා පෝෂණය කරන ඉන්ධනය ද වෙයි. 1956 දී කොළඹ පාලනය විසින් දෙමළ භාෂා අයිතිවාසිකම්වලට එරෙහිව වෙනස්කම් සිදුකළ විට, එය දෙමළ දේශපාලන බලමුලු ගැන්වීමක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කළේය. එම බලමුලු ගැන්වීමට සාධාරණ විසඳුම් වෙනුවට වාර්ගික කලබලවලින් පිළිතුරු ලැබුණු විට, එය දෙමළ සන්නද්ධ බෙදුම්වාදයක් සඳහා මාවත සකස් කළේය. දෙමළ බෙදුම්වාදය විසින් සිංහල සිවිල් වැසියන්ට එරෙහිව ප්‍රහාර දියත් කළ විට, සිංහල පාලක පන්තිය එය භාවිත කළේ දෙමළ ජනතාවට එරෙහිව තවත් රාජ්‍ය භීෂණයක් සාධාරණීකරණය කිරීමට සහ මෙම ප්‍රයෝගය හඳුනාගත හැකිව තිබූ සිංහල කම්කරුවන් බිය ගැන්වීමටය. දැන් රාජ්‍යය විසින් ප්‍රභාකරන් හෝ දෙමළ ඊළාම් ගැන ගායනා කිරීම හේතුවෙන් 24 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගන්නා විට, එමඟින් තවත් දෙමළ තරුණ පරම්පරාවකට – ඔවුන් වැරදි වුවද, අපට ඔවුන්ව තේරුම්ගත හැකි පරිදිම – දෙමළ ජාතිකවාදය හැර වෙනත් ඉදිරි මාවතක් නොමැති බව තීරණය කිරීමට අවශ්‍ය පසුබිම සලසා දෙයි. 

LTTE සංවිධානයේ දේශපාලන වැඩපිළිවෙළ වූයේ තම පාලනයක් පිහිටුවා ගැනීම අපේක්ෂා කළ දෙමළ ධනේශ්වර පන්තියේ වැඩපිළිවෙළක් මිස, දෙමළ කම්කරු පන්තියේ වැඩපිළිවෙළක් නොවේ. LTTEයේ පරාජය පිළිබඳ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) විශ්ලේෂණය පැහැදිලි කරන පරිදි, සිංහල කම්කරුවන් වෙත දේශපාලනික ආමන්ත්‍රණයක් කිරීමට LTTEය සම්පූර්ණයෙන්ම අසමත් විය. ඊට නිශ්චිතම හේතුව වූයේ ඔවුන්ගේ ඉදිරි දර්ශනය පන්ති අරගලයක් මත නොව වාර්ගික අරගලයක් මත පදනම් වීමයි. එමෙන්ම, කොළඹ ආණ්ඩුවේ අපරාධ වෙනුවෙන් සමස්ත සිංහල ජනතාවටම දෝෂාරෝපණය කිරීම මඟින්, සියල්ල වෙනස් කළ හැකිව තිබූ කම්කරු පන්ති එකමුතුව ඇතිවීමේ ඉඩකඩ ඔවුන් විසින් සදහටම අහිමි කරනු ලැබීය. [4] සාමාන්‍ය සිංහල සිවිල් වැසියන්ට එරෙහිව LTTE  සංවිධානය එල්ල කළ ප්‍රචණ්ඩකාරී ප්‍රහාරවලින් ද ඉටු වූයේ ආණ්ඩුවේ සිංහල අධිපතිවාදයෙන් (supremacism) ඉටු වූ එම ප්‍රතිගාමී අරමුණම ය: එනම්, කම්කරු පන්තිය වාර්ගික, ආගමික සහ භාෂාමය පදනමින් බෙදා වෙන් කිරීම සහ එමඟින් කොළඹ සිටින සිංහල ස්වෝත්තමවාදී බලවේගයන්ගේ අත ශක්තිමත් කිරීමයි. 2009 දී LTTEය ලැබූ මිලිටරි පරාජයෙන් කිසිදු ප්‍රශ්නයක් විසඳුණේ නැත. එමඟින් දෙමළ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තවදුරටත් අහිමි කර, ඔවුන්ගේ ඉඩම් තවදුරටත් හමුදා ග්‍රහණයට නතු කර, ඔවුන්ගේ තරුණයින් තවදුරටත් දේශපාලන මඟපෙන්වීමක් සොයන තත්ත්වයකට ඇද දමනු ලැබීය.

සංගීත්සන්ගේ ගීත වැනි නිර්මාණ ආමන්ත්‍රණය කරන්නේ අන්න එම දේශපාලන රික්තකයටයි. ඒවා අපරාධ ලෙස සලකා මර්දනය නොකළ යුතුය. ඒ වෙනුවට ඒවාට පිළිතුරු දිය යුත්තේ, ප්‍රභාකරන්ට කිසිදා ලබා දිය නොහැකි වූ දෙයක් දෙමළ කම්කරුවන්ට ලබා දෙන සමාජවාදී වැඩපිළිවෙළක් මඟිනි: එනම්, තමන් සියලු දෙනාම පීඩාවට පත් කරන ධනේශ්වර රාජ්‍යයට එරෙහි පොදු සටනේදී, සිංහල සහ මුස්ලිම් කම්කරු පන්තිය සමඟ ඇති වන සැබෑ එකමුතුවයි.

සංගීත්සන්ව සිරගත කරන රාජ්‍යය ඊළඟට පැමිණෙන්නේ ඔබ සොයා ය

සංගීත්සන්ගේ අත්අඩංගුවට ගැනීම තමන්ගේ ප්‍රශ්නයක් නොව දෙමළ ජනතාවගේ ප්‍රශ්නයක් ලෙස දැකීමට පෙළඹිය හැකි සිංහල කම්කරුවන් සහ තරුණයින් විසින් වඩාත්ම පැහැදිලිව වටහා ගත යුතු කරුණ වන්නේ මෙයයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත 1979 දී පනවන ලද්දේ දෙමළ සන්නද්ධ සංවිධාන මර්දනය කිරීම සඳහාය. නමුත්, එය කිසිවිටෙකත් දෙමළ ජනතාවට පමණක් සීමා වූවක් නොවීය. 1988-1990 කාලසීමාවේ පැවති ජනතා විමුක්ති පෙරමුණේ නැඟිටීම් ලේවැකි අයුරින් මර්දනය කිරීමට ද එය භාවිත කෙරුණු අතර, එමඟින් පීඩිත සිංහල ග්‍රාමීය තරුණයින් දසදහස් ගණනක් ඝාතනය කෙරුණි. එය සිංහල මාධ්‍යවේදීන්ට, වෘත්තීය සමිති ක්‍රියාකාරීන්ට සහ දේශපාලන ප්‍රතිවාදීන්ට එරෙහිව ද භාවිත කර ඇත. එමෙන්ම, මෙම පනත අහෝසි කරන බවට පොරොන්දු වෙමින් බලයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය (JVP/NPP) රජය යටතේ ද, මුස්ලිම් සහ දෙමළ තරුණයින්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාවට නංවා ඇති අතර, විරෝධතාවල නිරත වූ විදුලිබල මණ්ඩල සේවකයින්ට සහ වර්ජනයේ නිරත වූ තැපැල් සේවකයින්ට එරෙහිව අත්‍යවශ්‍ය මහජන සේවා පනත ද භාවිත කර ඇත.

සෑම අවස්ථාවකදීම මෙහි පවතින තර්කනය එක හා සමානය: දෙමළ සංස්කෘතික ප්‍රකාශනයන් “ත්‍රස්තවාදය” ලෙස අර්ථ දක්වන එම රාජ්‍ය යාන්ත්‍රණයම, එයට අවශ්‍ය සුදුසු ඕනෑම අවස්ථාවක ඔබේ වැඩවර්ජනය, ඔබේ විරෝධතාවය හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විවේචනය කරමින් ඔබ සමාජ මාධ්‍ය වෙත එකතු කරන සටහන ද “ත්‍රස්තවාදය” ලෙස අර්ථ දක්වනු ඇත. නව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PSTA) තුළට ඇතුළත් කරමින් පවතින නම්‍යශීලී අර්ථ දැක්වීම්, එනම් “මහජනතාව බිය ගැන්වීම” හෝ “යම් ක්‍රියාවකින් වැළකී සිටීමට රජයට බල කිරීම” වැනි ක්‍රියාවන්, දැනට නොපවතින LTTE සංවිධානයක් හෝ වෙනත් එවැනි කණ්ඩායමක් ඉලක්ක කරගත් ඒවා නොවේ. ඒවා සමස්ත කම්කරු පන්තියම ඉලක්ක කරගත් ඒවාය. සිංහල, දෙමළ, මුස්ලිම් ඒ සියලු දෙනාම ඊට ඇතුළත්ය.

LTTE සංවිධානයේ නැවත නැඟිටීමක් වැළැක්වීමේ නාමයෙන් 2009 වසරේ සිට උතුරු සහ නැඟෙනහිර පළාත්වල පවත්වාගෙන යනු ලබන ඔත්තු බැලීමේ (surveillance) සහ මිලිටරි වාඩිලෑමේ යටිතල ව්‍යුහය, ඕනෑම අවංක නිරීක්ෂකයෙකුට පැහැදිලිව හඳුනාගත හැකි තවත් දෙවන කාර්යයක් ඉටු කරයි: එනම්, සමාජ සහ ආර්ථික අර්බුදය තීව්‍ර වන විට, පාලක පන්තිය විසින් දිවයිනේ දකුණු ප්‍රදේශයට ද ව්‍යාප්ත කිරීමට අදහස් කරන රාජ්‍ය පාලන ක්‍රමවේදයේ සජීවී ආකෘතියක් සහ අච්චුවක් ලෙස එය ක්‍රියා කිරීමයි. යුද්ධය අවසන් වී වසර දහහතක් ගත වූ පසුවත් සමස්ත ජනගහනයක්ම මිලිටරි නිරීක්ෂණයට ලක් කර තබා ගන්නා වූ ද, තම ගීත පද මාලාව හේතුවෙන් 24 හැවිරිදි සංගීතඥයෙකු සිරගත කරන්නා වූ ද රාජ්‍යය, ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පිළිබඳ ඕනෑම ආකාරයක මවාපෑමක් බොහෝ කලකට පෙරම අත්හැර දමා ඇති රාජ්‍යයකි.

