Thursday, July 22, 2021

අහ්නාෆ් ජසීම් නිදහස් කරගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ සංවිධානය කරමු!

අහ්නාෆ් ජසීම් නිදහස් කරගැනීමේ හා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ ක්‍රියාමාර්ගය කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය යටතේ සංවිධානය කරමු!

හත පලවන්නේ අහනාෆ් ජසීම් කවියා නිදහස් කරගැනීම සදහා කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව (ACDAE) ලෝක සමාජවාදී වෙබ් අඩවිය(ලෝසවෙඅ) සමඟ ගෙන යන අරගලයේ කොටසක් ලෙස පසුගිය ජුලි 18 දින Zoom හරහා පවත්වන ලද ඔන්ලයින් රැස්වීමේ දී ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් එහි සභාපති ද, සමාජවාදී සමානතා පක්ෂයේ නායකයෙක් ද, ලෝසවෙඅ ලේඛකයෙක් ද වන සංජය ජයසේකර විසින් පවත්වන ලද ආරම්භක කථාවයි: 

අහ්නාෆ් ජසීම් කවියා වහා නිදහස් කරනු! 


සහෝදරවරුනි, සහෝදරියනි.

 

කවිවර අහනාෆ් ජසීම් නිදහස් කර ගැනීම් සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආරක්ෂා කර ගැනීමේ වැඩපිලිවෙල සාකඡ්චා කිරීම සඳහා  කලාවේ හා  ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය සංවිධානය කල මෙම රැස්වීමට  සහභාගීවන සියලුම සහෝදර සහෝදරියන් මම මේ මොහොතේ සහෝදරාත්මකව පිලිගන්නවා.  ඒ වගේම මෙම රැස්වීමට අපගේ ආරාධනාව මත විශේෂයෙන් සම්බන්ධවන එක්සත් රාජධානියේ සමාජවාදී සමානතා පක්ෂයේ සහකාර ලේකම් හා, ඇමරිකානු ජනාධිපතිවරුන් තුන්දෙනෙකුම යටතේ තවමත් අධිරාජ්‍යවාදී දඩයමට ලක්ව සිටින විකිලීක්ස් නිර්මාතෘ ජුලියන් අසාන්ජ් ආරක්ෂා කිරීම සඳහා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගෙනයන අනවරත අරගලයේ ප්‍රධාන ලේඛකයෙක් හා නියමුවෙක් වන  තෝමස් සක්‍රිප්ස් සහෝදරයා ද  මම අප ක්‍රියාකාරී කමිටුව වෙනුවෙන් සහෝදරාත්මකව පිලිගන්නවා. 





රැස්වීම ආරම්භයේ සිහිපත් කෙරුනු ආකාරයටම, අහ්නාෆ් ජසීම් තරුන කවියා ගොඨාභය රාජපක්ෂ ආන්ඩුව විසින්  ප්‍රජාන්ත්‍ර විරෝධි ලෙස අත්අඩංගුවට ගෙන ඔහුගේ නිදහස අහිමි කර දැනට වසරකුත් මාස දෙකක් ඉක්මව ගොස් තිබෙනවා. 2017 දී ඔහු ලියා පලකල "නවරසම්" කාව්‍ය ග්‍රන්තයේ මුස්ලිම්  අන්තවාදී අදහස් අන්තර්ගත යැයි ද, දෙමල භාෂා හා සාහිත්‍ය ගුරුවරයෙක් වශයෙන් කටයුතු කල 2019 ජුලි මසින් පසු කාලයේදී තම ශිෂ්‍යයන්ට අන්තවාදී මත උගන්වීයැයි ද ඔහුට එරෙහිව බොරු චෝදනා එල්ල කර තිබෙනවා. කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකරමින්ම, පොලීසිය අලුත්ම චෝදනාවක් නගමින් කියා ඇත්තේ කවියා "තව්හීඩ් ජමාත්" යන මුස්ලම් අන්තවාදී සංවිධානයකට සම්බන්ධ බව යි.  අතිශය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආකාරයෙන් විෂකුරු ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහුව රදවා තැබුනු අතරම, ගිය මුලදී  හොර රහසේම ඔහුව අධිකරනයට ඉදරිපත් කර රිමාන්ඩ්  බන්ධනාගාර ගත කර තිබෙනවා. 


කවියාට එරෙහිව ඇති සාක්ෂි පිලිබඳ වාර්ථාවක් නිකුත් කරන ලෙස ත්‍රස්ත මර්ධන හා විමර්ෂන ඒකකය (ටීඅයිඩී)ට නියෝග කරන්න යැයි කවියා වෙනුවෙන් කරන ලද ඉල්ලීම අධිකරනය පසුගියදා ප්‍රතක්ෂේප කිරීමත් සමඟ තමන්ට එරෙහිව ඇති සාක්ෂි කුමක්ද යන්න දැනගැනීමේ  අයිතියත් ඔහුට අහිමි කරල තිබෙනවා. තමන්ට එරෙහි සාක්ෂි මොනවාද යන්න දැනගැනීම ඔනෑම සැකකරුවෙකුට තියෙන ප්‍රධාන අයිතියක්. කවියාට එරෙහිව තවමත් කිසිදු සාක්ෂියක් පොලීසිය ඉදිරිපත් කර නැහැ. මාස 14 කට පසුත් ඔහුට එරෙහිව කිසිදු අධිකරනයක අධිචෝදනා  ගොනුකර ඇත්තේත් නැහැ. 


කවියා වෙනුවෙන් අධිකරනයේ කරුනු ඉදිරිපත් කිරීම අහුරා ලමින් පොලීසිය කවියා අධිකරනයට ඉදිරිපත් කිරීමට ගන්නා ලද රහසිගත ක්‍රියාපටිපාටිය අනුමත කරමින් මහේස්ත්‍රාත් අධිකරනය පසුගියදා ප්‍රකාශ කලේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ රැඳවියෙකු අධිකරනයට ඉදිරිපත් කිරීමේ දී ඔහුගේ ඥාතීන්ට හෝ නීතීඥවරුන්ට දැනුම් දීම සඳහා නෛතික ප්‍රතිපාදනයක් නැති බව යි.   කොවිඩ්-19 වසංගතය මත පනවා ඇති සෞඛ්‍ය තහංචි මත බන්ධනාගාරයට ගොස් කවියා හමුවීම පවුලේ අයට පමනක් නොවෙයි ඔහුගේ නීතීඥවරුන්ටත් අහිමි කරල තියෙනවා. ඒ අර්ථයෙන් මාස කිහිපයක් තිස්සේ කවියා දුටු අයෙක් අප අතර නැහැ. 


