Thursday, February 15, 2018

අවුකන, සීගිරි තාක්ෂණයේ පශ්චාත් හෙලීනිතික, ඉන්දු හා සිනො උරුමය


ඉතිහාසය: අපෝහක භෞතිකවාදී හා ජාත්‍යන්තරවාදී අධ්‍යයන

01. 
ලංකාවේ අවුකන, සීගිරි තාක්ෂණයේ පශ්චාත් හෙලීනිතික, ඉන්දු හා සිනො උරුමය
01 කොටස
පැරනි ලංකාව දත් ලෝකය

ග්‍රීකයන් විසින් ක්‍රි.පූ.4 වන සිය වසේ සිට  ක්‍රි.ව. 5 වන සිය වස හා ඉන් පසුවත්  තප්‍රොබේන් ලෙස හැදින් වූ  පුරාන ලංකාව එකල සිට ඉන්දියන් සාගරයේ ජාත්‍යන්තර  වෙලඳ මධ්‍යස්තානයක්ව පැවති බවත්‍  ඒ අනුව ලංකාව ඉතිහාසය පුරා විශාල වශයෙන් විදේශීය  දනුම හා තාක්ෂණය  මත පදනම් වුනු බවටත්  මෙම ලිපියෙන් යෝජනා කිරීමට අදහස් කෙරේ. තවද දීර්ග කාලීන  රාජාන්ඩු පාලන ක්‍රමයක් හා වැඩවසම් සමාජ ආර්ථික ක්‍රමයක මිනිස් ශ්‍රමය සූරා කෑමට ලක් කල ව්‍යුහයක් තුල සකස් කෙරුනු ප්‍රාථමික නිෂ්පාදන සබඳතා  හරහා පැරනි ලංකාව තුලම වර්ධනය කෙරුනු  දේශීය විද්‍යාවක් හා තාක්ෂනික දනුමක්  පැවතීමේ වාස්තවික කොන්දේසි විරහිත  කෙරුනු බවද  යෝජනා කෙරේ. එය දේශීය දනුම් නිෂ්පාදනය සම්බන්ද විඥ්‍යානවාදී හා  සිංහල ජාතිකවාදී ප්‍රවාදයට අභියෝග කරනු ඇති අතර දනුම පිලිබඳ අපෝහක භෞතිකවාදය හා ජාත්‍යන්තරවාදය තහවරු කරනු ඇත. 


අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ.377 ත් ක්‍රි.ව. 1017 අතර පැවති බවට සාධක තිබේ. පන්ඩුකාභය, දේවනම්පිය තිස්ස, දුටුගැමුනු, මහාසේන, වලගම්බා, දාතුසෙන, සීගිරි කාශ්‍යප එම පරිච්ඡේදයේ ප්‍රධාන  රජුන් වූ බවට සදහන්ය. මෙම කාලයේ සිටම ලංකාවට විදෙස් රටවල් සමග වෙලද සබඳතා මෙන්ම රාජ තාන්ත්‍රික සබදතාද පුලුල්ව පැවතිබවට පර්යේෂන වාර්තා සනාථ කරයි. 

මූලිකවම, ලංකාව කෘෂිකාර්මික ආර්ථිකයක් වර්ධනය කිරීමට පෙර සිටම ජාත්‍යන්තර වෙලදාම හරහා ලංකාව වෙලඳ රාජ්‍යයක්  ලෙස වැජඹෙනි.  මේ හේතුවෙන්ම  ලංකාව එකල ඉහල මට්ටමේ විදේශ සම්බන්දතා පැවත්වූ රාජ්‍යයක් ව පැවතිනි.  පැරනි යුරෝපය, ඉන්දියානු කලාපය හා චීනය සමග ද ලංකාව ප්‍රබල වෙලඳ හා රාජ තාන්ත්‍රික සබඳතා පැවත්විය. එනම් එය කිසිසේත්ම අන්ධකාරයේ පැවති හුදකලා රාජ්‍යක් නොවිනි. 

ලංකාවේ පුරාන වෙලදාම 

කෘෂිකර්මය අතින් ස්වයංපෝශිත  කාල වලදී වත් ලංකාව කිසිවිටක සහල් අපනයනය නොකලේය. මිනි, මුතු සහ ඇත්තු ද පසු ව කුරුදු ද අනුරාධපුර යුගයේ සිට ප්‍රධාන අපනයන භාන්ඩ විය. රජුගේ අනසක යටතේ එනම් රාජ්‍ය අනුග්‍රහය හා අධීක්ශනය යටතේ සිදුකෙරුනු ජත්‍යන්තර වෙලදාම රටට විදේශ විනිමය ගෙනා ආ අතර  ප්‍රධාන වශයෙන්  එම ආදායම වැවු අමුනු හා ගොඩනැගිලි නිර්මානයට යෙදවිනි. දේශීයව එකතු කල බදු හරහා සීමිත  සුහ සාදන සේවවන් ද නඩත්තු කෙරිනි.  රට තුල නගර හා ගම් වශයෙන් බෙදුනු කලාප පැවති අතර නගර හා ගම් අතර වෙලදාම සිදු විනි. ගම්මාන කිසිවිටක සර්ව ස්වයංපෝශිත වූයේ නැත.

