Wednesday, July 7, 2021

"අසත්‍ය තොරතුරු" වාරන නීති

 "අසත්‍ය තොරතුරු" වාරන නීති සම්බන්ධව X නම් ගුවන්විදුලි මාධ්‍යවේදියෙක් මගෙන් අසන ලද ප්‍රශ්න කිහිපයක් හා මාගේ පිලිතුරු මෙසේ පල කරමි: 


ප්‍රශ්නය: අසත්‍ය තොරතුරු පලකිරීම, ප්‍රචාරය කිරීම ආකාරයේ වරදක් ලංකාවේ ප්‍රකාශිත නිතියක් වශයෙන් තිබේද යන ප්‍රශ්නය හා ජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය පිලිබඳ මාතෘකාව සලකා බැලීම වැදගත්. පොලිස් මූලස්ථානය විසින් මෑතක දී නිකුත් කල නිවේදනයෙන් "අසත්‍ය තොරතුරු" ප්‍රචාරය කිරීම, බෙදා හැරීම මගින් පුද්ගලයන් නීති පනත් ගනනාවක් යටතේ වරදකරුවන් කල හැකි බවට දක්වා තිබෙනවා. නීතීඥ සංගමය ඇතුලු සංවිධාන ගනනාවක් මෙම නිවේදනය ප්‍රශ්නගත කරල තියෙනවා. අසත්‍ය ප්‍රවෘත්ති හෝ වෙනත් ආකාරවලින් මහජනතාවගේ භාෂනයේ හා ප්‍රකාශනයේ අයිතිය අවහිර කිරීමට ඉඩ තිබෙන නීති පිලිබඳ මේ ආකාරයෙන් ආන්ඩු නිරන්තර අවධාරනය කිරීමක් කරන්නේ ඇයි? 





පිලිතුර: පාලක ආන්ඩුවලට සැමවිටම අවශ්‍ය වන්නේ "සත්‍ය තොරතුරු" වල එකම නිල ප්‍රභවය රජයේ මාධ්‍ය ආයතන බව ජනතාව මූලික උපකල්පනයක් වශයෙන් විශ්වාස කිරීම.  එම නිසා, ආන්ඩුව විසින් නිල වශයෙන් අනුමත කර නිකුත් කරන තොරතුරු හැරෙන්නට ජනතාව වෙනත් ප්‍රභවයන් පිළිබඳව යම් අවිශ්වාසයක් ඇති කර ගැනීම රජයන්ට අවශ්‍ය කරනවා.  ආන්ඩු ඒත්තු ගන්වන්න හදන්නේ  "සත්‍යයේ" අවසාන තීරකයා තමන් බවයි. ඒත් ප්‍රජාතන්ත්‍රවාදය තුල ජනතාවට තමන්ට ලැබෙන සීමිත තොරතුරු මත ආන්ඩුවේ මතය හෝ එය ඉදිරිපත් කරන ප්‍රවෘත්ති, වාර්ථා, කරුනු ප්‍රශ්න ගත කිරීමට හැකියාව තිබිය යුතු යි. ප්‍රකාශනයේ නිදහස කියන්නෙ ආන්ඩුව පිලිගන්න, එය නිවැරදි යි කියන තොරතුරු මත පදනම්ව අදහස් පල කිරීම නොවෙ යි. තොරතුරු වැරදි විය හැකි උවත් ඒවා මත පදනම්ව 


සාධාරන සැකයන් මතු කිරීම හා විකල්ප අදහස් පල කිරීම තමයි ජනතාව සතු ප්‍රකාශනයේ අයිතියේ මූලික අර්ථය. ආන්ඩුව කැමති දේ කියන්න ප්‍රකාශනයේ අයිතිය කියල එකක් අවශ්‍ය නැහැ. ඔය නීතීඥ සංගමය නිකුත් කරල තියෙන ප්‍රකාශයේ සඳහන් කරන නඩු තීන්දු ඇතුලු ලංකාවෙ අධිකරනයත් වරින් වර දීපු නඩු තීන්දු ගනනාවකින්ම ආන්ඩු හා පාලක පක්ෂ විවේචනය කිරීමේ ජනතා අයිතිය පිලි අරගෙන තියෙනවා. ලඟදි ඉංදියාවෙ ශ්‍රේෂ්ඨාධිකරනයටත් අවසානයේ සිදු වුනා වසංගතය පිලිබඳ තොරතුරු බෙදාගෙන ආන්ඩුව විවේචනය කිරීමේ අයිතිය මහජනයාට තියෙනවා කියල පිලිගන්න. මොකද අධිකරනය හොඳටම දන්නවා  ලිබරල් ප්‍රජාතන්තුවාදී අයිතීන් හැටියට මේවා පිලි නොගත්තොත් සමස්ථ ක්‍රමයම අභියෝගයට ලක්වෙන්න නියමිත බව.