කවියා අනීතික ලෙස රඳවා තැබුනු කාලය තුල පොලීසියේ චෝදනා පිලිගැනීමේ ප්‍රකාශයක් ඔහුගෙන්  බලහත්කාරයෙන් ලබාගැනීම සඳහා පොලීසිය ඔහුට අමානුෂිකව සලකනු ලැබූ බවත් දීර්ඝ මානසික පීඩනයකට ලක්කල බවත් ඔබ කවුරුත් දන්නා කාරනයක්. 2019 අප්‍රේල් මසදී ISIS සංවිධානය පිටුබලය සහිතව ලංකාවේ ත්‍රස්ත කන්ඩායමක් එල්ල කල   ⁣පාස්කු ප්‍රහාරය ගසාකමින්, පැවති සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුවත්, රාජපක්ෂ ආන්ඩුවත් අත්අඩංගුවට ගනු ලැබ රදවා තබා ඇති  අහ්නාෆ් ඇතුලු සියගනනක් සම්බන්ධව බොරු සාක්ෂි ගෙතීම සඳහා පොලීසිය මෙලෙස ක්‍රියාත්මක වෙමින් තිබෙනවා. මේ ආකාරයෙන්ම, අන්තවාදී දේශන පැවැත්වීම හරහා මුස්ලිම් අනතවාදයට ආධාර අනුබල දීම යන බොරු චෝදනා පටවම්න්  බලහත්කාරයෙන් ලබාගත් ප්‍රකාශ හරහා  පොලීසිය මානව හිමිකම් නීතීඥවරයෙක් වන හෙජාස් හිස්බුල්ලා අත් අඩංගවට ගෙන රඳවා තැබුනා. 


ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වගේම ඒ ය⁣ටතේ පනවා ඇති ප්‍රජාත්ත්‍ර විරොධී රෙගුලාසි, මහජන ආරක්ෂක පනත හා හදිසි අවස්ථා රෙගුලාසි, දන්ඩ නීති සංග්‍රහය, සිවිල් හා දේශපාලන අයිතිවාදිකම් පිලිබඳ ප්‍රඥප්ති පනත, පරිඝනක අපරාධ පනත, අත්‍යවශ්‍ය සේවා පනත  වැනි මර්දක පනත් ගනනාවක් මේ ආකාරයෙන් තම දේශපාලන විරුද්ධවාදීන්, සමාජමාධ්‍ය ලිපිකරුවන්, ක්‍රියාකාරිකයින්, ලේඛකයින්, මාධ්‍යවේදීන් හා උද්ඝෝෂකයින් දඩුගැසීම සඳහා රාජපක්ෂ ආන්ඩුව දිගින්දිගටම යොදා ගනිමින් පවතිනවා. 26 අවුරුදු වර්ගවාදී යුද්ධය කාලය තුලත් එහි අවසාන අධියරේදීත් මෙම අන පනත් දරුනු ආකාරයෙන් රටේ උතුරේ  දෙමල තරුන තරුනයන්ට එරෙහිව වගේම දකුනේ සමාජ ක්‍රියාකාරිකයන්ටත්, කම්කරුවන්ට හා ශිෂ්‍ය⁣යන්ටත් එරෙහිව යොදා ගැනුනු බව අපි දන්නවා.  


සමාජවාදී සමානතා පක්ෂයේ මඟපෙන්වීම යටතේ දියත් කල අහනාෆ් ජසීමි නිදහස් කරගැනීමේ අරගලයේදී අප ක්‍රියාකාරී කමිටුව පෙබරවාරි 16 නිකුත් කල ප්‍රකා⁣ශයෙන් අපි මෙසේ පැහැදිලි කලා:


"අන්තනෝමතික හා නීතිවිරෝධී ලෙස අහ්නාෆ් අත්අඩංගුවට ගැනීම වූ කලී කවියාගේ ප්‍රකාශනයේ හා කලාවේ නිදහස දරුනු ලෙස උල්ලංඝනය කිරීමක් වන අතර, එය රටේ මහජනයාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් මත එල්ල කෙරුනු සැලකිය යුතු ප්‍රහාරවලින් නවතම එකක් වෙයි. මෙම කවියා වූ කලී, මුස්ලිම් ජන සමාජය බිය ගැන්වීමේ හා කම්කරු පන්තිය වාර්ගික රේඛා අනුව බෙදීමේ අරමුනින් සැලසුම් කෙරුනු රාජ්‍ය අනුග්‍රහයෙන් යුත් මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය යටතේ, මෙලෙස අත්අඩංගුවට ගත් හා රඳවා තැබීමට ලක් වූ සිය ගනනක් අතරින් එක් අයෙකු වෙයි."


වාර්ගික බේදබින්න කිරීම් වැපිරීම හරහා එක්සත් කම්කරු පන්තික අරගල පීලි පැන්නවීම, අඩපන කිරීම සඳහා සිංහල බෞද්ධ වර්ගවාදී නඩවල හා ධනපති මාධ්‍ය වලද සහාය ඇතිව,  ඊනියා නිදහසින් පසු ලංකාවේ සිංහල ස්වොත්තමවාදී ආන්ඩු දෙමල හා මුස්ලම් මහජනතාවට එරෙහිව දිගින් දිගටම ගෙන ගිය විෂකුරු දේශපාලන වැඩපිලිවෙල පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් මහජනතාවට එරෙහිව යොදා ගැනු ලැබුනා. දැවැන්ත විදෙස් නය කන්දරාවක් ගෙවමින් හා අය වැය පරතරය අඩුකිරීමේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිර්දේශයන් ක්‍රියාවට දමමින්, සමාජ කප්පාදු පිලිවෙත් ක්‍රියාවට දමමින් සිටි  සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුව එය ගිලී තිබූ  ආර්ථික හා දේශපාලන අර්බුදය මධ්‍යයේ එම  පාලනයට එරෙහිව නැගී එමින් පැවති කම්කරු අරගල මාලාවක් යටපත් කිරීම සඳහා "ජාතික ආරක්ෂා⁣වෙ" කඩතුරාව  යටතේ පාස්කු ප්‍රහරය යහමින් ගසා කෑමට  කටයුතු කලා. සමස්ථ මුස්ලිම් මහජනයාට හා සංස්කෘතියට එරෙහි මෙම ප්‍රහාරය නව වටයකින් ඉදිරියට ගෙනාවේ මෙන්න මේ සංධර්භය යටතේයි.


අහනාෆ් මෙන්ම හිස්බුල්ලාද, සියගනනක් එවැනි සිරකරුවන් ද ධනපති ප්‍රහාරය හා පන්ති පාලනය පිලිබඳ එම පුලුල් අර්ථයෙන් දේශපාලන සිරකරුවන්.   