ඉදිරි මාවත: ධනපති රාජ්‍යයට එරෙහිව කම්කරු පන්තියේ එකමුතුව 

සංගීත්සන්ව වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කළ යුතුය. ඔහුට එරෙහිව ඇති චෝදනා ඉල්ලා අස්කර ගත යුතුය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු අතර, නව ලේබලයක් සහිත එම ආයුධයම වන එහි අනුප්‍රාප්තික පනත් කෙටුම්පත වන රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත (PSTA) සම්මත නොකළ යුතුය. උතුරු සහ නැගෙනහිර පළාත්වල පවතින හමුදා වාඩිලෑම අවසන් කළ යුතුය. මෙම නීති යටතේ රඳවාගෙන සිටින සියලුම දේශපාලන සිරකරුවන් නිදහස් කළ යුතුය.

මේවා දමිළ ජනතාවගේ ඉල්ලීම් පමණක් නොවේ. මේවා සමස්ත කම්කරු පන්තියේම ඉල්ලීම් වේ. මන්ද, කම්කරු පන්තියේ ඕනෑම කොටසක ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් යනු සමස්ත කම්කරු පන්තියේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වන බැවිනි.

ශ්‍රී ලංකාවේ හා දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) නමින් සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) විප්ලවවාදී ප්‍රවණතාවක් නියෝජනය කරන අපි, පක්ෂය විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (RCL) ලෙස ආරම්භ කළ දින සිට, වසර 26ක සමස්ත සිවිල් යුද්ධය පුරාම සහ ඉන් පසුවද කිසිදු අපගමනයකින් තොරව මෙම ස්ථාවරය පවත්වාගෙන ගොස් ඇත්තෙමු. ජනතා විමුක්ති පෙරමුණ  වර්ගවාදී යුද්ධයට සහයෝගය දක්වන විට අපි ඊට විරුද්ධ වුණෙමු. වෘත්තීය සමිති නිලධාරිවාදය නිශ්ශබ්දව සිටියදී අපි දමිළ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියෙමු. වෙනත් කිසිදු දේශපාලන පක්ෂයක් ඉදිරිපත් නොවූ මොහොතක, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩු විභාගයකින් තොරව රඳවාගෙන සිටි දමිළ රැඳවියන් නිදහස් කිරීම සඳහා අපි උද්ඝෝෂණය කළෙමු. අප සැමවිටම එසේ කළේ පැහැදිලි පන්ති විශ්ලේෂණයක් පදනම් කරගෙන ය: එසේ කළේ දමිළ කම්කරුවන්ගේ සහ ගොවීන්ගේ නොව, දමිළ ධනේශ්වරයේ එක් කොටසකගේ අවශ්‍යතා නියෝජනය කළ ද්‍රවිඩ ඊළාම් විමුක්ති කොටි (LTTE) සංවිධානයේ බෙදුම්වාදයට අප දේශපාලන සහයෝගය දුන් නිසා නොව [අප ඊට විරුද්ධව සටන් කළෙමු], ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම කම්කරු පන්තියේ එක්සත්කමෙන් වෙන් කළ නොහැකි බැවිනි; එමෙන්ම, දමිළ කම්කරුවන්ට සහ ගොවීන්ට තමන්ගේම අවශ්‍යතා ආරක්ෂා කර ගත හැක්කේ ධනවාදයට එරෙහි පොදු අරගලයකදී සිංහල වැඩකරන ජනතාව සමඟ එක්සත් වීමෙන් පමණක් වන බැවිනි.

මෙම ගීතවලට ඇලුම් කරන, නොවැම්බර් මාසයේදී ඉටිපන්දම් දල්වා මහා වීරවරුන් වෙනුවෙන් ශෝක වන දමිළ තරුණ තරුණියනි: ඔබේ වේදනාව වැරදි තැනක පිහිටුවා නැති අතර ආත්ම අභිමානය උදෙසා ඔබ තුළ ඇති උද්‍යෝගය දේශපාලන සම්පතක් මිස මානසික ව්‍යාධියක් නොවේ. එහෙත් ප්‍රභාකරන්ගේ වැඩපිළිවෙළ අසාර්ථක විය. ඒ ජාත්‍යන්තර ප්‍රජාව ඔහුව පාවා දුන් නිසා හෝ හමුදා තුවක්කුව හමුවේ ඔහු පරාජය වූ නිසා නොව, වෙනම දමිළ ධනපති රාජ්‍යයකට කළ හැක්කේ නව ධජයක වර්ණ යටතේ දමිළ කම්කරුවන් දැනටමත් විඳදරාගන්නා දරිද්‍රතාවය සහ සූරාකෑම නැවත ප්‍රතිනිෂ්පාදනය කිරීම පමණක් වන බැවිනි. වෙනස්කොට සැලකීමට සහ ජාතිවාදී මර්දනයට පිළිතුර සොයාගත හැක්කේ වෙනම රාජ්‍යයකින් නොව, සමාජවාදී විප්ලවය සඳහා වූ පොදු අරගලයක් තුළ පීඩිතයන් ඒකාබද්ධ කිරීමෙනි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් දමිළ ජනතාවගේ අභිලාෂයන් ඝාතනය කරන රාජ්‍යයම යනු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සමාජ කප්පාදු කිරීම් මඟින් සිංහල කම්කරුවන්ගේ ජීවන තත්ත්වයන් විනාශ කරන රාජ්‍යයම වේ. ඔබේ සතුරා කොළඹ කර්මාන්තශාලාවක වැඩ කරන සිංහල කම්කරුවා නොවේ. ඔබේ සතුරා වන්නේ ඒ දෙපාර්ශවයම පාලනය කරන පන්තියයි. ඔබේ අයිතිවාසිකම් වෙනුවෙන් සැබවින්ම සටන් කළ විප්ලවවාදී සම්ප්‍රදාය, එනම් ජනතා විමුක්ති පෙරමුණ (JVP)  යුද්ධයට ප්‍රීති ඝෝෂා කරන විට ඊට විරුද්ධ වූ, වෙනත් කිසිදු පක්ෂයක් ඉදිරිපත් නොවූ මොහොතක දමිළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් උද්ඝෝෂණය කළ, උතුරු සහ නැගෙනහිර පළාත්වලින් හමුදාව ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටි සම්ප්‍රදාය වන්නේ සමාජවාදී සමානතා පක්ෂයේ ට්‍රොට්ස්කිවාදී සම්ප්‍රදායයි. ඔබේ උද්‍යෝගය සහ සටන හිමිවිය යුතු සැබෑ සම්ප්‍රදාය එයයි.

සංගීත්සන්ගේ අත්අඩංගුවට ගැනීම හුදකලා සිදුවීමක් නොවේ. එය නිදහසින් පසු ශ්‍රී ලාංකේය ධනවාදය නිර්වචනය කළ මූලෝපායේ නවතම ප්‍රකාශනයයි: එනම්, පීඩිතයන් වාර්ගික පදනම මත බෙදා වෙන් කිරීම, පීඩිතයන්ගේ මතකයන් සාපරාධීකරණය කිරීම සහ ප්‍රාග්ධනයේ ආධිපත්‍යයට තර්ජනයක් වන ඕනෑම ව්‍යාපාරයක් මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ නීති යාන්ත්‍රණය භාවිතා කිරීමයි. සෑම ආණ්ඩුවක්ම මෙම ක්‍රීඩාව කර ඇත. ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පිළිබඳ පොරොන්දු දෙමින් 2022 අරගලයේ නැගිටීමේ රැල්ල මත බලයට පැමිණි ජනතා JVP/NPP ආණ්ඩුවද දැන් කරමින් සිටින්නේ එයම ය.

මෙම උපායමාර්ගයට පිළිතුර, ලක්ෂ සංඛ්‍යාත ජීවිත ප්‍රමාණයක් අහිමි කළ ආවෘත අන්තයක්  බවට ඔප්පු වී ඇති දමිළ බෙදුම්වාදය නොවේ. එමෙන්ම, රාජ්‍ය භීෂණයේ සෑම ක්‍රියාවකටම මතවාදී ආවරණයක් ලෙස සේවය කර ඇති සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය ද නොවේ.[5] මෙයට පිළිතුර වන්නේ, ධනපති පන්තියේ සියලුම කල්ලීන්ගෙන් සහ එහි සියලුම පක්ෂවලින් ස්වාධීනව සංවිධානය වූ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදුවලට එරෙහිව, මිලිටරිවාදයට එරෙහිව සහ සමස්ත වාර්ගිකවාදී රාජ්‍ය මර්දන යාන්ත්‍රණයට එරෙහිව, සියලු කම්කරු ජනතාවගේ අවශ්‍යතා සපුරාලන සමාජවාදී ජාත්‍යන්තරවාදයේ පොදු වැඩපිළිවෙළක් වෙනුවෙන් සටන් වදින සිංහල, දමිළ සහ මුස්ලිම් කම්කරුවන්ගේ දේශපාලන එක්සත්කමයි. මෙම එක්සත්කම සඳහා, පාලක පන්තිය අප සැම මත පටවා ඇති වාර්ගික බෙදීම්වලට කොටු වීම කොන්දේසි විරහිතව සහ සෘජුවම ප්‍රතික්ෂේප කිරීම අවශ්‍ය වේ.

සංගීත්සන්ව වහාම නිදහස් කරනු! ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරනු—ඊට ආදේශක පනත් එපා! කම්කරු පන්තියේ එක්සත් සමාජවාදී ව්‍යාපාරය ගොඩනගනු!

