Tuesday, May 27, 2025

සිංහල සිනමාවේ හෘද සාක්ෂිය: මාලිනී ෆොන්සේකාගේ නොනවතින සිනමා උරුමය

2025 මැයි 24 වන දින නිළි මාලිනී ෆොන්සේකාගේ අභාවය සිනමා යුගයක අවසානය සනිටුහන් කරයි. ඇගේ මිලියන ගණනක් වයස්ගත සහ තරුණ රසිකයන් විසින් හඳුන්වනු ලැබන ආකාරයෙන් ඇය නිසැකවම "සිංහල සිනමාවේ “රැජින" වූවාය. ඇගේ වෘත්තීය ජීවිතයේ දශක හයකට ආසන්න කාලය කීර්තිමත් පුද්ගලයෙකුගේ සරල චරිතාපදානයක් නොව, ඉතිහාසයේ බර, පුරුෂාධිපත්‍යය, පසුගාමීත්වය සහ පන්ති පීඩනය යටතේ සාමාන්‍ය ජනතාවගේ- විශේෂයෙන් කාන්තාවන්ගේ ජීවිත සමඟ - ගැඹුරු සහ අඛණ්ඩ සිනමාත්මක හඳුනා ගැනීමකි. වාණිජවාදය, ජනතාවාදය, ජාතිකවාදය සහ මර්දනය යන රැලි අතර සිනමාව බොහෝ විට අරගල කරන රටක, ෆොන්සේකා සදාචාරාත්මක හා සෞන්දර්යාත්මක තරුවක් ලෙස රැඳී සිටි අතර, සත්‍ය වශයෙන්ම ඇය රගපා ඇති චරිත හැඟීම්, නිහඬ ප්‍රතිරෝධය සහ ඛේදජනක අවබෝධයෙන් පුරවා ඇත.

ෆොන්සේකා ආදරණීය නිළියක් ලෙස සරලව විස්තර කිරීම ඇගේ ප්‍රතිපදානයේ බැරෑරුම්කම මග හැරීමකි. ඇය සමාජ සවිඥානකත්වයක් ඇති කලාකාරිනියක් වූවාය - ඇයගේ රංගනයන් ශ්‍රී ලංකාවේ පශ්චාත්-නිදහස් කම්පන, එහි ඉටු නොවූ ප්‍රජාතන්ත්‍රවාදී පොරොන්දු සහ සෑම පැත්තකින්ම පීඩනයට ලක්වන පසුගාමී ධනේශ්වර සමාජයක ප්‍රතිවිරෝධතාවල බර දරා සිටියේය.

සිංහල සිනමාවේ අනර්ගතම සිනමා පටයක් වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ "නිධානය" (1972) චිත්‍රපටයේ, ධනය හා උමතුවෙන් මිනී මැරීමට පෙලබෙන මිනිසෙකු විසින් ගොදුරු කර ගන්නා අහිංසක, අවාසනාවන්ත කාන්තාවකගේ චරිතය ෆොන්සේකා විසින් නිරූපණය කරයි. ඇගේ චරිතය හුදෙක් ගොදුරක් නොව, බිඳ වැටෙන වැඩවසම් ක්‍රමය පිලිබිබු කරන කැඩපතකි. ෆොන්සේකා නිශ්ශබ්දතාවය සහ සියුම් අභිනයන් හරහා, ඇයට එරෙහිව පෙළගැසී ඇති බලවේග වෙත සෙමින් අවදි වන පුද්ගලයෙකු ප්‍රකාශ කරයි. ඇගේ පරිත්‍යාගය හුදෙක් පෞද්ගලික නොවේ - එය තමන්ගේම අතීතයෙන් කොටු වූ සමාජයක අහිංසකත්වයේ මරණය රූපක වශයෙන් ඉදිරිපත් කරයි.