මුස්ලිම් මහජනතාවට එරෙහි මෙම වාර්ගික ප්‍රහාරයන් දිගේලි කරන අතරම, දෙමල ජනතාවට එරෙහි උතුරේ ලේවැකි වාර්ගික යුද්ධයෙන් වසර දොලහකට පසුත් එල්ටීටීය නැවත උත්ඨානය වේයැයි යන බේගලය ඇදබාමින් ජාතික ආරක්ෂාවේ ව්‍යාජ කඩතුරාව හරහා දෙමල ජනතාවට එරෙහි වාර්ගික අඩංතේට්ටම් කිරීම් තවදුරටත් තීව්‍ර කර තිබෙනවා. යුද්ධයෙන් මියගිය හා අතුරුදහන් කෙරුනු සටන්කාමීන් මෙන්ම තම ඥාතීන් සිහිපත් කිරීමේ උත්සව අවස්ථාවන් අධිකරන නියෝග හරහා තහනම් කරමින් ඒවා සංවිධානය කල පිරිස් බුරුතු පිටින් අත්අඩංගුවට ගනු ලැබුනා. ආන්ඩුව, වාලච්චේන පොලීසිය හරහා, මඩකලපුවේ දමිල මාධ්‍යවේදී කෝකිලින් දාසන් අත්අඩංගුවට ගෙන මාස හතකට වඩා මේ වන විට අත්අඩංගුවේ රඳවා  තබාගෙන සිටින්නේ, ත්‍රස්තවාදය වැලැකවීමේ පනත යටතේම එන දරඳඩු රෙගුලාසි හරහායි. ඔහුට එරෙහි චෝදනා වන්නේ තමාගේ ෆේස්බුක් ගිනුමේ පලකල ජායාරූප හා සටහන් හරහා එල්ටීටීය ප්‍රවර්ධනය කිරීමයි. මේ චෝදනා සියල්ල අමූලික මුසාවන් ය. කෝකිලන් පලකර තිබුනේ දෙමල වැසියන් තම මියගිය ඥාතීන් අනුස්මරනය කිරීමේ ජායාරූප හා අනවරත වාර්ගික පීඩනය තුල පොදුවේ දෙමල මහජනයා තුල කැකෑරෙන අදහස්.  


රාජපක්ෂ මුහුනදී ඇත්තේ විදෙස් සංචිත සිඳ යාමෙන්, අපනයන අඩපන වීමෙන්, ආනයන සීමා කිරීමෙන් හා සංචාරක කර්මාන්තය බිඳවැටීමෙන් ආදී, වසංගතය මගින් නිර්මානය කෙරුනු නව තත්වයන් යටතේ උග්‍ර කෙරී ඇති, දරුනු ආර්ථික අර්බුදයක කොන්දේසි වලට යි. අයවැය පරතරය දල ජාතික නිෂ්පාදනයෙන් 11%-14%දක්වා පහතට වැටී ඇති බවට වාර්ථා වෙනවා. බලූම්බර්ග් වාර්ථාවක් පසුගියදා නිවෙිදනය කලේ  විදෙස් නය ගෙවීමට නොහැකිවීමේ බංකොලොත්කමට ඇද වැටීමේ අවදානමේ ඉහලින්ම සිටින ආසියානු-පැසිෆික් කලාපයේ රට  ශ්‍රී ලංකාව වන බව යි. මේ තත්ත්වය තුල ජනතාව මත මුදාහැරෙන දරුනු පටි තද කරගැනීමේ  පිලිවෙත්  ඉන්දන සපයා ඇත්තේ වඩ වඩාත් ගිනියම් වෙමින් ඇවිලී යන පන්ති අරගල මාලාවකට යි.  


මෙම තීව්‍ර වන කම්කරු ගොවි අරගල තලා දැමීම සඳහා ආරම්භයේ පටන්ම මිලටරිය මත පදනම් වූ ජනාධිපති ආඥාදායකත්වයක් රාජපක්ෂ නිර්මානය කරමින් සිටියා.  මිලිටරිය උත්කර්ශයට නංවමින් හා ජාතික ආරක්ෂාව යන්න යොදා ගනිමින් රජයේ ඉහලම පුටුවලට විශ්‍රාමික හෝ නිලලත් මිලිටරි නායකයන් පත්කර ගනිමින් තමන්ට හිත පක්ෂපාත නඩයක් අතට බලය කේන්ද්‍රකරගැනීමට ඔහු කටයුතු කලා. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවමත් වෙනස් කරගනිමින් පුලුල් බලතල තමන් වෙත කේන්ද්‍ර   කර ගත්තා. එක් අතකින් මහා ව්‍යාපාරවල් ආරක්ෂා කිරීම සඳහා වසංගතය මධ්‍යයේමත් මුදල් පොම්ප  කරමින් ධනපති ආර්ථිකය විවෘතව තබා ගැනීම සඳහා කටයුතු කරන අතර, එන්නත් කිරිමේ වහංතරාව යටතේ වසංගතයේ අන්තරාය හා මරන මධ්‍යයේම කම්කරුවන් නැවත වැඩට දක්කමින් තිබෙනවා. පාසැල් විවෘත කිරිම සඳහා දැන් ආන්ඩුව කඩිනමින් සූදානම් වෙමින් සිටින්නේ ඒ සඳහායි.


ශ්‍රම සූරාකෑමේ කොන්දේසි පුලුල් කරන අතරම වරාය හා අධ්‍යාපනය වැනි මහජන සම්පත් පුද්ගලීකරනය කිරීම සදහා ආන්ඩුව ක්‍රියා කරමින් සිටින්නේ දැවැන්ත කම්කරු පන්තක හා ශිෂ්‍ය අරගල මලාවක් මධ්‍යයේ ය.  රැකියා හා වැටුප් කප්පාදු ඇතුලු රුදුරු ප්‍රහාරයන්ට එරෙහිව  සෞඛ්‍ය, අධ්‍යාපන, දුම්රිය, විදුලිබල හා ජල සම්පාදන කම්කරුවන්ගේ හා ගුරුවරුන්ගේ මෙන්ම වතු හා පෞද්ගලික අංශයේ කම්කරුවන්ගේ වැඩ වර්ජන හා විරෝධතා රැල්ලක් නව මට්ටමකින් මතුවෙමින් තිබෙනවා. ගොවීන්ගේ හා ශිෂ්‍යයන්ගේ විරෝධතා ද නිතිපතා වැඩෙමින් තිබෙනවා.


මේ කම්කරු අරගල මැඩ යටපත් කරීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී මර්දනය දිගේලි කිරීමට අවශ්‍ය උසස්ම තාක්ෂනයෙන් පුහුනුකල සන්නද්ධ  හමුදාවන් සූදානම් කිරීම සදහා කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත ආන්ඩුව ඉදිරියට ගෙනවිත් තිබෙනවා. නිදහස් අධ්‍යාපනයට වැය කපාහරින ගමන් මෙම ආයතන හරහා අධ්‍යපනය මුදලට විකිනීමට ද ආන්ඩුව පියවර ගනිමින්  සිටිනවා.