ප්‍රජාතන්ත්‍රවාදය කියන දේශපාලන සංකල්පයෙ තියෙන මූලික දෙයක් තමයි සැමවිටම ජනතාවට පාලක ආන්ඩු ගැන සැකයෙන්  බලන්න තියෙන අයිතිය. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ආන්ඩු පවසන හා කරන දේ පිළිබඳව නිතරම විමසිල්ලෙන් සිටින ලෙසත්, සෑම විටම අවිශ්වාසයෙන් අන්ඩු පවසන දේ ප්‍රශ්න කරන ලෙසත්.  ආන්ඩුවක් කෙරෙහි මහජනතාව සැමවිටම අවිශ්වාසයෙන් කටයුතු කිරීම  ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක ජනතාවට ඇති අහිමි කල නොහැකි අයිතියක්.  සැබවින්ම, ආන්ඩුව විශ්වාස කිරීමේ සමාජ ගිවිසුමක් (social contract) කියල එකක් ඇත්තෙ නැහැ. කොහෙත්ම, ධනපති ආන්ඩු සමඟ කම්කරු මහජනතාවට කිසිම සමාජ ගිවිසුමක් නැහැ. එහෙම ගිවිසුම් තියෙන්නෙ ආන්ඩුව හා පාලක පන්තියෙ සෙසු කොටස් අතර.  බොහෝ විට වැරදියට උපුටා දක්වන සංකල්පයක් වන "මහජන විශ්වාසය (public trust)" මත නොවෙයි, ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ.  ප්‍රජාතන්ත්‍රිය සමාජයක් ක්‍රියාත්මක වෙන්නෙ පාලක ආන්ඩු කෙරෙහි තියෙන "මහජන අවිශ්වාසය( public distrust)" මත. ඒ කියන්නෙ ප්‍රජාතන්තුවාදී අයිතියක් වශයෙන්  මහජනතාවගේ  ප්‍රකාශනයේ නිදහසේ මූලික අර්ථයක් තමයි ආන්ඩුවට එරෙහිව "චෝදනා කිරීමේ අයිතිය (right to allege)".   ඒ චෝදනා වලට පදනම් වන තොරතුරු ආන්ඩුවේ නිල මාධ්‍ය හරහා ලැබෙන්න අවශ්‍ය නැහැ, හැකියාවකුත් නැහැ. මොකද ඒ නිල මාධ්‍ය හා ආන්ඩු හිතවාදී මාධ්‍ය කියන්නෙම ආන්ඩුවේ ප්‍රචාරක මාධ්‍ය නිසා. විකල්ප මාධ්‍ය, සමාජ මාධ්‍ය කරන්නෙ මෙන්න මේ නිල මාධ්‍ය රෙජීමයට එරෙහිව වෙනත් තොරතුරු හා මත ඉදිරිපත් කිරීම. ජනතාවට ආන්ඩු ප්‍රශ්නගත කරන්න පුලුවන් වෙන්නෙ, ආන්ඩුවලට චෝදනා කරන්න පුලුවන්  වෙන්නෙ මෙන්න මේ විකල්ප මාධ්‍ය නිදහස තිබුනොත් විතර යි. හැබැයි නිතරම ආන්ඩුවලට ඒ නිදහස තර්ජනයක්. දරදඬු නීති, අධිකරන නියෝග, මැර ප්‍රහාර, අතුරුදහන් කිරීම් ඉඳල එලිපිට ඝාතනය කිරීම් දක්වා විකල්ප මාධ්‍ය මර්ධනය හා වාරනය එන්නෙ අන්න එතැනින්.  අර්බුද කාල පරිච්ඡේදවල මෙම මර්ධනය, වාරනය උත්සන්න කෙරෙනවා. 


ප්‍රශ්නය: ආන්ඩුවේ මේ නව නිවේදනය නිකුත් කරන්නෙ ඇයි කියලද ඔබ කියන්නෙ?