කමලිකා පීරිස් හා සුදර්ශන් සෙනෙවිරත්න ලියන පරිදි ප්‍රාග් ඓතිහාසික යුගයේ සිටමත්, විශේෂයෙන් ක්‍රි.පු.900 සිට ක්‍රි.පූ.400 දක්වා කාලයේදීත් ලංකාවේ කදුරට මැනික් හා පාශාන, ලබා ගැනීම සඳහා උතුරු ඉන්දියාවෙන් වෙලදුන් ලංකාවට පැමින ඇත. ලංකාවේ මුලු භූමියම තනි රටක් ලෙස පාලනය වීමට පටන් ගත් අවස්ථාව වීමටත් ප්‍රථම මෙම වෙලඳ ගනු දෙනු සිදුවී තිබේ. වානිජ යන වචනය ලංකාවේ විවිධ ප්‍රදේශවලින් හමු වූ ශිලා ලිපිවල සොයා ගෙන ඇත. මේ සමහරක් ක්‍රි.පූ.1 හා 2 ශතවර්ෂ වලට අයත්‍ වේ. ක්‍රි.පූ.2 ශත වර්ශයේදී රටේ දකුනේ ගොඩවාය යන නාවික තොටුපොලින් භාන්ඩ ඇෆ්ගනිස්තානයට යැවුනි. 

අනුරාධපුර යුගයේදී රටේ සෑම කලාපයකම වානිජ ගනු දෙනු සිදු විනි. කොලඹ, බලපිටිය, දෙබරවැව හා මාතර ඇතුලු කලාප කිහිපයකින්ම් රෝම කාසි එක් ස්ථානයකින් දහසකට වැඩ් ප්‍රමානයක් බැගින් හමුවී තිබේ. එනම් රටේ විවිධ ස්ථානවල විදේශ සංචිත තිබී ඇත. 

මින් ඇඟවුම් කෙරෙන දේ බොහෝය. ඉන් ප්‍රදානම වන්නේ නාවික ගමනා ගමනය සම්බන්ද එකල ලංකාවේ මිනුසුන්ටද අනෙක්  වෙලද රටවල් වලට මෙන්ම පහසුකම් හා අදාල නාවික තාක්ෂණය  තිබුනු බවයි. උතුරු ඉනදියාව යනු නිරන්තර මධ්‍යදරනී ගොඩබිම් කලාපය හා යුරොපය සමග සබදතා පැවත්වූ ශිෂ්ටාචාරය කි. එ අනුව පැහදිලිවම උතුරු ඉන්දියානු දැනුම ලංකාවට සංක්‍රමනය වීමට අවශ්‍ය තරම් ඉඩ ප්‍රස්ථා විවරව පැවතුනු බවට නිගමනය කල හැක. 

ක්‍රි.ව.976 සිට 1265 කාලයට අයත් සෑම චීන අධිරාජ්‍යයෙකුගේම කාසි අනුරාධපුරය , පොලොන්නරුව , දැඩිගම, යාපහුව, කුරුනෑගල ආදී  ස්ථාන වලින් හමු වී තිබේ. 3 හා 4 වන ශතවර්ෂ වලට අයත් කලා ඔය, වලවේ ගඟ, දැදුරු ඔය හා කැලණි ගඟ ආශ්‍රිත වෙලඳ නගර තිබුනු බවට සාක්ෂි හමුවී තිබේ. 

ක්‍රි.පූ.4 වන සියවස සිට ක්‍රි.ව. 4 වන සියවස දක්වා නැගෙනහිර -බටහිර වෙලඳාමේ කේන්ද්‍රස්ථානය වූයේ ඉන්දියාවයි. ඉන්දියානු වරාය වලදී ලාංකික වෙලදුන් ග්‍රීක හා රෝම වෙලඳුන්ට තම භාන්ඩ විකුනා දැම්මෝය. 5 වන ශතවර්ෂයේදී ලංකාව නැගෙනහිර-බටහිර වෙලඳ මාර්ග වල සන්ධිස්ථානයක් බවට පත් විනි. ලංකා වරාය වලදී පර්සියා, චීන, ඉතියෝපියානු, ඉන්දියානු වෙලදුන් බඩු හුවමාරු කර ගන්නා ලදී.

මතු සම්බන්දයි...