වසංගතය මගින් උත්සන්න කෙරුනු අර්බුද මධ්‍යයේ මේ මහජන විරෝධී නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති වඩාත් කෲර ආකාරයෙන් ක්‍රියාත්මක කිරීම එයට විරුද්ධව පැන නගින කම්කරු පන්තික අරගල හා එයට ප්‍රකාශනය හා තොරතුරු හා දැනුම සම්පාදනය කරන විකල්ප මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඇතුලු ප්‍රකාශන මාධ්‍යයන් අවහිර කිරීම හා සාපරාධනීකරනය කිරීමකින් තොරව සිදු කල නොහැකි බව ලොව අන් හැම රටකම ධනපති ආන්ඩු වගේම රාජපක්ෂ  ආන්ඩුවත් හොදින් දන්නවා. පසුගිය මාස කිහිපය තුලදීම සමාජ මාධ්‍ය තුලින් ආන්ඩුව විවේචනය කල තරුනයන්, පරිසරවේදීන්, වෛද්‍යවරුන් හා සෞඛ්‍ය සේවකයන් ඇතුලු ක්‍රියාකාරිකයන්  පොලිස් අත්අඩංගුවට ගෙන වසංගත පාලන නීති යටතේ නඩු පවරනු ලැබුවා. වසංගතය පාලනය සඳහා ආන්ඩුව දක්වන මාරාන්තික නොසැලකිල්ල පිලිබදව  සෞඛ්‍ය සේවයේ කම්කරුවන් සිදුකරන විවේචනය කිරීම් හා තෙරතුරු බෙදා ගැනීම් වාරනය කිරීම සඳහා, රජයේ සේවකයන්ට දාල වන ආයතන සංග්‍රහයේ වගන්ති යොදාගැනීමට තර්ජනය කර තිබෙනවා. ජුනි මස මුලදී පොලීසිය නිවේදනය කලේ "අසත්‍ය තොරතුරු" සමාජ මාධ්‍ය තුල පලකරන්නන් මර්දක පනත් ගනනාවක් යටතේ අධිකරන නියෝගයකින් තොරවම අත්අඩංගුවට ගන්නා බව යි.  වරාය කම්කරුවන්ට හා විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ට එරෙහිවත් එවැනි තහනම් පනවා තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා සමාජ මාධ්‍ය හා අන්තර්ජාලය පීරා ආන්ඩු විරෝධී විකල්ප මත පලකරන්නන් අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් හා මිලිටරි ඒකක පිහිටුවා තිබෙනවා. ගම්මාන මට්ටමෙන් මහජනතාවට එරෙහිව ඔත්තු බැලීම සඳහා ආරක්ෂක රාජ්‍ය ඇමති සරත් වීරසේකර ආරක්ෂක කමිටු පිහිටුවා තිබෙනවා.


2008 ආර්ථික අර්බුදය යටතේ නට්ටං වුනු ඒක්සත් ජලපද⁣ය ප්‍රමුඛ ලෝකයේ ප්‍රධාන ධනපති ආර්ථිකයන්ගේ සිට අර්ථික සංවර්ධනයේ පසුගාමී රටවල් දක්වා හැම රටක්ම, එයින් වසර ⁣12 කට පසු, වලක්වාගත හැකිව තිබූ වසංගතයේ ඛේදවාචකයෙන් පෙර නෙවූ විරූ ලෙස උග්‍ර කෙරුනු ආර්ථික හා දේශපාල අර්බුදවල කරවටක් ගිලී ගොස් තිබෙනවා. සමාජමාධ්‍ය වාරනය ඇතුලු ප්‍රජාතන්තවාදී අයිතීන් මැඩීම, පොලිස්-මිලිටරි රාජ්‍යයන් හා ආඥාදායකත්වයන් කරා ගමන් කිරීම, වාර්ගික බේදකිරීම් ඇවිලවීම හා අධිරාජ්‍යවාදී මැදිහත් වීම් සහ යුද්ධය යන මේවා ධනපති ආර්ථිකයේ හැම මහාද්වීපයකටම පොදු ජාත්‍යන්තර ප්‍රපංචයන් බවට පත්ව තිබෙනවා. හැම රටකම පාහේ කම්කරු පන්තිය දස දහස් ගනනින් දෛනික ව අරගල මාලාවන්ට පිවිසෙමින් තිබෙන්නේ ලංකාවේ කම්කරු පන්තිය අත්විඳන මෙම ජීවන කොන්දේසි වලම අඩු වැඩි තත්වයන්ට විරුද්ධව.


අහ්නාෆ්, හිස්බුල්ලා, කෝකිලන් වැනි, මෙසේ ධනපති පාලක පන්තියේ දේශපාලන අවශ්‍යතා මත, පොලීසිය, මිලිටරිය, අධිකරනය, බන්ධනාගාර ආදියෙන් සමන්විත සමස්ථ මර්දන යාන්ත්‍රනය ක්‍රියාවට දමමින්, ආන්ඩුව සිරගත කර තිබෙන සියගනනින් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමටත්,  මෙම ප්‍රජාතන්ත්‍ර විරෝධී ප්‍රහාරයන්ට විරුද්ධව ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂා කරගැනීමටත් අවශ්‍ය සත්‍ය වැඩපිලිවෙල කුමක්ද යන්න සොයා බැලීම හා එම වැඩපිලිවෙල සමඟ බද්ධ වීම එම අයිතීන් අගයන හැම කෙනෙකුගේම වගකීමක් වෙනවා. 


එහිදී ඒ හැම දෙනාටම අභිමුඛ වන ප්‍රධානම අභියෝගය බවට පත්වන්නේ තමන් හැරි ගත යුතු දේශපාලන දිශානතිය කවරක් ද යන්න යි. ප්‍රජාතන්ත්‍ර අයිතීන් රැකීම සඳහා යැයි කියමින් මහජනතාවට බොරු වලවල් කපමින් සිටින, විශේෂයෙන් ඊනියා වාම සංවිධානවල දේශපාලන යථාර්ථය තේරුම් කර ගැනීම මෙම දේශපාලන හැරීගැනිමේ පලමු හා වැදගත්ම පියවර යි.  


ප්‍රජාතන්ත්‍ර අයිතීන් සදහා වන මෙම අරගලයේ එකිනෙකට හරියටම ප්‍රතිවිරුද්ධ දශානති දෙකක් හදුනාගත හැකියි. එහි පලමු වැන්න, "දූෂිත" ආන්ඩු පත්කර ගැනීම සම්බන්ධව මහජනතාවට දොස් තබමින්ද, සිංහල වර්ගවාදය තුල කිදාබැස ඇතැයි  මහජනතාවට දෙස් දෙමින් ද, කම්කරු පන්තිය දෙසට හැරීම වෙනුවට පීඩක ධනපති පාලක ආන්ඩුවලට හුදු විරෝධතා පෑම හරහා බලපෑම් දැමීමෙන් හා ඇවිටිලි කිරීමෙන් මෙම මහා පන්ති යුද්ධය නැවතිය හැකියැයි ද, පාලක   ආන්ඩුවල සීග්‍ර දකුනට රූටා යාම නැවතිය හැකියැයිද  ⁣පෙන්වා කම්කරු පන්ති අරගල පීලි පැන්නවීමේ හා ධනපති ක්‍රමයට අත්‍යවශ්‍ය මුක්කුව සැපයීමේ ප්‍රතිගාමී ව්‍යාජ වාම වැඩපිලිවෙල යි. පෙරටුගාමී සමාජවාදී පක්ෂය ප්‍රමුඛ මාධ්‍ය සංවිධාන හා ලේඛක සංවිධාන රොත්තක්ම මේ ගොඩට අයත් ය. 