පිලිතුර: දැන් ආන්ඩුව ⁣මේ පොලිස් නිවේදනය ගේන්නෙ මම මේ කියන ආකාරයේ  දැඩි අර්බුද ගනනාවක ආන්ඩුව හිරවෙලා ඉන්න පසුබිමක. එක පැත්තකින් ආන්ඩුව බරපතල ආර්ථික අර්බුදයක ගිලිල ඉන්නෙ. විදෙස් නය ඩොලර් බිලියන ගනනින් ගෙවන්න තියෙනවා. මේ අර්බුදය කොරෝන වසංගතයෙන් උග්‍ර කෙරිල තියෙනවා. ලෝකෙ හැම ධනපති ආන්ඩුවක් වාගේම ලංකාවෙ රාජපක්ෂ ආන්ඩුවටත්  ඕන වසංගතය මධ්‍යයේ  ආර්ථිකය විවෘතව තබාගෙන, කම්කරු ජනතාවගෙ මරන මතින් ධනපති සංගතවල ලාබ සූරාකෑමේ ක්‍රමය ඉදිරියට ගෙන යන්න. නමුත් ජනතාව හා විද්‍යව කියන්නෙ සම්පූර්න වසා දැමීම් හා ජනතාවට අවශ්‍ය සහනයන් ලබා දීම. මේව කරන්න මේ වගේ රටවල ආන්ඩුවට මුදල් නෑ. ඇමරිකාව වගේ රටවල ගත්තොත් ඒ ආන්ඩු වසංගත පාලනය සඳහා මහජන සුභසාදනයට පිච්චියක් වියදම් කරන කොට දැවැන්ත මූල්‍ය සමාගම්, බැංකු හා සංගත ගලවා ගැනීම සඳහා ඩොලර් බිලියන ගනනින් පොම්ප කරනව. වසංගතය මධ්‍යයේම එකපැත්තකින් අතලොස්සක් බලගතු සංගතවල ලාභ කිහිප ගුනයකින් ඉහල යෑමත් අනිත් පසින් මිලියන ගනනින් රැකියා අහිමි වීම හා සමාජ අසමානතාවය තවතවත් ගැඹුරු වීමත් සිදුවෙනවා.  ලංකාව ගත්තොත් වසංගතය මධ්‍යයේ බඩු මිල ඉහල යාමත් එක්ක ආන්ඩුව අතහැර දමා ඇති එදිනෙදා ආදායම් අහිමිවෙලා අසරන වුනු ගොවි පීඩිත ජනතාව වගේම, අවධානම් සේවයේ නිරත සෞඛ්‍ය සේවයේ ඇතුලු කම්කරු මහජනතාවක් ආන්ඩුවේ වසංගතය පාලනයට නිසි කලට අගුලු ලෑම ඇතුලු නිසි පියවර නොගැනීම, එය ගෙනයන ඇල් මැරුනු ක්‍රියා පටිපාටිය, වසංගතයේ සැබෑ  තොරතුරු වසං කිරීම, අත්‍යවශ්‍ය සෙවා පනත් යටතේ කම්කරු උද්ඝෝෂන, strike තහනම් කිරීම ආදය පිලිබඳ දැඩි ප්‍රකෝපයකින්, අප්‍රසාදයකින් ඉන්නෙ.  ඊයෙ වෙනකොට මට දැනගන්න ලැබුනු කරුනක් තමයි බන්ධනාගාර ඇතුලෙ වසංගතය බරපතල ලෙස ව්‍යාප්තවෙලා තියෙනවාය කියන එක. මගේ සේවාදායකයෙක් මුනගැහෙන්න බන්ධනාගාරයට යන්න ඉල්ලුවම මට දැනුම් දුන්නෙ බන්ධනාගාර ඇතුලෙ දහ දෙනෙක් ගත්තොත් හතක් අ⁣ටක් කොරෝනා ආසාදිත යි කියල. දහස් ගනනින් පරීක්ෂන කරල මේ බෝවීම පාලනය නොකලොත් මේව death camps (මරනයේ කඳවුරු) බවට පත්වෙන්න වැඩිකලක් ගතවෙන්නෙ නෑ. දැන් මේ ත්තවයන් හෝ සිදුවන මරන පිලිබඳ ආන්ඩුව නිවැදි කරුනු වාර්ථා කරන්නෙ නෑ කියල මහජනතාව අත්දැකීමෙන් දන්නවා. මේ සියලු කාරනා නිසා මහජන විරෝධය විශේෂයෙන්  පොදු මහජනයාගෙ  මාධ්‍ය තුල, ඒ කියන්නෙ සමාජ මාධ්‍ය තුල ප්‍රකාශයට පත්කෙරෙනවා. මේ මහජන අප්‍රසාදය උඩුදුවල, ආන්ඩුවට පාලනය කරගන්න බැරි තරමට මහජන අරගල පැන නැගිල ආන්ඩුවේ පාලනයට අභයෝගයක් එල්ලවෙයි කියන එක දන්න නිසා තමයි ආන්ඩුව මේ මාධ්‍ය වාරන නීති විවිධ ව්‍යාජ සටන් පාඨ යටතෙ ගේන්නෙ. ඔය සටන්පාඨ අතරට ප්‍රමුඛම වෙන්නෙ ආන්ඩුක්‍රම වෘවස්ථාවෙත් දාල තියෙන ජාතික ආරක්ෂාව හා මහජන සෞඛ්‍ය වගේම ජාතික ආර්ථිකය වගේ පදනම්. 