[1] SEP opposes Sri Lankan government’s ban on LTTE, The Socialist Equality Party (Sri Lanka), 24 January 2009 <https://www.wsws.org/en/articles/2009/01/sril-j24.html

[2] Sri Lankan government continues proscription of Tamil and Muslim groups and individuals, Saman Gunadasa 17 August 2022 <https://www.wsws.org/en/articles/2022/08/17/wfcd-a17.html

[3] Sri Lankan independence: 60 years of communalism, social decay and war, The Socialist Equality Party (Sri Lanka) 4 February 2008 <https://www.wsws.org/en/articles/2008/02/sril-f04.html>  

[4] Sri Lanka: the defeat of the LTTE and the dead-end of nationalism, Bill Van Auken, 21 May 2009 <https://www.wsws.org/en/articles/2009/05/pers-m21.html

[5] දමිළ බෙදුම්වාදය, එහි වැඩපිළිවෙළ කෙතරම් වැරදි සහගත වුවද, මතු වූයේ ක්‍රමානුකූල ජාතික මර්දනයට ප්‍රතිචාරයක් වශයෙනි. සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය (chauvinism) යනු පීඩක ජාතියේ පාලක පන්තියේ මතවාදයයි—එය තම මූලික පදනමෙන්ම ආධිපත්‍යවාදී (supremacist) වන අතර, රාජ්‍ය විසින් වෙනස්කොට සැලකීම්, වාර්ගික සංහාර (pogroms) සහ මිලිටරිමය භීෂණය සාධාරණීකරණය කිරීමක් ලෙස අනෙකුත් සියලුම ප්‍රජාවන්ට වඩා සිංහල බෞද්ධ අනන්‍යතාවයේ ප්‍රමුඛතාවය තහවුරු කරයි. ‘Chauvinism’ (ස්වෝත්තමවාදය) යනු පාලක පන්තියේ සේවය සඳහා යොදවනු ලබන ආක්‍රමණශීලී, ආධිපත්‍යවාදී ජාතිකවාදය හැඳින්වීම පිණිස මාක්ස්වාදී වාග් මාලාවේ භාවිත වන පාරිභාෂික වචනයකි; එය නම් කර ඇත්තේ අන්ධ, ආක්‍රමණශීලී ජාතික ශ්‍රේෂ්ඨත්වය පිළිබඳ සංකේතය වූ නිකොලස් ශෝවින් (Nicolas Chauvin) ඇසුරෙනි. සිංහල බෞද්ධ පන්ති ආධිපත්‍යයට (Sinhala Buddhist class hegemony) අදාලව, “ජාතිකවාදය” (nationalism) යන වචනයෙන් ප්‍රකාශ නොවන නිවැරදි දේශපාලන බර මෙම වචනය තුළ ගැබ් කර ගනී.


Sunday, July 26, 2026

දෙමළ විරෝධී සිංහල ස්වෝත්තමවාදී යුද්ධයේ දී දෙමළ පීඩිත ජනතාවට කළ හානිය LTTE අපරාධ වලට සම කළ නොහැක

යුද්ධයෙන් දෙමළ පීඩිත මහජනතාවට සිදු වූ මහා විනාශය, එල්ටීටීඊ (LTTE) සංවිධානය විසින් මායිම් ගම්මානවල හෝ දකුණේ සිදු කළ ඒ හෝ මේ බෝම්බ ප්‍රහාර සමග සැසඳිය නොහැකිය. නිසැකවම එල්ටීටීඊයේ එම ප්‍රහාර යුද අපරාධ වන අතර, ඒවාට එහි නායකත්වයේ සියලු දෙනා—ඔවුන් ජීවතුන් අතර සිටී නම්—වගවීමට ලක් කළ යුතුය. එහෙත් ඒ කිසිවක්, සමස්ත ජනතාවක් ලෙස දෙමළ කම්කරු, ගොවි පීඩිත ජනතාවට ලංකාවේ දකුණේ සිංහල ස්වෝත්තමවාදී ආණ්ඩුව විසින් ක්‍රමානුකූලව සහ සංවිධානාත්මකව සිදු කළ දශක ගණනාවක මහා විනාශයට අසලකින්වත් තැබිය නොහැකිය.

සිංහල පීඩිත ජනතාවට යුද්ධයෙන් සිදු වූ හානිය පරයා, යුද්ධයේ භයානක ප්‍රතිඵල ප්‍රමාණාත්මකව මෙන්ම ගුණාත්මකව ද කිහිප ගුණයකින් ඉහළ අගයකින් දෙමළ ජනතාව අත්විඳින ලද බව දකුණේ සිංහල කම්කරු පීඩිත මහජනතාව අවංකවම ගණනයට ගත යුතුය. මේ සත්‍යය වළලා, සිංහල ජනතාවට උතුරේ සිදු වනවා යැයි කියන අකටයුතුකම් ගැන මැසිවිලි දොඩමින් නැවත ජාතිවාදී ව්‍යාපාර ඉස්මත්තට ගෙන ඒමට තැත් කරන ලේ පිපාසිත නඩ ඔබ ප්‍රතික්ෂේප කළ යුතුය.

බෙදුම්වාදය මෙන්ම දෙමළ හෝ මුස්ලිම් ජාතිකවාදය ද පරාජය කළ හැක්කේ, පළමුවෙන්ම සහ අනිවාර්යයෙන්ම සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී ධනපති දේශපාලනය පරාජය කිරීමෙනි.

සංජය ජයසේකර 

26/072026


The immense devastation inflicted upon the oppressed Tamil masses by the war cannot be equated with this or that bomb attack carried out by the LTTE in border villages or in the South. Those attacks were war crimes, and all members of the LTTE leadership — were they alive today — must be held accountable for them. But none of those acts can be placed anywhere near the decades of systematic, organised and massive devastation unleashed upon the Tamil working class, peasantry and oppressed masses as an entire people by the Sinhala-supremacist state in the South.


The Sinhala working class and oppressed masses in the South must honestly reckon with the fact that the gruesome consequences of the war endured by the Tamil people were, both quantitatively and qualitatively, several times greater than the damage suffered by the Sinhala oppressed. You must reject those bloodthirsty elements who seek to bury this truth, whining about alleged injustices against Sinhalese in the North in order to drag chauvinist movements back to the fore.


Separatism, as well as Tamil or Muslim nationalism, can only be defeated — primarily and indispensably — by defeating Sinhala-Buddhist supremacist capitalist politics.


Sanjaya Jayasekera

26/07/2026




Monday, July 20, 2026

මීගමුව බන්ධනාගාර සමූලඝාතනය: පන්ති ප්‍රචණ්ඩත්වය සහ ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය

මීගමුව බන්ධනාගාර සමූලඝාතනය: පන්ති ප්‍රචණ්ඩත්වය සහ ශ්‍රී ලංකා ධනේශ්වර රාජ්‍යය

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසිනි. 

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් ‘The Negombo Prison Massacre: Class Violence and the Capitalist State in Sri Lanka’ යන සිරසින් 2026 ජුලි 11 දින theSocialist.lk වෙබ් අඩවියේ පළ කෙරිණි. 

 අවම වශයෙන් 28 දෙනෙකුට ජීවිත අහිමි කරමින් සහ 100කට ආසන්න පිරිසකට තුවාල සිදු කරමින් ජූලි 5-6 දිනවල මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ සිදු වූ සංහාරය අසාමාන්‍යයක් නොවේ. එය ශ්‍රී ලාංකීය සමාජයේ වඩාත්ම පීඩිත සහ කොන් කරනු ලැබූ ස්ථරයන්ට එරෙහිව පන්ති යුද්ධයේ මෙවලමක් ලෙස එහි ආකෘතියෙන්ම ක්‍රියාත්මක වන දණ්ඩන (penal) පද්ධතියක නවතම සහ මාරාන්තික ප්‍රකාශනයයි. මෙම සංහාරය මගින්, හුදෙක් රුධිරයෙන් පමණක් දැකගත හැකි පැහැදිලි බවකින් යුතුව, ධනපති රාජ්‍යයේ සැබෑ ස්වරූපය නිරාවරණය කරයි. එනම්, දිළිඳුකම සාමාන්‍ය තත්ත්වයක් ලෙස නිපදවන දේපළ සබඳතා ආරක්ෂා කර ගැනීම සඳහා දිළිඳු ජනතාවට එරෙහිව යොදවා ඇති සන්නද්ධ මිනිසුන්ගෙන් සමන්විත ආයතනයක් ලෙස එය ක්‍රියාත්මක වීමයි.

2026 ජූලි 7 වැනිදා සිදු වූ මීගමුව බන්ධනාගාර කැරැල්ල අතරතුර ගේට්ටුවේ ඇති සිදුරක් තුළින් රැඳවියන්ට වගවිභාගයකින් තොරව වෙඩි තබන බන්ධනාගාර ආරක්ෂකයෙක්. ඡායාරූපය සමාජ මාධ්‍යවලින්.


මීගමුව මහා රෝහලෙන් සහ මූලික අධිකරණ පරීක්ෂණවලින් දැනට මතුවෙමින් පවතින පශ්චාත් මරණ පරීක්ෂණ සාක්ෂි මඟින් පැහැදිලි වන්නේ, “පාතාල මත්ද්‍රව්‍ය කල්ලි අතර ගැටුමක්” යැයි රජය විසින් කලබලයෙන් ගොතා ඉදිරිපත් කළ ප්‍රකාශය මඟින් වසාගැනීමට උත්සාහ කළේ කුමක්ද යන්නයි. මියගිය රැඳවියන් 20 දෙනාගෙන් අතිබහුතරයක් (රැඳවියන් 14 දෙනෙකු) මියගොස් ඇත්තේ හිස, පපුව සහ උඩුකය ප්‍රදේශවලට අධිවේගී ගිනිඅවිවලින් එල්ල වූ වෙඩි වැදීම් හේතුවෙනි. මියගිය බන්ධනාගාර ආරක්ෂකයින් සහ නිලධාරීන් හත්දෙනා (ජූලි 8 වනදා සැරයන්වරයෙකු තුවාල ලබා මියයෑමත් සමඟ මෙම සංඛ්‍යාව අට දක්වා ඉහළ ගියේය) ඝාතනයට ලක්ව ඇත්තේ මොට ආයුධ, කැඩීගිය ගඩොල් කැබලි සහ යකඩ පොලු වලිනි. ඒවා, සියල්ල අහිමි වූවන් විසින් සිය උග්‍ර ක්‍රෝධය පුපුරා යාම තුළ භාවිත කළ ආයුධයි. මෙය එකම පන්ති පද්ධතියක් (class system) විසින් නිර්මාණය කරන ලද, එකිනෙකට වෙනස් වූ මරණයේ ස්වරූප දෙකකි.