ධනපති සංස්ථාපිතයේ පක්ෂයක් බවට පරිවර්ථනය වී ඇති ජනතා විමුක්ති පෙරමුනේ (ජවිපෙ) දේශපාලනයෙන් ඓන්ද්‍රීයව වෙන්වී නැති  පෙසප, ජවිපෙ සමග ලැග සිටි කාලයේ එහි  පුබුදු ජයගොඩ ප්‍රමුඛ නායකයෝ පැවති මහින්ද රාජපක්ෂ ආන්ඩුවේ දමිල ජනතාවට එරෙහිව වර්ගවාදී යුද්ධයට සියලු ආකාරයෙන් දරදිය අදිමින්, එහි වර්ගවාදී උද්ඝෝෂනයට ඉන්දන සැපයුවා. වර්තමානයේදීද සිංහල වර්ගවාදී නඩ සමඟ ඔවුන් එක පෙලට සිට ගන්නවා. කම්කරුවන්ගේ ප්‍රකාශනයේ නිදහස ඇතුලු ප්‍රජාතන්ත්‍රීය අයිතීන් කප්පාදුව පිලිබඳ මේ සංවිධාන ආන්ඩුවට නිහඬ අනුමැතිය දෙමින් සිටිනවා.


අහනාෆ් හා හිස්බුල්ලා නිදහස් කරන ලෙසත් ප්‍රජාතන්ත්‍රීය අයිතීන් උල්ලංගනය නොකරන ලෙසත් හිස් ආයාචනා කිරීම සඳහා පසුගියදා විශ්ව විද්‍යාල ආචාර්යවරු සියයකට ආසන්න ප්‍රමානයක් ආන්ඩුවට විවෘත ලිපියැක් යැව්වා.  


මෙම ව්‍යාජ ව්‍යාපාරයන්ට විරුද්ධව, අප ක්‍රියාකාරී කමිටුවත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියත්, ජාත්‍යන්තර කමිටුවත් දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීම වගේම ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාව සඳහා ඉදිරිපත් කරන්නේ, දේශීයවත්, ලොව පුරාත් කම්කරු පන්තියේ අරගලයන්  ඒකාබද්ධ කර සංවිධානය කරන පුලුල් දේශපාලන සටනක්.  ධනපති ප්‍රහාරයේ මූලය වන ධනපති පන්ති පාලන ක්‍රමයම හා එය රඳා සිටින ආර්ථික ක්‍රමයමත් මුලිනුපුටා දමා කම්කරු පන්තිය වෙත දේශපාලන බලය උදුරාගෙන පිහිටුවනු ලබන ජාත්‍යන්තර සමාජවාදී ක්‍රමයක් පිලිබඳ ඉදිරි දර්ශනය යටතේ එම සටන්  සන්නද්ධ කල යුතුව පවතිනවා.   කලාකරුවන්ට,  මාධ්‍යවේදීන්ට, ලේඛකයන්ට හෝ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ට හෝ  බුද්ධිමතුන්ට,  කලාව, ප්‍රකාශනයේ නිදහස හෝ ප්‍රජාතන්ත්‍ර අයිතීන් ආරක්ෂාව සඳහා, කම්කරු පන්තිය, තම ජීවන කොන්දේසි කපා දමන ධනපති සමාජ ප්‍රතිවිප්ලවයට, අසමානතාවයට, අධිරාජ්‍යවාදී යුද්ධයට, මිලිටරීකරනයට, පුද්ගලීකරනයට හා ආඥාදායකත්වයට එරෙහිව, ක්‍රියාවට දමනු ලබන සමාජවාදී ජාත්‍යන්තරවාදී සටන සමඟ බද්ධවිම හැර වෙනත් දිශානතියක්, මාවතක් නැත.


අහ්නාෆ්ගේ නිදහස සදහා වන දේශපාලන තීන්දුව ධනපති පාලකයන්ගේ බෝඩ් රූම් තුල ගනු ලැබෙනු ඇත්තේ මහජනතාව විසින් පාලකයන් මත මුදාහරින එවන් දැවැන්ත පීඩනයක් තුල පමනකි. 


මෙම වැඩපිලිවෙලට දේශපාලන නායකත්වය, ඉදිරි දර්ශනය,  හා ප්‍රකාශනය ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂ සම්පාදනය කරනවා. 

මෙම අරගලය සඳහා, ඇමරිකානු අධරාජ්‍යවාදී ආක්‍රමනික හමුදාවල යුධ අපරාද හෙලිදඑරව් කිරීම නිසා වසර 175 ක සිර දඩුවමක අන්තරායට මුහුන දී සිටින ජුලියන් අසානජ් ආරක්ෂා කිරීම සඳහා ලොවපුරා සමාජවාදී සමානතා පක්ෂ කැඳවනු ලැබූ ගෝලීය ආරක්ෂන කමිටුව ඇතුලු දේශපාලන වැඩසටහන දැවැන්ත තාත්ත්වික ආදර්ශක් සපයයි. අද ඔබ අමතන  සක්‍රිප්ස් සහෝදරයා මේ ලිපිබඳ සඳහන් කරනු ඇති. 


කෙසේ නමුත්, ධනපති ක්‍රමයට හා අධිරාජ්‍යවාදී පද්ධතියට ඓන්ද්‍රියව බද්ධව සිටින කම්කරු පන්තියේ සාම්ප්‍රදායික සංවි්ධාන වන වෘත්තිය සමිති හෝ ව්‍යාජ වාම සංවිධානවලට මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය හෝ සමාජ අයිතීන්  කිසිවක් දිනා දීමේ හැකියාවක් නැහැ. නිශ්පාදනයේ භූගෝලියකරනය තුල ජාතිකවාදී ප්‍රතිසංස්කරනවාදය මත පදනම්වන මෙම වාම කොටස්වල මෙම නොහැකියාව වෛශයික සත්‍යයක්.  කම්කරු පන්තිය මත පදනම්වූ හා එයින් සැදුම් ලත්, තමන් වනුවෙන් තමන් විසින්ම ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීරන ගනු ලැබෙන ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු ගොඩනැගීමේ දැවෙන අවශ්‍යතාවය මතුව ඇත්තේ එබැවිනි. 


ජාත්‍යන්තර කමිටුව ඉදිරියට ගෙන ඇති, කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක කොටසක් වශයෙන් ක්‍රියාත්මක වෙමින් සිටින, අප කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව සටන් කරමින් සිටින්නේ එම දේශපාලන වැඩපිලිවෙල හා ඉදිරි දර්ශනය මතයි. ලංකාවේ  අධ්‍යපන, සෞඛ්‍ය හා වතු කම්කරු ක්ශේෂ්ත්‍රවල  ක්‍රියාකාරී කමිටු සමග අපගේ එම අරගලය අපි ඒකාග්‍ර කර තිබෙනවා. මේ රැස්වීමමත් එම අරගලයේ ප්‍රධාන ඉදිරි පිම්මක්. එම කමිටු නියෝජිතයින් අද මෙම රැස්වීමේ දී ඔබ ඇමතනු ඇති.

මෙම විප්ලවවාදී සැබෑ මහජන වැඩපිලිවෙල සමග අත්වැල් බැදගන්නා ලෙස මම ඔබට ඇරයුම් කරනවා.


ස්තූතියි!


ආශ්‍රිත ලිපි:








  • For a worldwide campaign to prevent Julian Assange’s rendition to the US!