මේ අලුත්ම පොලිස් නිවේදනයට කලින් සෞඛ්‍ය සේවයේ නියුතු කම්කරුවො වසංගත පාලන තත්වයන් පිලිබඳ අදහස් ප්‍රකාශ කිරීම මර්දනය කිරීමට ආයතන සංග්‍රය යටතේ එන නීතියක් උපුටල දැම්ම.  පසුගිය ආන්ඩු කාලෙත් මේ ආකාරයේ අසත්‍ය ප්‍රවෘත්ති වාරනයට නීති ගේන්න හැදුව. සාපරාධී අපරාධ නීතිය ගේන්නත් දැන් සාකච්ඡා කෙරෙනව. දැන් ආන්ඩුවෙ මේ අලුත්ම නිවේදනයෙ අවධාරනය කරන නීති ගත්තම ඒවා "අසත්‍ය තොරතුරු" කියන එකක් ඒ ආකාරයෙන්ම නීතිමය වශයෙන් අනීතික කරන ඒවා නොවෙයි. නමුත් මේ නීති ආන්ඩුවට, පොලීසියට අවශ්‍ය ආකාරයෙන් අර්ථකතනය කරල අත්අඩංගුවට ගැනීම්, දීර්ඝ කාලීන රඳවා තබා ගැනීම් කරල, මහජනතාව භිය ගන්වල, මහජන අදහස් හා තොරතුරු ප්‍රචාරය කිරීමට ඇබ ගහන්න තමයි ⁣ආන්ඩුව මේ කටයුතු කරන්නෙ. මේ හැම වාරන නීතියක්ම ධනපති ආන්ඩුවල මර්ධක අඬු. මේව අතිශයින්ම මහජන විරෝධීයි. ප්‍රජාතන්ත්‍ර විරෝධී යි. 


ආන්ඩුව මේ අසත්‍ය තොරතුරු මඩින්න  යන්නෙ "මහජන සාමය බිඳ වැටීම, විවිධ ජාතීන් හා ආගම් අතර බේද ඇතිවීම" ආදිය වලක්වන්න කියල නිවේදනයෙ දක්වල තියෙන්නෙ හරියට මේවට වගකියන්න ඕන මහජනතාව වගෙ. සිංහල ජනතාව හා මුස්ලිම් හා දෙමල ජනතාව අතර වාර්ගික බේද අවුස්සල, පාස්කු ප්‍රහාරය ගසාකාල හරි LTTE ත්‍රස්තවාදය නැවත පැනනගියි කියල  මුසාවාද හරි කියල, ඒ ජනතාවට වාර්ගිකව අසමාන විදියට පහර දීල, සිංහල වර්ගවාදී නඩ යොදාගෙන කම්කරු මහජනතාව වාර්ගිකව භේදබින්න කරන්නෙ ආන්ඩුව නෙමෙයි ද?


කොහොම නමුත් තේරුම් ගතයුතුයි මේ කිසිවක් ජාතික ප්‍රශ්න නෙවෙයි. අසත්‍ය තොරතුරුවලට එරෙහි උද්ඝෝෂනය දැන් ලෝකෙ හැම රටකම වගේ ඉදිරියට ගෙනල්ල තියෙන වැඩපිලිවෙලක්.  ඇමරිකාව, කැනඩාව, චිලිය,  අයර්ලන්තය, එංගලන්තය, ප්‍රංශය, මැලේසියාව,  සිංගප්පූරුව, ඉංදියාව ඇතුලු රටවල් ගනනාවක් මෑතකදිමත් මේ වගේ නීති ක්‍රියාත්මක කරමින්, නැත්නම් අලුතින් පනවමින් තියෙනවා. Facebook, twitter, google වගේ සමාජ මාධ්‍ය හසුරුවන ලෝක සංගත ආන්ඩුවලට මේවට ⁣අවශ්‍ය සහාය දෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තරව හැම රටකම කම්කරු පන්තිය අද මුහුනදීල ඉන්නෙ - රටින් රටට එහි ප්‍රමානාත්මක ප්‍රහාරය වෙනස් උවත් - එකම ස්වරූපයේ ධනපති මර්දනයකට.  