තත්ත්වය සමනය කිරීම රජයේ අරමුණ නොවූ බව ඔවුන්ගේ උපායමාර්ගික තේරීම් මඟින් තහවුරු වේ. ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් කිසිදු අනතුරු ඇඟවීමක් සිදු නොකෙරුනි.  කඳුළු ගෑස්, ජල ප්‍රහාර හෝ රබර් උණ්ඩ කිසිවක් භාවිත නොකළේය. සාකච්ඡා මාර්ගයෙන් හෝ එකඟතාවයකින් ගැටලුව විසඳීමට ද කිසිදු උත්සාහයක් නොගැනිණි. ඒ වෙනුවට, පොලිසිය, යුද හමුදාව සහ 2012 වැලිකඩ බන්ධනාගාර සමූලඝාතනයට වගකිවයුතු, අපකීර්තියට පත්  පැරමිලිටරිය වන විශේෂ කාර්ය බලකාය (STF), තාප්ප වලින් වට වූ පරිශ්‍රයක් තුළ සිරවී සිටි සිරකරුවන් දෙසට ඉලක්කයකින් තොරව වෙඩි තැබූහ. බන්ධනාගාරය අවට ප්‍රදේශය යුද කලාපයක් බඳු ස්වරූපයක් ගත් අතර, වෙඩි තැබීම් හඬ පරිශ්‍රය පුරා පැතිර යද්දී, පිටතට රැස්ව හඬා වැලපෙමින් තොරතුරු ඉල්ලා කෑගැසූ සිරකරුවන්ගේ ඥාතීන් වන බහුතරයක් දුප්පත් ගම්වැසියන් වූ මව්වරුන්, බිරින්දෑවරුන් සහ දරුවන් ආදී සිය ගණනක් බියවැද්දීම සඳහා සන්නද්ධ ආරක්ෂක අංශ, සන්නද්ධ රථ, මිලිටරි ජීප් රථ සහ ඩ්‍රෝන යානා යොදවා තිබුණි.

මිනී මැරීම් ජූලි 6 වනදායින් අවසන් වූයේ නැත. මීගමුව බන්ධනාගාරයේ සිට වෙනත් බන්ධනාගාර වෙත මාරු කර යැවීමෙන් පසු, රැඳවියන් අවම වශයෙන් දෙදෙනෙකුවත් මියගොස් ඇති බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් (Amnesty International) සංවිධානය ජූලි 9 වනදා තහවුරු කළේය. එය සිදුවූයේ , ආරක්ෂකයින් විසින් පළිගැනීමේ චේතනාවෙන් සිදු කරන ලද වධහිංසා පැමිණවීම් සහ පහරදීම් පිළිබඳ බරපතල චෝදනා මධ්‍යයේය. නොසන්සුන්තාවයට නායකත්වය දුන් බවට චෝදනා එල්ල වූ රැඳවියන් පස්දෙනෙකු රහසිගතව හුදෙකලා කර රඳවා තබා ඇති අතර, එමඟින් “ඔවුන්ගේ ජීවිතවලට බරපතල තර්ජනයක්” මතුව ඇති බව සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අනතුරු ඇඟවීය. මෙම සමූලඝාතනය, සංවිධානාත්මක පළිගැනීම්වල ස්වරූපයෙන් තවදුරටත් ඉදිරියට ඇදෙමින් පවතී.

අසත්‍ය ප්‍රචාරක යන්ත්‍රණය

මෙම ලේ වැගිරීම සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන පැහැදිලි කිරීම මුල සිට අග දක්වාම අසත්‍යයක් වන අතර, එයට මැනවින් ලේඛනගත වූ  ඓතිහාසික වාර්තාවක් ඇත. බන්ධනාගාර තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් ජාලයක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් මෙම ප්‍රචණ්ඩත්වය හටගත් බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර කියා සිටියේය. මෙම විග්‍රහයට අනුව, සිරකරුවන් යනු “පාතාල අපරාධකරුවන්” සහ “කුඩුකාරයින්” වේ. මෙය රාජ්‍ය ඝාතන පිළිගැනීමට මහජන මතය සූදානම් කිරීම සඳහා භාවිත කරන, මනුෂ්‍යත්වය හෑල්ලුවට ලක් කරන  වාග් මාලාවකි. ප්‍රධාන දොරටුවේ පටු සිදුරකින් වෙඩි තබන අයුරු වීඩියෝ ගත වී තිබූ බන්ධනාගාර නිලධාරියෙකුගේ ක්‍රියාව සාධාරණීකරණය කළ වැඩබලන බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ප්‍රසාද් හේමන්ත කුමාර, එම වෙඩි තැබීම් “විශාල බන්ධනාගාර බිඳීමක් වැළැක්වීම සඳහා අත්‍යවශ්‍ය වූවක්” බව කියා සිටියේය.

මෙම විග්‍රහය, ජේවීපී/ජාජබ (JVP/NPP) රජයේ උත්සන්න වෙමින් පවතින “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” සමඟ මනාව බද්ධ වන ඝාතන සඳහා වූ දේශපාලන ආවරණයකි. එම යුද්ධය වනාහි, දිළිඳුකම අපරාධයක් බවට පත් කිරීම සහ පොලිස් රාජ්‍ය බලතල ව්‍යාප්ත කිරීම සාධාරණීකරණය කිරීම සඳහා කලක් තිස්සේ භාවිත වන යාන්ත්‍රණයකි.

නිල අසත්‍ය ප්‍රකාශයන්හි ඓතිහාසික වාර්තාව විමසා බැලීමෙන් වැදගත් පාඩමක් උගත හැකිය. 2020 වසරේදී මහර බන්ධනාගාරයේදී රැඳවියන් 11 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමෙන් පසු, රාජපක්ෂ රජය එම සිදුවීමට හේතුව ලෙස මානසික රෝග සඳහා භාවිත කරන ඖෂධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ කුමන්ත්‍රණ ඉදිරිපත් කළේය. කෙසේ වුවද, එම ප්‍රකාශ පදනම් විරහිත බව මනෝ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය විසින් ප්‍රතික්ෂේප කරන ලද අතර, වින්දිතයන් සියලු දෙනාම මියගොස් ඇත්තේ වෙඩි වැදීමෙන් බව පශ්චාත් මරණ පරීක්ෂණ මගින් තහවුරු විය. 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරයේදී රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිදුවීම ද අනුගමනය කළේ එම පිටපතමය. එහිදී රජය එය “දරුණු ගණයේ අපරාධකරුවන්ගේ” කැරැල්ලක් ලෙස හඳුන්වමින් ඊට දෝෂාරෝපණය කළ ද, බීබීසී සිංහල සේවය වෙත සිරකරුවෙකු ලබා දුන් සැලකිරීමකින් හෙළි වූයේ මෙම සමූල ඝාතනය සිදු කිරීමට පෙර විශේෂ කාර්ය බලකා (STF) කොමාන්ඩෝ භටයන් විසින්ම රැඳවියන්ට මාංචු දැමීම, පහර දීම සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම මගින් එම ගැටුම ඇවිස්සූ බවයි.

මීගමුව බන්ධනාගාර කැරැල්ල සහ වෙඩි තැබීම අතරතුර තුවාල ලබා මියගිය වින්දිතයන් කිහිපදෙනෙක්. ඡායාරූපය සමාජ මාධ්‍යවලින් ලබාගන්නා ලද්දකි.


දශක ගණනාවක් පුරා සහ විවිධ පාලන තන්ත්‍රයන් යටතේ මෙම රටාව නොවෙනස්ව පවතී: එනම් කුපිත කිරීම, ඝාතනය කිරීම, බොරු කීම සහ පරීක්ෂණ පැවැත්වීමයි. මෙහිදී “පරීක්ෂණ පැවැත්වීම” යන්නෙන් අදහස් කරන්නේ සත්‍යය යටපත් කරන සහ ඝාතකයන් වරදින් නිදහස් කරන වාර්තාවක් සැකසීම සඳහා විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමයි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කිරීම පිළිබඳ නානායක්කාරගේ  නිවේදනය, දේශපාලන තීන්ඩුවක් ලෙස හැඳින්වීම පවා තරම් නොවන කලින්ම පුරෝකථනය කළ හැකි වූ, මෙම චාරිත්‍රයේ නවතම පියවරයි.

මේ බන්ධනාගාර පුරවන්නේ කවුරුන්ද?

මීගමුව බන්ධනාගාරයේදී මියගිය පිරිස “පාතාල අපරාධකරුවෝ” නොවෙති. ඔවුන්ගෙන් අතිබහුතරයක් වරදකරුවන් ලෙස තවමත් තීරණය කර නොමැති, රිමාන්ඩ් භාරයේ පසු වූ රැඳවියන් ය. මොවුන් ලංකාවේ සමස්ත බන්ධනාගාර ජනගහනයෙන් සියයට 75 ක් පමණ වන සමාජ පන්තියකට අයත් පිරිසකි. ඔවුන්ව රඳවා තබා තිබුණේ පුද්ගලයන් 900 දෙනෙකු සඳහා ඉදිකරන ලද, නමුත් දැනට මනුෂ්‍යයන් 2,400 කට ආසන්න පිරිසක් ගාල් කර ඇති බන්ධනාගාරයක ය. ජාතික මට්ටමෙන් ගත් කල, රැඳවියන් 11,762 දෙනෙකුට ඉඩකඩ ඇති ලංකාවේ බන්ධනාගාරවල, මේ වන විට 42,000 කට අධික පිරිසක් රඳවා තබා ඇත. එය බන්ධනාගාර සඳහා නියමිත ධාරිතාව මෙන් හතර ගුණයකට ආසන්න ප්‍රමාණයකි.

මීගමුව බන්ධනාගාර කැරැල්ල සහ වෙඩි තැබීම අතරතුර තුවාල ලබා මියගිය වින්දිතයන් කිහිපදෙනෙක්. ඡායාරූපය සමාජ මාධ්‍යවලින් ලබාගන්නා ලද්දකි.