For the formation of a Global Defense Committee to secure his freedom! https://www.wsws.org/en/articles/2019/06/20/pers-j20.html


Wednesday, July 7, 2021

"අසත්‍ය තොරතුරු" වාරන නීති

 "අසත්‍ය තොරතුරු" වාරන නීති සම්බන්ධව X නම් ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් මගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් හා මාගේ පිලිතුරු මෙසේ පල කරමි: 


ප්‍රශ්නය: අසත්‍ය තොරතුරු පලකිරීම, ප්‍රචාරය කිරීම ආකාරයේ වරදක් ලංකාවේ ප්‍රකාශිත නිතියක් වශයෙන් තිබේද යන ප්‍රශ්නය හා ජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය පිලිබඳ මාතෘකාව සලකා බැලීම වැදගත්. පොලිස් මූලස්ථානය විසින් මෑතක දී නිකුත් කල නිවේදනයෙන් "අසත්‍ය තොරතුරු" ප්‍රචාරය කිරීම, බෙදා හැරීම මගින් පුද්ගලයන් නීති පනත් ගනනාවක් යටතේ වරදකරුවන් කල හැකි බවට දක්වා තිබෙනවා. නීතීඥ සංගමය ඇතුලු සංවිධාන ගනනාවක් මෙම නිවේදනය ප්‍රශ්නගත කරල තියෙනවා. අසත්‍ය ප්‍රවෘත්ති හෝ වෙනත් ආකාරවලින් මහජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය අවහිර කිරීමට ඉඩ තිබෙන නීති පිලිබඳ මේ ආකාරයෙන් ආන්ඩු නිරන්තර අවධාරනය කිරීමක් කරන්නේ ඇයි? 





පිලිතුර: පාලක ආන්ඩුවලට සැමවිටම අවශ්‍ය වන්නේ "සත්‍ය තොරතුරු" වල එකම නිල ප්‍රභවය රජයේ මාධ්‍ය ආයතන බව ජනතාව මූලික උපකල්පනයක් වශයෙන් විශ්වාස කිරීම.  එම නිසා, ආන්ඩුව විසින් නිල වශයෙන් අනුමත කර නිකුත් කරන තොරතුරු හැරෙන්නට ජනතාව වෙනත් ප්‍රභවයන් පිළිබඳව යම් අවිශ්වාසයක් ඇති කර ගැනීම රජයන්ට අවශ්‍ය කරනවා.  ආන්ඩු ඒත්තු ගන්වන්න හදන්නේ  "සත්‍යයේ" අවසාන තීරකයා තමන් බවයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාවට තමන්ට ලැබෙන සීමිත තොරතුරු මත ආන්ඩුවේ මතය හෝ එය ඉදිරිපත් කරන ප්‍රවෘත්ති, වාර්ථා, කරුනු ප්‍රශ්න ගත කිරීමට හැකියාව තිබිය යුතු යි. ප්‍රකාශනයේ නිදහස කියන්නෙ ආන්ඩුව පිලිගන්න, එය නිවැරදි යි කියන තොරතුරු මත පදනම්ව අදහස් පල කිරීම නොවෙ යි. තොරතුරු වැරදි විය හැකි උවත් ඒවා මත පදනම්ව 


සාධාරන සැකයන් මතු කිරීම හා විකල්ප අදහස් පල කිරීම තමයි ජනතාව සතු ප්‍රකාශනයේ අයිතියේ මූලික අර්ථය. ආන්ඩුව කැමති දේ කියන්න ප්‍රකාශනයේ අයිතිය කියල එකක් අවශ්‍ය නැහැ. ඔය නීතීඥ සංගමය නිකුත් කරල තියෙන ප්‍රකාශයේ සඳහන් කරන නඩු තීන්දු ඇතුලු ලංකාවෙ අධිකරනයත් වරින් වර දීපු නඩු තීන්දු ගනනාවකින්ම ආන්ඩු හා පාලක පක්ෂ විවේචනය කිරීමේ ජනතා අයිතිය පිලි අරගෙන තියෙනවා. ලඟදි ඉංදියාවෙ ශ්‍රේෂ්ඨාධිකරනයටත් අවසානයේ සිදු වුනා වසංගතය පිලිබඳ තොරතුරු බෙදාගෙන ආන්ඩුව විවේචනය කිරීමේ අයිතිය මහජනයාට තියෙනවා කියල පිලිගන්න. මොකද අධිකරනය හොඳටම දන්නවා  ලිබරල් ප්‍රජාතන්තුවාදී අයිතීන් හැටියට මේවා පිලි නොගත්තොත් සමස්ථ ක්‍රමයම අභියෝගයට ලක්වෙන්න නියමිත බව.


ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන සංකල්පයෙ තියෙන මූලික දෙයක් තමයි සැමවිටම ජනතාවට පාලක ආන්ඩු ගැන සැකයෙන්  බලන්න තියෙන අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආන්ඩු පවසන හා කරන දේ පිළිබඳව නිතරම විමසිල්ලෙන් සිටින ලෙසත්, සෑම විටම අවිශ්වාසයෙන් අන්ඩු පවසන දේ ප්‍රශ්න කරන ලෙසත්.  ආන්ඩුවක් කෙරෙහි මහජනතාව සැමවිටම අවිශ්වාසයෙන් කටයුතු කිරීම  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ජනතාවට ඇති අහිමි කල නොහැකි අයිතියක්.  සැබවින්ම, ආන්ඩුව විශ්වාස කිරීමේ සමාජ ගිවිසුමක් (social contract) කියල එකක් ඇත්තෙ නැහැ. කොහෙත්ම, ධනපති ආන්ඩු සමඟ කම්කරු මහජනතාවට කිසිම සමාජ ගිවිසුමක් නැහැ. එහෙම ගිවිසුම් තියෙන්නෙ ආන්ඩුව හා පාලක පන්තියෙ සෙසු කොටස් අතර.  බොහෝ විට වැරදියට උපුටා දක්වන සංකල්පයක් වන "මහජන විශ්වාසය (public trust)" මත නොවෙයි, ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ.  ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ පාලක ආන්ඩු කෙරෙහි තියෙන "මහජන අවිශ්වාසය( public distrust)" මත. ඒ කියන්නෙ ප්‍රජාතන්තුවාදී අයිතියක් වශයෙන්  මහජනතාවගේ  ප්‍රකාශනයේ නිදහසේ මූලික අර්ථයක් තමයි ආන්ඩුවට එරෙහිව "චෝදනා කිරීමේ අයිතිය (right to allege)".   ඒ චෝදනා වලට පදනම් වන තොරතුරු ආන්ඩුවේ නිල මාධ්‍ය හරහා ලැබෙන්න අවශ්‍ය නැහැ, හැකියාවකුත් නැහැ. මොකද ඒ නිල මාධ්‍ය හා ආන්ඩු හිතවාදී මාධ්‍ය කියන්නෙම ආන්ඩුවේ ප්‍රචාරක මාධ්‍ය නිසා. විකල්ප මාධ්‍ය, සමාජ මාධ්‍ය කරන්නෙ මෙන්න මේ නිල මාධ්‍ය රෙජීමයට එරෙහිව වෙනත් තොරතුරු හා මත ඉදිරිපත් කිරීම. ජනතාවට ආන්ඩු ප්‍රශ්නගත කරන්න පුලුවන් වෙන්නෙ, ආන්ඩුවලට චෝදනා කරන්න පුලුවන්  වෙන්නෙ මෙන්න මේ විකල්ප මාධ්‍ය නිදහස තිබුනොත් විතර යි. හැබැයි නිතරම ආන්ඩුවලට ඒ නිදහස තර්ජනයක්. දරදඬු නීති, අධිකරන නියෝග, මැර ප්‍රහාර, අතුරුදහන් කිරීම් ඉඳල එලිපිට ඝාතනය කිරීම් දක්වා විකල්ප මාධ්‍ය මර්ධනය හා වාරනය එන්නෙ අන්න එතැනින්.  අර්බුද කාල පරිච්ඡේදවල මෙම මර්ධනය, වාරනය උත්සන්න කෙරෙනවා. 