ලෙනාඩ් වුල්ෆ්ගේ "ද විලේජ් ඉන් ද ජංගල්" කෘතිය පාදක කරගත් බැද්දේගම (1980) චිත්‍රපටයේ, පුංචි මැණිකා ලෙස ෆොන්සේකා යටත් විජිත සූරාකෑමේ සහ ග්‍රාමීය අසරණභාවයේ ලෝකයක ජීවත් වේ. මෙය අතිනාට්‍යක් නොව නිරවද්‍ය, ආර්ථික යථාර්ථවාදයකි. ෆොන්සේකා දරිද්‍රතාවය සහ කාන්තා විඳදරාගැනීම "රග පෑමක්” නොකරයි - ඇය එය ජීවත් කරයි. කාංසාවෙන් හා බලාපොරොත්තු සුන්වීමෙන් වැඩි වැඩියෙන් රැලි ගැසුණු ඇගේ මුහුණ, අයුක්තිය, කුසගින්න සහ රෝගවලින් බිම හෙළන ලද, උදාසීන රාජ්‍යයක කෲරත්වය නිසා නරක අතට හැරුණු සමාජයක වේදනාව සන්නිවේදනය කරයි.

බැද්දේගම: මාලිනී ෆොන්සේකා, විජය කුමාරණතුංග, ජෝ අබේවික්‍රම 

ධර්මසේන පතිරාජගේ බඹරු ඇවිත් (1978) චිත්‍රපටයේ ඇයගේ රංගනය ද ඒ හා සමානව කැපී පෙනේ. මෙම චිත්‍රපටයේ, සමාජ බිඳවැටීමේ සහ නාගරික පිටස්තරයින්ගේ කොල්ලකාරී පැමිණීමේ සුළි කුණාටුවට හසු වූ වෙරළබඩ ගම්මානයක තරුණ කාන්තාවකගේ චරිතය නිරූපණය කරන ෆොන්සේකාගේ නිරූපණය ඇගේ වඩාත්ම සංයමයෙන් යුත් නමුත් ප්‍රබල රංගනයක් ඉදිරිපත් කරයි. චිත්‍රපටයේ මතුපිටට යටින් කැකෑරෙන පන්ති ආතතීන් කෙරෙහි තියුණු සංවේදීතාවයකින් ෆොන්සේකාගේ නිරූපණය සලකුණු වේ. ඇගේ භූමිකාව හුදෙක් ග්‍රාමීය අහිංසකත්වයේ සංකේතයක් නොව, ඇගේ ප්‍රජාව මත සිදුවන විනාශය දැනෙන ගැඹුරින් දැනුවත්, චිත්තවේගීය වශයෙන් සංකීර්ණ චරිතයකි. ගමේ ජීවිතය රෝමාන්තිකකරණය සහ ධනවාදී ආක්‍රමණයේ විඛාදන බලපෑම් යන දෙකම විවේචනය කරන චිත්‍රපටයක, ෆොන්සේකා සමාජයක් වෙළඳ භාණ්ඩකරණය කිරීමේ නිහඬ ඛේදවාචකය මූර්තිමත් කරයි. අවම දෙබස් සහ සියුම් ප්‍රකාශන සමඟ, ඇය තම ලෝකය තුළ මුල් බැසගත් නමුත් එහි දිග හැරීම නැවැත්වීමට නොහැකි කාන්තාවකගේ බලාපොරොත්තු සුන්වීම, උපේක්ෂාව සහ නිහඬ ප්‍රතිරෝධය අලංකාර ලෙස සන්නිවේදනය කරයි.