මොවුන් ඔප්පු වූ අපරාධ සඳහා දඬුවම් විඳින පුද්ගලයන් නොවේ. මොවුන් ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ආශ්‍රිත චෝදනා මත අත්අඩංගුවට ගෙන, ඉන්පසු ඇප ලබා ගැනීමට හෝ නීතිමය සහාය ලබා ගැනීමට මූල්‍යමය හැකියාවක් නොමැතිකම හේතුවෙන් බොහෝ විට වසර ගණනාවක් තිස්සේ අවිනිශ්චිත අධිකරණමය සිරවීමක රඳවා තබා සිටින පිරිසකි. ඔවුන් දඬුවම් ලබන්නේ ඔවුන් විසින් කරන ලදැයි ඔප්පු වූ වරදකට නොව, ඔවුන්ගේ සමාජ තත්ත්වය හේතුවෙනි. එනම්, ඔවුන් දුප්පත්, සමාජයෙන් කොන් වූ සහ ධනවාදී අවශ්‍යතාවලට අතිරික්ත වූ පිරිසක් වීම නිසාය. මෙම රිමාන්ඩ් රැඳවියා යනු ධනේශ්වර “යුක්තියේ” පන්තිමය තර්කනය වඩාත්ම පිරිසිදුව ප්‍රකාශ වන සංකේතයයි.

ඔවුන්ව රඳවා තබා ඇති තත්ත්වයන් ක්‍රමානුකූල වධහිංසාවකට සමාන වේ. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ 2021 වාර්තාව මඟින් සනාථ කර ඇති පරිදි, රැඳවියන්ට සිටගෙන නිදා ගැනීමටත්, මළපහ කිරීම සඳහා ෂොපින් බෑග් භාවිතා කිරීමටත් සිදු වී ඇත. එමෙන්ම එක් රැඳවියෙකු ප්‍රකාශ කළ පරිදි “බල්ලන් සහ බළලුන් පවා” ප්‍රතික්ෂේප කරන මට්ටමේ ආහාරවලින් යැපීමට ඔවුන්ට සිදුව තිබේ. මීගමුව බන්ධනාගාරය යනු පද්ධතිමය අසාධාරණත්වයේ ප්‍රකාශනයක් බඳු වූ, ඕනෑම මොහොතක පුපුරා යාමට ආසන්නව තිබූ එකකි. දැඩි අධික තදබදය, සාගත මට්ටමේ ආහාර, කිසිසේත්ම  නොපවතින සනීපාරක්ෂක පහසුකම් සහ ආරක්ෂකයන්ගෙන් එල්ල වන දෛනික ප්‍රචණ්ඩත්වය එහි අනිවාර්‍ය අංග වේ. අවසානයේ එය පුපුරා ගිය විට, රාජ්‍යය ඊට ප්‍රතිචාර දැක්වූයේ ප්‍රතිසංස්කරණවලින් නොව, වෙඩි උණ්ඩවලිනි.

මෙය පද්ධතියේ කිසියම් බිඳවැටීමක් හෝ දෝෂයක් නොවේ. එය පද්ධතිය සැලසුම් කර ඇති පරිදිම ක්‍රියාත්මක වීමකි. රාජ්‍යය විසින් මෙවැනි සිතාමතා සැලසුම් කරන ලද කුරිරු තත්ත්වයන් පවත්වාගෙන යනු ලබන්නේ, වැළැක්විය නොහැකි පිපිරීමක් සිදු වූ විට, ඊට එරෙහිව අතිමහත් මාරාන්තික බලයක් මුදා හැරීම සඳහා ය. මෙම පිපිරීම සමූලඝාතනයක් සඳහා අවශ්‍ය නිදහසට කරුණ සපයන අතර, එම සමූලඝාතනය බන්ධනාගාර පවුරෙන් පිටත සිටින වැඩකරන පන්තිය බිය ගැන්වීම සඳහා වන ආදර්ශයක් ලෙස ක්‍රියා කරයි.

ආරක්ෂකයින්: නිල ඇඳුම් ඇඳි කම්කරුවෝ

මීගමුවේදී ගඩොල් සහ යකඩ පොලුවලින් පහර දී මරා දමන ලද බන්ධනාගාර නියාමකයින් සහ නිලධාරීන් සත්දෙනා ද දිළිඳු ග්‍රාමීය පවුල්වලින් සහ පහළ මධ්‍යම පාන්තික පසුබිමකින් පැමිණි අය වෙති. ඔවුන් මෙවැනි අනතුරුදායක සහ අවමන් සහගත රැකියාවන් තෝරාගත්තේ වෙනත් විකල්පයක් නොතිබූ බැවිනි. එහෙත්, ඔවුන් හුදෙක් තමන් විසින් නිර්මාණය නොකරන ලද පිපිරීමක දෙපාර්ශවයේ ගැටුමට මැදි වූ නිෂ්ක්‍රීය වින්දිතයන් නොවූහ. ඔවුහු එම පීඩනකාරී පරිසරය දිනපතා සෘජුවම නිර්මාණය කිරීමට දායක වූ මෙවලම් බවට පත්ව සිටියහ.

රැඳවියන්ට එල්ල වූ අතිශය කෲර වධහිංසා, අවමන් සහගත සහ අමානුෂික සැලකීම් මෙන්ම ක්‍රමානුකූල අවසංග්‍රහය (mistreatment) ක්‍රියාත්මක කරන ලද්දේ මෙම ආරක්ෂකයින් හරහා ය. පහරදීම් සිදු කළේ ඔවුන්ගේ දෑතින් ය. අපහාසාත්මක වදන් පිටවූයේ ඔවුන්ගේ මුවින් ය. කුසගින්නේ තැබීම, හුස්ම හිරවන සුලු දැඩි තදබදය සහ වෛද්‍ය ප්‍රතිකාර අහිමි කිරීම වැනි තත්ත්වයන් බලහත්කාරයෙන් පවත්වාගෙන ගියේ ඔවුන්ගේ මැදිහත්වීමෙනි. ශරීරයට ගඩොල් කැබලි සහ යකඩ මුගුරු වලින් ඇන ඔවුන්ව ඝාතනය කිරීමට හේතු වූ, එම දැඩි සහ පාලනය කරගත නොහැකි කෝපය, අරමුණක් නොමැතිව හෝ වැරදි දිශාවකට එල්ල වූවක් නොවේ. එය දිනෙන් දින, සතියෙන් සතිය සහ මාසෙන් මාසය රැඳවියන්ගේ ජීවිතය ජීවමාන අපායක් බවට පත් කළ සෘජු වගකිවයුත්තන් ඉලක්ක කර ගනිමින් පුපුරා ගිය කෝපයකි.

ධනේශ්වර දණ්ඩනීය යාන්ත්‍රණයේ ඇති ගැඹුරුම ඛේදවාචකය මෙයයි: එය හුදෙක් ශ්‍රමිකයන්ව අනතුරට මුහුණ දෙන පෙරමුණට ඇද දැමීම පමණක් සිදු නොකරයි. එය ක්‍රමානුකූලව ඔවුන්ගේ මිනිස්කම අහිමි කරමින් (dehumanize) ඔවුන්ව මිලිටරිකරණයට ලක් කරයි; ප්‍රචණ්ඩත්වය සඳහා ඔවුන්ව මානසිකව සූදානම් කරමින්, වධහිංසා පැමිණවීමට හුරු කරමින් සහ තමන්ගේම පන්ති සහෝදරයන් කෙරෙහි වෛර කිරීම සඳහා ඔවුන්ගේ මොළය සෝදා හරියි. කුසගින්නේ පසුවන රක්ෂිත බන්ධනාගාර රැඳවියෙකුට පහර දෙන බන්ධනාගාර නියාමකයා ද, සිරකුටි පුරවන එම ග්‍රාමීය අන්ත දිළිඳුකමේම තවත් එක් ප්‍රතිඵලයකි. නමුත්‍, රාජ්‍යය ඔහුගේ ආත්මය බිඳ දමා, ඔහුගේ සහෝදරත්වයේ හැඟීම උදුරාගෙන ඇත. වැලිකඩ බන්ධනාගාරයේ පිටත තාප්පයේ ලියා ඇති “සිරකරුවෝ ද මනුෂ්‍යයෝ ය” යන ව්‍යාජ සටන් පාඨයට පටහැනිව, සිරකරුවා යනු තමන් හා සමානවම එකම ක්‍රමවේදයක තවත් එක් ගොදුරක් ලෙස නොව, “කුඩුකාරයින් ”, “පාතාල නීචයන්” හෝ “මනුෂ්‍යයෙකු නොවන” අපරාධකරුවෙකු වැනි සතුරෙකු ලෙස දැකීමටත්, ඔහුට එල්ල කරනු ලබන ඕනෑම ප්‍රචණ්ඩත්වයකට ඔහු සුදුසු අයෙකු බව සිතීමටත් රාජ්‍යය එම නියාමකයාව පුහුණු කර ඇත. නිල ඇඳුම දරා සිටින තෙක්, මෙම නියාමකයා සවිඥානිකව මෙන්ම පූර්ණ වශයෙන්ම සේවය කරන්නේ ධනේශ්වර පාලක පන්තියට සහ එහි මර්දනකාරී යාන්ත්‍රණයටයි. බන්ධනාගාරයක් තුළට කිසි දිනෙක පය නොතබන පාලක පන්තිය, දුප්පතුන්ගේ එක් කොටසක් ලවා තවත් කොටසකට කෲර ලෙස වධහිංසා පැමිණවීම සඳහා යොදවන යාන්ත්‍රණයක් සාර්ථකව නිර්මාණය කර ඇත. අවසානයේදී මෙම ක්‍රියාවලිය තුළ ඒ දෙපාර්ශවයම විනාශ වී යයි.

සිරකරුවන්ගේ ක්‍රෝධය වැරදි ඉලක්ක කරා යොමු වූවක් නොවේ. එය එල්ල වූයේ පවත්නා ක්‍රමයේ කෲරත්වයේ සෘජු පාර්ශවකරුවන් බවට තමන්වම පත් කරගෙන සිටි පුද්ගලයන් වෙතය. මෙහි ඇති ඛේදවාචකය නම්, ධනවාදය පෙරලා දැමීමේ විප්ලවවාදී අරගලයේදී මේ දෙපාර්ශවයම දිළිඳුභාවයට ඇද දමන ධනේශ්වර පන්තියට එරෙහිව තම සගයන් විය හැකි සහ කම්කරු රාජ්‍යයක් යටතේ කිසිසේත්ම තමන්ගේ සතුරන් ලෙස ප්‍රතිපක්ෂ නොවන කම්කරුවන්ම, සිරකරුවන්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා පවත්නා ක්‍රමය තුළ ඉතිරි වී සිටි එකම ඉලක්කය බවට පත් වන පරිදි මෙම ව්‍යුහය සකස් කර තිබීමයි. මීගමුවේදී මියගිය බන්ධනාගාර නියාමකයින් එකවරම අපරාධකාරයන් මෙන්ම වින්දිතයන් ද වෙති. එනම් ඔවුහු ඝාතකයන් මෙන්ම ඝාතනයට ලක්වූවන් ද වෙති; පන්ති පීඩනයේ මෙවලම් වන අතරම තමන් ද පීඩාවට පත් වූවන් වෙති. තමන්ට ක්‍රියාත්මක වීමට වැටුප් ගෙවනු ලැබූ එම යන්ත්‍රණය විසින්ම ඔවුන්ව ද අමානුෂිකත්වයට (dehumanize) පත් කර ඇත. ආරක්ෂිත දුරක සිට මෙම සහෝදර ඝාතනය මෙහෙයවූ පාලක පන්තිය, සිරකරුවන් හෝ බන්ධනාගාර නියාමකයින් වෙනුවෙන් ශෝක නොවනු ඇත. එයට පුද්ගලික දේපළ ක්‍රමය පවත්වාගෙන යාම සඳහා ඔවුන් දෙපාර්ශවයේම මරණ අවශ්‍ය විය.

රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ ඓතිහාසික ගමන් පථය

මීගමුව සමූලඝාතනය තේරුම් ගත යුත්තේ ශ්‍රී ලංකාවේ බලයට පත් වූ සෑම ධනේශ්වර පාලන තන්ත්‍රයක්ම අඛණ්ඩව පවත්වාගෙන ගිය දණ්ඩන ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසය තුළ පිහිටා ගනිමිනි. එම ලැයිස්තුව බියජනක ය: 2020 වසරේ මහර (වෙඩි තබා 11 දෙනෙකු ඝාතනය කිරීම), 2012 වසරේ වැලිකඩ (පොලිස් විශේෂ කාර්ය බලකායේ කොමාන්ඩෝ භටයන් විසින් 27 දෙනෙකු ඝාතනය කිරීම), 2011 වසරේ අනුරාධපුරය, 2000 වසරේ කළුතර, සහ 2000 වසරේ බිඳුණුවැව (රාජ්‍යය නිහඬව බලා සිටියදී සිංහල අන්තවාදී පිරිසක් විසින් දෙමළ රැඳවියන් 27 දෙනෙකු කපා කොටා ඝාතනය කිරීම) ඒ අතර වේ. 1983 දෙමළ විරෝධී කළු ජූලියේ කෝලාහලය අතරතුර වැලිකඩ බන්ධනාගාරයේදී, බන්ධනාගාර බලධාරීන්ගේ සහයෝගය ඇතිව සිංහල වර්ගවාදී සිරකරුවන් විසින් දෙමළ දේශපාලන සිරකරුවන් 53 දෙනෙකු ඝාතනය කරන ලදී.

බන්ධනාගාර සමූලඝාතනයන්හි මෙම ගමන් පථය, කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට එරෙහිව ක්‍රියාත්මක වූ රාජ්‍ය ප්‍රචණ්ඩත්වයේ පුළුල් ඉතිහාසයෙන් වෙන් කළ නොහැක්කකි. 1988-89 කාලසීමාවේ පැවති ජවිපෙ කැරැල්ල අතරතුර, රාජ්‍ය බලකායන් විසින් දිවයිනේ දකුණු ප්‍රදේශයේ ග්‍රාමීය තරුණයන් දස දහස් ගණනක් ඝාතනය කරන ලදී. එය රාජ්‍යයේ කිසිදු දේශපාලන හෝ මිලිටරි නායකත්වයක් මෙතෙක් වගවීමකට ලක් නොවූ සමූහ ඝාතන මෙහෙයුමකි. ජනතා විමුක්ති පෙරමුණ ද එකී වකවානුව තුළම මව්බිම ආරක්ෂා කිරීමේ නාමයෙන්, කම්කරුවන්, වෘත්තීය සමිති ක්‍රියාධරයන් සහ දේශපාලන ප්‍රතිවාදීන් ඉලක්ක කර ගනිමින් දේශපාලන ඝාතන දියත් කිරීමේ ෆැසිස්ට්වාදී මෙහෙයුමක් දියත් කළේය. වත්මන් ජවිපෙ/ජාජබ (JVP/NPP) ආණ්ඩුව — එහි ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෑතකදී ප්‍රකාශ කර තිබුණේ “මෙම ආණ්ඩුවෙන් පසු වෙනත් ආණ්ඩු බිහි නොවන” බවයි — තමන්ගේම ශ්‍රේණීන් තුළ මෙම ඉතිහාසයට කිසිසේත්ම මුහුණ දී නොමැති අතර, වත්මන් ආණ්ඩුව සුජාත පාලක පක්ෂයක් ලෙස සලකන ධනේශ්වර මාධ්‍ය සහ දේශපාලන සංස්ථාපිතය විසින් ද එසේ කිරීමට ඔවුන්ට කිසිදු බලපෑමක් එල්ල කර නැත.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහිව වසර 26ක් පුරා පැවති සිවිල් යුද්ධය 2009 වසරේදී අවසන් වූයේ, එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගේ මෙහෙයවීම යටතේ අවසන් මාස කිහිපය තුළ පමණක් දළ වශයෙන් දෙමළ සිවිල් වැසියන් 40,000ක් ඝාතනය කරමිනි. 1979 වසරේදී පනවන ලද ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත (PTA), එය අහෝසි කරන බවට මැතිවරණ සමයේදී පැහැදිලි පොරොන්දු ලබා දී තිබුණද, අනුර කුමාර දිසානායකගේ වත්මන් ජවිපෙ/ජාතික ජන බලවේගය රජය විසින් ද තවදුරටත් පවත්වාගෙන යනු ලබයි. දේශපාලන ප්‍රතිවාදීන් රඳවා තබා ගැනීමට, වධහිංසා පැමිණවීමට සහ අතුරුදහන් කිරීමට දශක ගණනාවක් තිස්සේ මෙම පනත භාවිතා කර ඇත. ස්ත්‍රී දූෂණය ඇතුළු අනෙකුත් වධහිංසා පැමිණවීමේ ක්‍රමවේදයන් ඇතුළත් දරුණු මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch) සංවිධානය විසින් ලේඛනගත කර ඇත. 2017 වසරේ රජයේ වාර්තාවලට අනුව, මෙම ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ නඩු විභාගයකින් තොරව සිරකරුවන් 70 දෙනෙකු වසර පහකට වැඩි කාලයක් ද, 12 දෙනෙකු වසර 10කට වැඩි කාලයක් ද රඳවා තබා ගෙන සිට ඇත.

මීගමුව ඝාතන, “බන්ධනාගාර මත්ද්‍රව්‍ය ජාලයකට” එරෙහිව එල්ල කරන ලද කණගාටුදායක වුවද අවශ්‍ය වූ ප්‍රතිචාරයක් ලෙස දැන් හුවා දක්වන්නේ මෙන්න මේ කියන රාජ්‍යයයි. වධහිංසා පමුණුවන, අතුරුදහන් කරවන සහ සමූහ ඝාතන සිදු කරන රාජ්‍යයම, තමන් කළ දේ පිළිබඳව බොරු ගොතන රාජ්‍යය ද වෙයි. මෙම මුසාව ප්‍රචණ්ඩත්වයට ආනුශංගික වන්නේ නොවේ; එය ප්‍රචණ්ඩත්වයේම අත්‍යවශ්‍ය අංගයකි. වින්දිතයන් යනු සම්පූර්ණ මනුෂ්‍යයන් නොවන බව පිළිගැනීමට මහජන මතය මුලින්ම සකස් නොකර, මෙම ඝාතන ක්‍රියාවලිය ඉදිරියට ගෙන යා නොහැක.

මතවාදී ප්‍රහාරය: අමානුෂිකකරණය (dehumanization) පන්ති යුද්ධයේ කොටසක් ලෙස 

මීගමුවේදී මියගිය පිරිස හැඳින්වීම සඳහා ආයතනික මාධ්‍ය විසින් “පාතාල අපරාධකරුවන්” සහ “කුඩුකාරයින් ” වැනි යෙදුම් භාවිත කිරීම පිටුපස නිශ්චිත මතවාදී කාර්යභාරයක් පවතී. එමඟින් මනුෂ්‍යත්වයට වඩා පහත් මට්ටමක ලා සැලකෙන පිරිසක් නිර්මාණය කෙරේ. ඔවුන්ගේ මරණ මනුෂ්‍ය ඝාතන ලෙස නොව, සමාජය පවිත්‍ර කිරීමේ ක්‍රියාවලියක් ලෙස අර්ථකථනය කෙරෙන අතර, එමඟින් රාජ්‍යයේ මාරාන්තික ක්‍රියාමාර්ග වෙනුවෙන් ඉහළ මධ්‍යම පාන්තික මහජන මතය බලමුලු ගන්වනු ලබයි. මෙය ෆැසිස්ට්වාදී ප්‍රතිමීත්වයේ තර්කනය වන අතර, ජාත්‍යන්තර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් වැනි පුද්ගලයන් විසින් විදේශික භීතිකාව (xenophobia) යොදා ගනිමින් සංක්‍රමණිකයන්ව යක්ෂාරෝපණය කිරීම සෘජුවම ප්‍රතිභිම්බගත කරයි. මෙහි අරමුණ එකම එකකි: එනම් දරිද්‍රතාවය අපරාධයක් ලෙස හුවා දැක්වීම, රාජ්‍ය භීෂණය සාධාරණීකරණය කිරීම සහ “අපරාධය” මෙන්ම දඬුවම යන දෙකම බිහි කරන පන්ති සබඳතා වසන් කිරීමයි.