ප්‍රශ්නය: ආන්ඩුවේ මේ නව නිවේදනය නිකුත් කරන්නෙ ඇයි කියලද ඔබ කියන්නෙ?


පිලිතුර: දැන් ආන්ඩුව ⁣මේ පොලිස් නිවේදනය ගේන්නෙ මම මේ කියන ආකාරයේ  දැඩි අර්බුද ගනනාවක ආන්ඩුව හිරවෙලා ඉන්න පසුබිමක. එක පැත්තකින් ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයක ගිලිල ඉන්නෙ. විදෙස් නය ඩොලර් බිලියන ගනනින් ගෙවන්න තියෙනවා. මේ අර්බුදය කොරෝන වසංගතයෙන් උග්‍ර කෙරිල තියෙනවා. ලෝකෙ හැම ධනපති ආන්ඩුවක් වාගේම ලංකාවෙ රාජපක්ෂ ආන්ඩුවටත්  ඕන වසංගතය මධ්‍යයේ  ආර්ථිකය විවෘතව තබාගෙන, කම්කරු ජනතාවගෙ මරන මතින් ධනපති සංගතවල ලාබ සූරාකෑමේ ක්‍රමය ඉදිරියට ගෙන යන්න. නමුත් ජනතාව හා විද්‍යව කියන්නෙ සම්පූර්න වසා දැමීම් හා ජනතාවට අවශ්‍ය සහනයන් ලබා දීම. මේව කරන්න මේ වගේ රටවල ආන්ඩුවට මුදල් නෑ. ඇමරිකාව වගේ රටවල ගත්තොත් ඒ ආන්ඩු වසංගත පාලනය සඳහා මහජන සුභසාදනයට පිච්චියක් වියදම් කරන කොට දැවැන්ත මූල්‍ය සමාගම්, බැංකු හා සංගත ගලවා ගැනීම සඳහා ඩොලර් බිලියන ගනනින් පොම්ප කරනව. වසංගතය මධ්‍යයේම එකපැත්තකින් අතලොස්සක් බලගතු සංගතවල ලාභ කිහිප ගුනයකින් ඉහල යෑමත් අනිත් පසින් මිලියන ගනනින් රැකියා අහිමි වීම හා සමාජ අසමානතාවය තවතවත් ගැඹුරු වීමත් සිදුවෙනවා.  ලංකාව ගත්තොත් වසංගතය මධ්‍යයේ බඩු මිල ඉහල යාමත් එක්ක ආන්ඩුව අතහැර දමා ඇති එදිනෙදා ආදායම් අහිමිවෙලා අසරන වුනු ගොවි පීඩිත ජනතාව වගේම, අවධානම් සේවයේ නිරත සෞඛ්‍ය සේවයේ ඇතුලු කම්කරු මහජනතාවක් ආන්ඩුවේ වසංගතය පාලනයට නිසි කලට අගුලු ලෑම ඇතුලු නිසි පියවර නොගැනීම, එය ගෙනයන ඇල් මැරුනු ක්‍රියා පටිපාටිය, වසංගතයේ සැබෑ  තොරතුරු වසං කිරීම, අත්‍යවශ්‍ය සෙවා පනත් යටතේ කම්කරු උද්ඝෝෂන, strike තහනම් කිරීම ආදය පිලිබඳ දැඩි ප්‍රකෝපයකින්, අප්‍රසාදයකින් ඉන්නෙ.  ඊයෙ වෙනකොට මට දැනගන්න ලැබුනු කරුනක් තමයි බන්ධනාගාර ඇතුලෙ වසංගතය බරපතල ලෙස ව්‍යාප්තවෙලා තියෙනවාය කියන එක. මගේ සේවාදායකයෙක් මුනගැහෙන්න බන්ධනාගාරයට යන්න ඉල්ලුවම මට දැනුම් දුන්නෙ බන්ධනාගාර ඇතුලෙ දහ දෙනෙක් ගත්තොත් හතක් අ⁣ටක් කොරෝනා ආසාදිත යි කියල. දහස් ගනනින් පරීක්ෂන කරල මේ බෝවීම පාලනය නොකලොත් මේව death camps (මරනයේ කඳවුරු) බවට පත්වෙන්න වැඩිකලක් ගතවෙන්නෙ නෑ. දැන් මේ ත්තවයන් හෝ සිදුවන මරන පිලිබඳ ආන්ඩුව නිවැදි කරුනු වාර්ථා කරන්නෙ නෑ කියල මහජනතාව අත්දැකීමෙන් දන්නවා. මේ සියලු කාරනා නිසා මහජන විරෝධය විශේෂයෙන්  පොදු මහජනයාගෙ  මාධ්‍ය තුල, ඒ කියන්නෙ සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත්කෙරෙනවා. මේ මහජන අප්‍රසාදය උඩුදුවල, ආන්ඩුවට පාලනය කරගන්න බැරි තරමට මහජන අරගල පැන නැගිල ආන්ඩුවේ පාලනයට අභයෝගයක් එල්ලවෙයි කියන එක දන්න නිසා තමයි ආන්ඩුව මේ මාධ්‍ය වාරන නීති විවිධ ව්‍යාජ සටන් පාඨ යටතෙ ගේන්නෙ. ඔය සටන්පාඨ අතරට ප්‍රමුඛම වෙන්නෙ ආන්ඩුක්‍රම වෘවස්ථාවෙත් දාල තියෙන ජාතික ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය වගේම ජාතික ආර්ථිකය වගේ පදනම්. 


මේ අලුත්ම පොලිස් නිවේදනයට කලින් සෞඛ්‍ය සේවයේ නියුතු කම්කරුවො වසංගත පාලන තත්වයන් පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමට ආයතන සංග්‍රය යටතේ එන නීතියක් උපුටල දැම්ම.  පසුගිය ආන්ඩු කාලෙත් මේ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති වාරනයට නීති ගේන්න හැදුව. සාපරාධී අපරාධ නීතිය ගේන්නත් දැන් සාකච්ඡා කෙරෙනව. දැන් ආන්ඩුවෙ මේ අලුත්ම නිවේදනයෙ අවධාරනය කරන නීති ගත්තම ඒවා "අසත්‍ය තොරතුරු" කියන එකක් ඒ ආකාරයෙන්ම නීතිමය වශයෙන් අනීතික කරන ඒවා නොවෙයි. නමුත් මේ නීති ආන්ඩුවට, පොලීසියට අවශ්‍ය ආකාරයෙන් අර්ථකතනය කරල අත්අඩංගුවට ගැනීම්, දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම් කරල, මහජනතාව භිය ගන්වල, මහජන අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීමට ඇබ ගහන්න තමයි ⁣ආන්ඩුව මේ කටයුතු කරන්නෙ. මේ හැම වාරන නීතියක්ම ධනපති ආන්ඩුවල මර්ධක අඬු. මේව අතිශයින්ම මහජන විරෝධීයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී යි. 