ප්‍රසන්න විතානගේ විසින් අධ්‍යක්ෂණය කරන ලද ආකාස කුසුම් (2008) චිත්‍රපටයේ, වෘත්තීය ජීවිතයේ සහ පෞද්ගලික ජීවිතයේ නටබුන් වලට මුහුණ දෙන සන්ධ්‍යා රාණි නම් වියැකී ගිය චිත්‍රපට තාරකාවකගේ චරිතය ලෙස රඟපාන, ෆොන්සේකා, වරක් ඇයව උත්කර්ෂයට නැං වූ කර්මාන්තයක් විසින් ඉවත දැමූ හා සමාජ රක්ෂනයක් අහිමි කලාකරුවෙකුගේ පරාරෝපණය සහ කලකිරීම මූර්තිමත් කරයි. චිත්‍රපටය ෆොන්සේකාගේම තාරකා තත්ත්වය ගැන ඉඟි කරයි. විතානගේගේ චිත්‍රපටය, චරිත අධ්‍යයනයක් ලෙස පෙනී සිටියද, සංස්කෘතික මතකය කෙටි කෙරෙන හා පුද්ගලයින් වෙළඳ භාණ්ඩ බවට පත් කරන ධනවාදය යටතේ වන පුළුල් සමාජ පරිහානිය ආයාසයකින් තොරව නිරාවරණය කරයි. ෆොන්සේකාගේ සංයමයෙන් නමුත් ගැඹුරින් ප්‍රකාශිත රංගනය, ලාභය මත පදනම් වූ පද්ධතියක කලාකරුවන්ගේ අස්ථිර පැවැත්මේ ක්ෂුද්‍ර ලෝකයක් වන ශ්‍රමය සහ කුසලතා සූරාකෑමට ලක් වූ, පසුව අතහැර දැමූ කාන්තාවකගේ ඛේදවාචකය අවධාරණය කරයි. අඳුරු අතීතකාමය සහ ප්‍රසිදිදිය යන්නේ අස්ථායී ස්වභාවය පිළිබඳ චිත්‍රපටයේ විවේචනය, මානව නිර්මාණශීලිත්වය ඇතුළු සියල්ල වෙළඳපොළට යටත් කර ඇති තත්වයන් යටතේ කලාවේ පුළුල් අර්බුදය සමඟ අනුනාද වේ. ආකාස කුසුම් පන්ති අරගලයට සෘජුවම සම්බන්ධ නොවූවත්, සන්ධ්‍යාගේ හුදකලාව සහ ඔරොත්තු දීමේ හැකියාව පිළිබඳ ෆොන්සේකාගේ නිරූපණය, පද්ධතිමය  උදාසීනත්වය මධ්‍යයේ සාමාන්‍ය ජනතාවගේ නොපසුබට උත්සාහය ගැන හඩ නගයි.

එයා දන් ලොකු ළමයෙක් (1977), සිරිපාල සහ රන්මැණිකා (1978) සහ යස ඉසුරු (1982) ඇතුළු පුළුල් පරාසයක චිත්‍රපටවල මෙන්ම පිටගම්කාරයෝ (1997) වැනි ටෙලි නාට්‍යවල ෆොන්සේකාගේ රංගනයන් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ගේ සාමූහික මතකයේ තැන්පත් වී ඇත. මෙම සෑම භූමිකාවකදීම, ඇය ඔවුන්ගේ සමාජ තත්වයන් අනුව හැඩගැසුණු කාන්තාවන්ට ජීවය ලබා දුන් අතර, ඔවුන්ට ගෞරවය, චිත්තවේගීය ගැඹුර සහ තිරය ඉක්මවා ගිය නිහඬ තීව්‍රතාවයක් ලබා දුන්නාය. නාගරික මාතෘත්වයේ අරගල, දරිද්‍රතාවයේ සීමාවන්, කුල හා පීතෘමූලිකත්වයේ සීමාවන් හෝ ග්‍රාම්‍ය ජීවිතයේ ගැටුම්කාරී ආශාවන් ආදී කුමක් නිරූපණය කළත්, අප ප්‍රවීණ නිළිය තමා වටා ඇති සමාජයේ ගැඹුරු යථාර්ථයන් සත්‍ය ලෙස හෙළි කිරීමට සමත් වූවාය.

ඇගේ පරම්පරාවේ අනෙකුත් ප්‍රමුඛ නළු නිළියන් කිහිප දෙනෙකු මෙන්, ෆොන්සේකා ද ඇගේ කාලයේ සැලකිය යුතු ඓතිහාසික නිෂ්පාදනයක් විය. 1970 දශකය වන විට, බොලිවුඩයේ සංගීතමය සහ අතිනාට්‍යමය සිනමාව, සිනමාහල් වෙත රොක් වූ සිනමා තරු මගින් ආකර්ෂණය වූ ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් කෙරෙහි බලවත් බලපෑමක් ඇති කළේය. තවමත් බරපතල කලාත්මක මාධ්‍යයක් ලෙස නැගී එන සිංහල සිනමාවට ඉන්දියානු චිත්‍රපටවල වාණිජ ආධිපත්‍යය සමඟ පොරබදන්නට සිදු විය.