ප්‍රශ්නය: එසේ නම් ජනතාවට තියෙන විකල්ප වැඩපිලිවෙල කුමක්ද සත්‍යය හා ප්‍රකාශනයේ  නිදහස ආරක්ෂාව වෙනුවෙන්?


පිලිතුර: සත්‍යවශයෙන්ම "සත්‍ය" අවශ්‍ය මහජනතාවට, කම්කරු පන්තියට, පාලක පන්තිය ට ⁣නොවෙයි. පාලක පන්ති හැම රටකම ඉතිහාසය පුරාම මූලිකවම පදනම් වෙන්නෙ බොරුව මත. අද වගේ ආර්ථික හා දේශපාලන අර්බුද කාලවලදි ආඥාදායක්තවය, මිලිටරිවාදය, ඉස්සරහට දමමින් ජන අරගල පාගා දමන්න මිලිටරි පොලිස් යාන්ත්‍රනය යොදවනව වගේම ව්‍යාජ තොරතුරු, මිත්‍යාව, සාවද්‍ය මත, වැරදි සංඛ්‍යාලේකන, ඉතිහාසය විකෘති කිරීම ආදිය ඉදිරිපත් කරන ගමන් තමයි ආන්ඩු පාලනය ගෙනි යන්නෙ.  මේව වි්ධිමත්ව කරන්න ධනපති බුද්ධිමත්තු, විශේෂඥයො, විශ්වවිද්‍යාල න්‍යායාචාර්යවරු ආදීන් ඕනෑතරම් ආන්ඩුවලට සහායට ඉන්නව. මේ සියල්ලම පැහැදිලි කරන්නෙ ආන්ඩුවෙ ප්‍රහාරය දේශපාලනික යි කියන එක. ඒක නිකම් නීති ප්‍රශ්නයක් නොවෙ යි. ඒ නිසා ජනතාව උත්තර දෙන්න ඕන දේශපාලනිකව.  ඒ නිසා මහජනතාව ⁣නිරන්තරයෙන් ආන්ඩු ප්‍රශ්නගත කරමින්, මේ මර්දන වැඩසටහන් වලට එරෙහිව කිසිදු සහනයක් නොදී සටන් කල යුතුයි. 


හැබැයි මේ සටන් සාම්පුදායික කම්කරු සංවිධාන විදියට තියෙන ආන්ඩු වලට විවිධ අවස්ථා වලදි පන්ති සහයෝගය දෙන දේශපාලන පක්ෂ හෝ වෘත්තීය සමිති හරහා කරන්න බෑ. මෑත ඉතිහාසය පුරාමත් ජාත්‍යන්තරවත් කම්කරු මහජනතාවගේ සැබෑ අත්දැකීම තමයි මේ පක්ෂ හා වෘත්තීය සමිති කම්කරු සටන් පාවා දෙමින් ආන්ඩුවල පාලනයට සහාය දීම. කම්කරු ජනතාව තමන්ගේ අරගල ස්වාධීන ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගනිමින්,  සියලු වාර්ගික බේදකිරීම් පරාජය කරමින් සෙසු  කම්කරු පීඩිත ජනතාව සමග එක්සත් අරගලවලට පිවිසිය යුතුයි. කලාවේ හා ප්‍රකාශනයේ නිදහස ආරක්ෂා කිරීමේ ක්‍රියාකාරී කමිටුව, සෞඛ්‍ය කම්කරු ක්‍රියාකාරී කමිටුව, ගුරු ක්‍රියාකාරී කමිටුව වගේ සමාජවාදී සමානතා පක්ෂය පිහිටුවා ඇති කමිටු ගනනාවක් ධනපති ආන්ඩුවේ මේ වැඩපිලිවෙලට එරෙහිව ජාත්‍යන්තර සමාජවාදී ඉදිරිදර්ශනයක් යටතේ සටන් කරනවා. මහජනතාවගේ ජීවිත මිලියන ගනනින් බිලි නොකර  වසංගතය අවසන් කිරීමේ විසඳුම තියෙන්නෙ ජාත්‍යන්තර තලයෙ වගේම, ඒක කරන්න පුලුවන් වෙන්නෙත්, ඒත් එක්කම හැම රටකම මහජනතාව අත් විඳින මේ ධනපති මර්දනය අවසන් කරන්න පුලුවන් වෙන්නෙත් එවැනි සැබෑ, සංවිධිත කම්කරු පන්තික වැඩ පිලිවෙලකට විතර යි. මහජනතාවගෙන් මම ඉල්ලන්නෙ මේ වැඩපිලිවෙලත් එක්ක වහාම එක්වෙන්න කියල. 


No comments:

Post a Comment