ආන්ඩුව මේ අසත්‍ය තොරතුරු මඩින්න  යන්නෙ "මහජන සාමය බිඳ වැටීම, විවිධ ජාතීන් හා ආගම් අතර බේද ඇතිවීම" ආදිය වලක්වන්න කියල නිවේදනයෙ දක්වල තියෙන්නෙ හරියට මේවට වගකියන්න ඕන මහජනතාව වගෙ. සිංහල ජනතාව හා මුස්ලිම් හා දෙමල ජනතාව අතර වාර්ගික බේද අවුස්සල, පාස්කු ප්‍රහාරය ගසාකාල හරි LTTE ත්‍රස්තවාදය නැවත පැනනගියි කියල  මුසාවාද හරි කියල, ඒ ජනතාවට වාර්ගිකව අසමාන විදියට පහර දීල, සිංහල වර්ගවාදී නඩ යොදාගෙන කම්කරු මහජනතාව වාර්ගිකව භේදබින්න කරන්නෙ ආන්ඩුව නෙමෙයි ද?


කොහොම නමුත් තේරුම් ගතයුතුයි මේ කිසිවක් ජාතික ප්‍රශ්න නෙවෙයි. අසත්‍ය තොරතුරුවලට එරෙහි උද්ඝෝෂනය දැන් ලෝකෙ හැම රටකම වගේ ඉදිරියට ගෙනල්ල තියෙන වැඩපිලිවෙලක්.  ඇමරිකාව, කැනඩාව, චිලිය,  අයර්ලන්තය, එංගලන්තය, ප්‍රංශය, මැලේසියාව,  සිංගප්පූරුව, ඉංදියාව ඇතුලු රටවල් ගනනාවක් මෑතකදිමත් මේ වගේ නීති ක්‍රියාත්මක කරමින්, නැත්නම් අලුතින් පනවමින් තියෙනවා. Facebook, twitter, google වගේ සමාජ මාධ්‍ය හසුරුවන ලෝක සංගත ආන්ඩුවලට මේවට ⁣අවශ්‍ය සහාය දෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තරව හැම රටකම කම්කරු පන්තිය අද මුහුනදීල ඉන්නෙ - රටින් රටට එහි ප්‍රමානාත්මක ප්‍රහාරය වෙනස් උවත් - එකම ස්වරූපයේ ධනපති මර්දනයකට.  


ප්‍රශ්නය: එසේ නම් ජනතාවට තියෙන විකල්ප වැඩපිලිවෙල කුමක්ද සත්‍යය හා ප්‍රකාශනයේ  නිදහස ආරක්ෂාව වෙනුවෙන්?


පිලිතුර: සත්‍යවශයෙන්ම "සත්‍ය" අවශ්‍ය මහජනතාවට, කම්කරු පන්තියට, පාලක පන්තිය ට ⁣නොවෙයි. පාලක පන්ති හැම රටකම ඉතිහාසය පුරාම මූලිකවම පදනම් වෙන්නෙ බොරුව මත. අද වගේ ආර්ථික හා දේශපාලන අර්බුද කාලවලදි ආඥාදායක්තවය, මිලිටරිවාදය, ඉස්සරහට දමමින් ජන අරගල පාගා දමන්න මිලිටරි පොලිස් යාන්ත්‍රනය යොදවනව වගේම ව්‍යාජ තොරතුරු, මිත්‍යාව, සාවද්‍ය මත, වැරදි සංඛ්‍යාලේකන, ඉතිහාසය විකෘති කිරීම ආදිය ඉදිරිපත් කරන ගමන් තමයි ආන්ඩු පාලනය ගෙනි යන්නෙ.  මේව වි්ධිමත්ව කරන්න ධනපති බුද්ධිමත්තු, විශේෂඥයො, විශ්වවිද්‍යාල න්‍යායාචාර්යවරු ආදීන් ඕනෑතරම් ආන්ඩුවලට සහායට ඉන්නව. මේ සියල්ලම පැහැදිලි කරන්නෙ ආන්ඩුවෙ ප්‍රහාරය දේශපාලනික යි කියන එක. ඒක නිකම් නීති ප්‍රශ්නයක් නොවෙ යි. ඒ නිසා ජනතාව උත්තර දෙන්න ඕන දේශපාලනිකව.  ඒ නිසා මහජනතාව ⁣නිරන්තරයෙන් ආන්ඩු ප්‍රශ්නගත කරමින්, මේ මර්දන වැඩසටහන් වලට එරෙහිව කිසිදු සහනයක් නොදී සටන් කල යුතුයි. 


හැබැයි මේ සටන් සාම්පුදායික කම්කරු සංවිධාන විදියට තියෙන ආන්ඩු වලට විවිධ අවස්ථා වලදි පන්ති සහයෝගය දෙන දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති හරහා කරන්න බෑ. මෑත ඉතිහාසය පුරාමත් ජාත්‍යන්තරවත් කම්කරු මහජනතාවගේ සැබෑ අත්දැකීම තමයි මේ පක්ෂ හා වෘත්තීය සමිති කම්කරු සටන් පාවා දෙමින් ආන්ඩුවල පාලනයට සහාය දීම. කම්කරු ජනතාව තමන්ගේ අරගල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්,  සියලු වාර්ගික බේදකිරීම් පරාජය කරමින් සෙසු  කම්කරු පීඩිත ජනතාව සමග එක්සත් අරගලවලට පිවිසිය යුතුයි. කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, ගුරු ක්‍රියාකාරී කමිටුව වගේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවා ඇති කමිටු ගනනාවක් ධනපති ආන්ඩුවේ මේ වැඩපිලිවෙලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් යටතේ සටන් කරනවා. මහජනතාවගේ ජීවිත මිලියන ගනනින් බිලි නොකර  වසංගතය අවසන් කිරීමේ විසඳුම තියෙන්නෙ ජාත්‍යන්තර තලයෙ වගේම, ඒක කරන්න පුලුවන් වෙන්නෙත්, ඒත් එක්කම හැම රටකම මහජනතාව අත් විඳින මේ ධනපති මර්දනය අවසන් කරන්න පුලුවන් වෙන්නෙත් එවැනි සැබෑ, සංවිධිත කම්කරු පන්තික වැඩ පිලිවෙලකට විතර යි. මහජනතාවගෙන් මම ඉල්ලන්නෙ මේ වැඩපිලිවෙලත් එක්ක වහාම එක්වෙන්න කියල.