ෆොන්සේකාගේ තරු බවට පත්වීම හුදෙක් ඇගේ පුද්ගලික චමත්කාරය පිළිබඳ කාරණයක් නොවේ; රිදී තිරය මත ඇගේ බලගතු පැවැත්ම, සෑම චරිතයකටම පාහේ ඇය ගෙන ආ චිත්තවේගීය ගැඹුර සහ අව්‍යාජභාවය සමඟ ඒකාබද්ධව, පුළුල් ප්‍රේක්ෂක පිරිසකගේ පරිකල්පනය ග්‍රහණය කර ගැනීමට ඇයට හැකි විය. එසේ කිරීමෙන්, සිංහල සිනමාවේ සංස්කෘතික සසුජාතභාවය සහ කලාත්මක විභවය තහවුරු කිරීමේදී ඇය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළාය.

දශක ගණනාවක් තිස්සේ අසමසම වූ ෆොන්සේකාගේ ජනප්‍රියත්වය ගොඩනැගුනේ හුදෙක් අයස්කාන්ත ආකර්ෂනය මත නොව ඇය උපයාගත් ගැඹුරු ප්‍රේමය මත ය. පීඩිතයන් සඳහා ඇය පලායාමක් යෝජනා කළේ නැත; ඇය වටිනාකම් දීම සහ සටන් කිරීම ඉදිරිපත් කළාය. "රැජින" ලෙස ඇයගේ තත්ත්වය ඇයට ආදරය කළ අයගේ අරගල අවංකව ඉදිරිපත් කිරීමෙන් ඇය උපයා ගත් පදවියකි.

ඇගේ කලාව සිනමාව කෙබඳු විය හැකිද යන්න අපට මතක් කර දෙයි: එනම් හෘද සාක්ෂියේ ස්ථානයක්, පීඩිතයන්ගේ වාර්තාවක් සහ කැරැල්ලේ ගිනි පුපුරක් ලෙසයි. ඇය අයත් වන්නේ ස්මිතා පටිල්, ගුලියෙටා මසිනා සහ ලිව් උල්මන් වැනි දුර්ලභ චිත්‍රපට නළු නිළියන්ගේ සම්ප්‍රදායටයි - ඔවුන් තම ශරීර සහ හඬ ඉතිහාසයේ යුධ පිටියක් බවට පත් කළහ.

ඇගේ ජීවිතයේ අවසාන වසරවලදී, ෆොන්සේකා ධනේශ්වර ජාතිකවාදී සංස්ථාපිතය සමඟ සම්බන්ධ වූ අතර, 2010 සිට 2015 දක්වා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂගේ රජය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් ලෙස ක්‍රියා කළාය. සිංහල ජාතිකවාදී දේශපාලනය සමඟ ඇයගේ පෙළගැස්මට කිසිදු දේශපාලන සහනයක් ලබා දිය නොහැකි වුවද, සමාජ යථාර්ථවාදය සහ පීඩිතයන් නිරූපණය කිරීම තුළ මුල් බැසගත් සිනමාවට ඇයගේ ගැඹුරු දායකත්වයන් කල් පවතින කලාත්මක හා ඓතිහාසික වටිනාකමක් ඇත. ශ්‍රී ලාංකික සහ ලෝක සිනමාවේ සැලකිය යුතු කොටසක් ලෙස ඇයගේ කෘති සමූහය විවේචනාත්මකව අගය කිරීමට සහ සංරක්ෂණය කිරීමට සුදුසුය.

මාලිනී ෆොන්සේකා හුදෙක් ශ්‍රේෂ්ඨ නිළියක් ලෙස පමණක් නොව, පීඩිත ජනතාවගේ කලාකාරිනියක් ලෙසද සිහිපත් කරනු ඇත. ඇගේ චරිත, සියලු අව්‍යාජ කලාවන් මෙන්, මතකයේ පමණක් නොව, ඔවුන් නියෝජනය කළ අයගේ අඛණ්ඩ අරගල තුළද ජීවමාන වනු ඇත.

සංජය ජයසේකර 

2025 මැයි 25

මෙය ලේඛකයා ඉංග්‍රීසි බසින් ලියූ ලිපියේ  සිංහල පරිවර්ථනයයි.

No comments:

Post a Comment