ජාත්‍යන්තරව මෙන්ම ශ්‍රී ලංකාව තුළ ද ක්‍රියාත්මක වන “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” යනු කිසිම දිනක මහජන සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා ගනු ලැබූ පියවරක් නොවේ. එය අතිරික්ත ජනගහනය, එනම් ප්‍රාග්ධනයට ඔවුන්ගේ ශ්‍රම දායකත්වය අවශ්‍ය නොවන, එමෙන්ම ඔවුන්ගේ පැවැත්ම සමාජ ක්‍රමයේ ස්ථාවරත්වයට තර්ජනයක් සේ සැලකෙන, අතිමහත් බහුතරයක් සමාජයේ අතිශය දිළිඳුතම ස්ථරවලින් පැමිණෙන තරුණ පරපුර අපරාධකරුවන් බවට පත් කිරීම සහ ඔවුන්ව ගබඩා කර රඳවා තැබීම සඳහා සකස් කළ යාන්ත්‍රණයකි. රිමාන්ඩ් බන්ධනාගාර පිරී ඉතිරී යන මත්ද්‍රව්‍ය නඩු අතරින් අතිමහත් බහුතරයක් ව්‍යාජ චෝදනා මත පදනම් වූ ඒවා වේ. කාල් මාක්ස් විසින් සිය කැපිටල් (Capital I) කෘතියේ විශ්ලේෂණය කරන ලද ප්‍රාග්ධන සමුච්චකරණයේ ප්‍රාථමික අවධියේදී පැවති “අයාලේ යන්නන්ට එරෙහි නීති” (vagrancy laws) ඉටු කළ කාර්යභාරයම මේවා මඟින් ද ඉටු කෙරේ. එනම්, දේපළ අහිමි කරන ලද දිළිඳු ජනතාව පාලනය කිරීමටත්, ධනේශ්වර සූරාකෑමට හිතකර කොන්දේසි බලහත්කාරයෙන් බලාත්මක කිරීමටත් දණ්ඩනීය නීතිය භාවිත කිරීමයි.

ජනතා විමුක්ති පෙරමුණ/ජාතික ජන බලවේගය රජය සිය දේශපාලන ප්‍රහාරයේ ප්‍රධානතම මෙවලමක් බවට “මත්ද්‍රව්‍යවලට එරෙහි යුද්ධය” පත් කර ඇත. මෙවර මැයි දින රැලියේදී අදහස් දක්වමින් ජනාධිපති දිසානායක  පාරට්ටු කර සිටියේ “2026 වසර ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වනුයේ දූෂිතයන්, වංචාකරුවන් සහ සොරුන් සිරගත කළ වසරක් ලෙස” බවයි. දූෂණයට සහ මත්ද්‍රව්‍යවලට එරෙහි මෙම වාග් සංග්‍රාමය ද්විත්ව අරමුණක් ඉටු කරයි: එක් අතකින්, දුප්පත්කම සහ පීඩනය නිර්මාණය කරන ධනේශ්වර ක්‍රමයට එරෙහිව පවතින මහජන ක්‍රෝධය, සමාජ පරිහානියට වගකිව යුතු යැයි සැලකෙන තනි තනි “අපරාධකරුවන්” වෙත හරවා යැවීමට මෙය ඉවහල් වේ; අනෙක් අතින්, කප්පාදු පියවරයන් හේතුවෙන් පැන නගින විරෝධතා දැඩි වන විට කම්කරු පන්තියට එරෙහිව භාවිත කිරීම සඳහා මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය පුළුල් කිරීමට ද මෙය මඟ පාදයි.

ජවිපෙ/ජජබ: මර්දනයේ අඛණ්ඩතාව

මීගමුව සමූලඝාතනය සිදු වූයේ ‘ක්‍රම වෙනසක්’ (systemic change) ඇති කරන බවට වූ පොරොන්දු මත 2024 වසරේදී බලයට පත් වූ ජවිපෙ/ජජබ රජය යටතේ ය. මෙම ජනවරම, ගෝඨාභය රාජපක්ෂ බලයෙන් පහ කළ 2022 අරගලයේ ජනතා පිබිදීම තුළ මුල් බැසගත් එකක් වුව ද, මහජන අරගලය විප්ලවීය ගැටුමකට යොමු කරනු වෙනුවට පාර්ලිමේන්තු මාවත වෙත හරවා යැවූ වෘත්තීය සමිති නිලධාරිවාදය සහ ජවිපෙ/ජජබය විසින්ම එය දේශපාලනිකව පීලි පන්නවන ලදී. එම පාවාදීම අවසානයේ වික්‍රමසිංහගේ අගමැතිකමටත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු ණය වැඩසටහනත්, අවසානයේ දිසානායකගේ ජයග්‍රහණයටත් මඟ පෑදීය. ඒ අනුව පොරොන්දු වූ “වෙනස” යනු එම ධනපති පන්ති පාලනයේම අඛණ්ඩ පැවැත්මක් බව දැන් ඔප්පු වී ඇත. බලයට පත් වූ දා සිට ජවිපෙ/ජජබ රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කප්පාදු වැඩපිළිවෙළ විශ්වාසවන්තව ක්‍රියාවට නංවා තිබේ: මහා පරිමාණ පෞද්ගලීකරණයන්, සේවා යෝජනය අනියම් තත්වයට හෙළීම හා රැකියා අහිමි කිරීම්, සහනාධාර කප්පාදු කිරීම්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට පොරොන්දු වුව ද එය දිගටම පවත්වාගෙන යාම, නව මර්දනකාරී නීති පැනවීම, හදිසි නීති බලතල ක්‍රියාත්මක කිරීම සහ කම්කරු විරෝධතා ප්‍රචණ්ඩ ලෙස මර්දනය කිරීම ඒ අතර වේ.

මීගමුව සමූලඝාතනය යනු තමන්ට පෙර සිටි පාලකයන් නියෝජනය කළ ධනපති පන්තියම නියෝජනය කරන සහ එම දේපළ සබඳතාම ආරක්ෂා කරන රජයක ස්වාභාවික හා තර්කානුකූල ප්‍රතිඵලයකි. “මේ ආණ්ඩුවෙන් පස්සේ වෙන ආණ්ඩු එන්නේ නැහැ” යනුවෙන් මෙවර මැයි දින රැලියේදී ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා කළ ප්‍රකාශය හුදු අතිශයෝක්තියක් නොවේ. එය විරුද්ධ පක්ෂයේ දේශපාලනඥයන් වෙත නොව, සෘජුවම කම්කරු පන්තිය වෙත එල්ල කරන ලද තර්ජනයකි. ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර වෙමින් පවතින පසුබිමක සහ ඉරානයට එරෙහිව එක්සත් ජනපද-නේටෝ (US-NATO) යුද්ධය හේතුවෙන් ගෝලීය බලශක්ති සැපයුමට බාධා පැමිණ ඉන්ධන හා ආහාර මිල ගණන් තවදුරටත් ඉහළ යද්දී, ඉන් පැන නගින වැඩෙන සමාජ විරෝධයට මුහුණ දීම සඳහා ජවිපෙ/ජජබ රජය මෙලෙස පන්ති යුද්ධයකට සූදානම් වෙමින් සිටී.

ශ්‍රී ලංකා ධනවාදයේ අර්බුදය

බන්ධනාගාර පද්ධතිය යනු ශ්‍රී ලංකා ධනවාදය විසින් නිර්මාණය කර ඇති පුළුල් සමාජ ව්‍යසනයේ සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ශ්‍රී ලංකාව ආසියා-පැසිෆික් කලාපයේ වඩාත්ම අසමානතාවයෙන් යුත් රටවල් අතරින් එකකි. 2016 වසරේදී, මෙරට ධනවත්ම 10% ක පිරිස සමස්ත නිවාස ඒකකවලින් 70% ක් උපයන මුළු ආදායමට සමාන ආදායමක් උපයා ඇත. දශක ගණනාවක් තිස්සේ පැවති පරපෝෂිත ධනේශ්වර සංවර්ධනයේ, දූෂණයේ සහ ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට යටත් වීමේ ප්‍රතිඵලයක් ලෙස 2022 වසරේදී විදේශ ණය පැහැර හැරීමට සිදුවීමත් සමඟ, මෙරට දරිද්‍රතා අනුපාතය වේගයෙන් ඉහළ නැංවූ ආර්ථික බිඳවැටීමක් ආරම්භ විය. නිවාස ඒකකවලින් අවම වශයෙන් 70% ක් වත් දිනකට එක් වේලක් මඟ හැරීම ඇතුළුව සිය ආහාර පරිභෝජනය සීමා කරමින් සිටි බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වාර්තා කළේය. නිල දත්තවලට අනුව ආහාර උද්ධමනය 57% ක් දක්වා ඉහළ ගියේය.

බ්‍රිතාන්‍ය යටත්විජිතවාදය විසින් ඉන්දියාවෙන් රැගෙන එන ලද ගිවිසුම්ගත බද්ධ ශ්‍රමිකයන්ගෙන් පැවත එන්නන්, එනම් මධ්‍යම කඳුකරයේ වතු කම්කරුවන්, සියවසකට අධික කාලයකින් කිසිදු වෙනසකට ලක් නොවූ, ජරාජීර්ණ වූ “ලයින් කාමර” තුළ ජීවත් වෙති.  ඔවුහු යන්තම් ජීවිතය ගැටගසා ගැනීමට පවා ප්‍රමාණවත් නොවන වැටුප් ලබමින්, තවමත් අන්ත අසරණ දරිද්‍රතාවයේ කොන්දෙසි තුළ ජීවත් වෙති. කොළඹ මුඩුක්කු ආශ්‍රිතව වෙසෙන නාගරික දුප්පතුන්, ණය බරින් සහ පොහොර සහනාධාර අහිමි වීමෙන් පීඩාවට පත් ග්‍රාමීය ගොවීන් සහ ස්ථිර රැකියා විරහිතභාවයට මුහුණ දෙන තරුණ පරපුර ආදී සමාජ ස්ථරයන්ගෙන් බන්ධනාගාර ගත වන ජනගහනය බිහි වෙයි. 

මේ සමාජ ස්ථරයන් යනු මානුෂීය අවශ්‍යතාවලට වඩා පෞද්ගලික ලාභය මුල් කරගන්නා පද්ධතියකින් බිහි වූ මිනිස් ප්‍රතිඵලයන්ය. ඔවුන් ඊට එරෙහි වන විට, එනම් ඔවුන් විරෝධය පාන විට, වැඩ වර්ජනය කරන විට, හෝ ප්‍රචණ්ඩ ලෙස නැගී සිටින විට රජය ඊට පිළිතුරු දෙන්නේ උණ්ඩවලිනි. මෙය පද්ධතියේ  අසාර්ථකත්වයක් නොවේ. මෙම පද්ධතියේ ස්වභාවයම එයයි.

රාජ්‍යය පිළිබඳ මාක්ස්වාදී වටහා ගැනීම

ලෙනින්, රාජ්‍යය සහ විප්ලවය’ (The State and Revolution) යන කෘතියෙන් රාජ්‍යය අර්ථ දැක්වූයේ “පන්ති ප්‍රතිවිරෝධතාවල සමහන් කළ නොහැකි ස්වභාවයේ නිෂ්පාදනයක් සහ ප්‍රකාශනයක්” ලෙසය. එය මධ්‍යස්ථ බේරුම්කරුවෙකු හෝ සමාජ ගැටුම් විසඳීමේ යාන්ත්‍රණයක් නොවන අතර, එක් පන්තියක් විසින් තවත් පන්තියක් සංවිධානාත්මකව මර්දනය කිරීම සඳහා භාවිත කරන මෙවලමකි. රාජ්‍යය මූලික වශයෙන් සමන්විත වන්නේ “බන්ධනාගාර ආදිය තම අණසක යටතේ පවත්වාගෙන යන, අවිගත් මිනිසුන්ගෙන් සැදුම්ලත් විශේෂ බලකායන්ගෙන්” බව ඔහු අවධාරණය කළේය. බන්ධනාගාරය යනු රාජ්‍යයේ පන්තිමය ස්වභාවය සාමාන්‍යයෙන් වසා සිටින ප්‍රජාතන්ත්‍රවාදී-පාර්ලිමේන්තු පෙනුම ඉවත් කළ පසු දැකිය හැකි, එහි වඩාත්ම නිරුවත් ස්වරූපයයි. කොවිඩ් වසංගතය අතරතුර පී.සී.ආර්. (PCR) පරීක්ෂණ ඉල්ලා සිටි නිරායුධ සිරකරුවන්ට ආරක්ෂකයින් සහ කොමාන්ඩෝ භටයින් වෙඩි තබන විට, සහ බන්ධනාගාරයක් වටලා පිටත රැස්ව සිටින පවුල්වල සාමාජිකයින් බිය ගැන්වීම සඳහා රජය යුද, නාවික, ගුවන් හමුදා, විශේෂ කාර්ය බලකාය (STF) සහ සන්නද්ධ ඩ්‍රෝන යානා යොදවන විට, එහි වෙස්මුහුණ සම්පූර්ණයෙන්ම ගැලවී යයි.

ධනේශ්වර දණ්ඩන පද්ධතිය ප්‍රතිසංස්කරණය කළ නොහැක. මානව හිමිකම් කොමිෂන් සභා වාර්තා, බන්ධනාගාර නවීකරණය පිළිබඳ පොරොන්දු, සහ විමර්ශන කමිටු ආදී මේ සියල්ලම මහජන ක්‍රෝධය සමනය කර, එය නැවතත් ධනේශ්වර නීත්‍යානුකූලභාවය නමැති ආවෘත අන්තයකට යොමු කිරීම සඳහා වූ යාන්ත්‍රණයන් පමණි. මෙම සමූල ඝාතන ඇති කරන තත්ත්වයන්, එනම් සිරකරුවන් අධික ලෙස පිරී ඉතිරී යාම, දරිද්‍රතාවය නිසා සිදු කෙරෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම්, දුප්පතුන් අපරාධකරුවන් බවට පත් කිරීම සහ ආරක්ෂක අංශවලට හිමි වී ඇති දඬුවම් නොලබා බේරීමේ හැකියාව (වගවීමෙන් මුක්තිය) ආදිය පද්ධතියේ කිසියම් දෝෂයන් නොවේ. ඒවා පද්ධතිය සැලසුම් කර ඇති ආකාරයටම නිවැරදිව ක්‍රියාත්මක වීමකි.

පාලනයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු බන්ධනාගාර ප්‍රචණ්ඩත්වයට ප්‍රතිචාර දැක්වූයේ එකම හිස් චාරිත්‍රයකිනි. මහින්ද රාජපක්ෂ පුනරුත්ථාපනය පොරොන්දු විය. ගෝඨාභය රාජපක්ෂ පස් අවුරුදු ප්‍රතිසංස්කරණ සැලසුම් පොරොන්දු විය. සිරිසේන සංක්‍රාන්ති යුක්තිය පොරොන්දු විය. ජවිපෙ/ජාජබ “පද්ධතිමය වෙනසක්” පොරොන්දු විය. කමිටු පත් කරනු ලැබේ, සැලසුම් ප්‍රකාශයට පත් කරනු ලැබේ, නමුත් ප්‍රචණ්ඩත්වය ඇති කරන තත්ත්වයන්, එනම් සිරකරුවන් අධික ලෙස පිරී ඉතිරී යාම, නඩු විභාගයකින් තොරව රක්ෂිත බන්ධනාගාරගත කර තැබීම, කුසගින්න සහ වධහිංසා පැමිණවීම් ආදිය තව තවත් නරක අතට හැරේ. ඒවා නරක අතට හැරෙන්නේ ධනේශ්වර රාජ්‍යයට ඒවා අත්‍යවශ්‍ය බැවිනි. බන්ධනාගාරය පවතින්නේ දුප්පතුන් ශික්ෂණය කිරීමට, අතිරික්ත ශ්‍රමිකයන් ගබඩා කර රඳවා තැබීමට සහ කම්කරු පන්තිය බිය ගන්වා අවනත කර ගැනීමටය. එහි කාර්යභාරය සහමුලින්ම මර්දනකාරී එකක් වන බැවින්, එය කිසිසේත්ම ප්‍රතිසංස්කරණය කළ නොහැක.

විප්ලවවාදී පිළිතුර

මීගමුව බන්ධනාගාරයේදී මියගිය සිරකරුවන් මෙන්ම ආරක්ෂකයින්ද, ඝාතනය කරනු ලැබුවේ, පාලක පන්තිය පසෙකට වී බලා සිටිමින් පීඩිතයන් එකිනෙකාට එරෙහිව පොලඹවන අතර, එය සාධාරණය ඉටු කිරීමක් ලෙස හඳුන්වන ක්‍රමවේදයක් මගිනි. සිරකරුවන් ඝාතනය කරනු ලැබුවේ ඔවුන්ගේ ශ්‍රමය ප්‍රාග්ධනයට වටිනාකමක් නොමැති බැවින් ඔවුන්ගේ ජීවිතද වටිනාකමක් නොමැති දේ ලෙස සලකන රාජ්‍යයක් විසිනි. බන්ධනාගාර ආරක්ෂකයින් ඝාතනයට ලක් වූයේ ද එකී ක්‍රමය විසින්ම වන අතර, ඔවුන් එයට බඳවා ගෙන තිබුනේ එමඟින් තමන්ට කිසිසේත් ගැලවිය නොහැකි පරිදි මෙන්ම, තමන් එය නිර්මාණය කිරීමේ අවසාන මෙවලම් පමණක් වූ පුපුරණ සුලු කෝපයක මාවතට තමන්ව ඇද දමන භූමිකාවක් සඳහාය. 

මීගමුව, මහර, වැලිකඩ මෙන්ම ධනේශ්වර දණ්ඩන ක්‍රමයේ මුළු මහත් ලේවැකි ඉතිහාසයටම ඇති එකම පිළිතුර නම්, සමස්ත ධනපති රාජ්‍යයට එරෙහිව වැඩකරන පන්තිය ස්වාධීන දේශපාලන බලවේගයක් ලෙස බලමුලු ගැන්වීමයි. මෙයින් අදහස් කරන්නේ, වාර්ගික බෙදීම් අභිබවා යමින් සිංහල, දෙමළ සහ මුස්ලිම් කම්කරුවන්ගේ එක්සත්කම උදෙසා සටන් වදින සහ ඔවුන්ව එකිනෙකාගෙන් වෙන් කර ධනේශ්වර පන්ති පාලනය ශක්තිමත් කිරීම සඳහා ඔවුන් අතර බෙදීම් ඇති කරන පාලක පන්තියට එරෙහිව, කම්කරු පන්තිය හා සියලු පීඩිත ස්ථරයන්, ගොවි ජනතාව සහ තරුණයින් අතර සන්ධානයක් ගොඩනඟන, සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙළින් සන්නද්ධ වූ විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමයි.

කර්මාන්තශාලා, කාර්යාල, වතුකරය සහ ග්‍රාමීය ප්‍රජාවන් නියෝජනය කරන රට පුරා සිටින කම්කරුවන්, සියලුම ධනේශ්වර පක්ෂවලින් සහ ඒවාට අනුබද්ධ වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් ස්වාධීන වූ තමන්ගේම ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය. මෙම කමිටු, සමාගම් ලාභය වෙනුවට මානුෂීය අවශ්‍යතා මුල් කරගත් වැඩපිළිවෙළක් ඉදිරියට ගෙන යන කම්කරුවන්ගේ සහ ග්‍රාමීය ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී මහා සම්මේලනයක පදනම විය යුතුය. එම වැඩපිළිවෙළට: විදේශ ණය ප්‍රතික්ෂේප කිරීම, කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ බැංකු සහ ප්‍රධාන සමාගම් ජනසතු කිරීම, ජීවන වියදමට සරිලන සේ වැටුප් සංශෝධනය කිරීම, සැමට රැකියා සහතික කිරීම සහ දිළිඳු ගොවීන්ගේ හා සුළු ව්‍යාපාරිකයන්ගේ ණය අවලංගු කිරීම ඇතුළත් විය යුතුය.

ධනේශ්වර දණ්ඩන පද්ධතියට එරෙහි අරගලය, ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කළ නොහැක. බන්ධනාගාර ක්‍රමය මුළුමනින්ම තුරන් කළ හැක්කේ, ඒ සඳහා පසුබිම සකසන පන්ති සමාජය විප්ලවීය ලෙස පෙරළා දැමීමෙන් පමණි. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයෙහි (SLLA) කර්තව්‍යය වන්නේ, එම අරගලය සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමට සමත් දේශපාලන නායකත්වය ගොඩනැඟීමයි. එය කළ හැක්කේ, ශ්‍රී ලංකාව තුළ සහ සමස්ත දකුණු ආසියාව පුරා, ලෝක සමාජවාදී විප්ලවයේ පක්ෂය වන හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) ජාත්‍යන්තර අරගලයේ කොටසක් ලෙසින් පමණි. 

මීගමුවේදී මියගියවුන් ඉල්ලා සිටින්නේ ඊට අඩු කිසිවක් නොවේ.