Wednesday, April 29, 2020

ඇඳිරිනීතිය නීත්‍යානුකූල නොවන්නේ ඇයි?

ඇඳිරිනීතිය නීත්‍යානුකූල නොවන්නේ ඇයි?

29.04.2020

ලංකාවේ කොරෝනා වසංගතය මධ්‍යයේ විවිධ සාධාරන අවශ්‍යතා සඳහා මාර්ගයට බසින බහුතරයක් දුප්පත් මිනිසුන් ඇඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනව යටතේ දිගින් දිගටම අත්අඩංගුවට ගැනෙමින් පවතී. දැනට අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයන් ගනන 40000 ට වැඩි සංඛ්‍යවක් වන අතර බොහෝ දෙනා නඩුවලට පෙනී සිටීමේ කොන්දේසි මත ඇප පිට නිදහස් කර තිබේ.  එහෙත් අඳිරිනීතිය උල්ලංගනය කිරීම යන චෝදනාව නීත්‍යානුකූලද? 

⁣නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහන දැන් කියා සිටින්නේ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පනවනු ලබන ඇඳිරි නීතිය පනවනු ලබන්නේ 1947 අංක 25 දරන සංශෝධිත මහජන ආරක්ෂක ආඥාපනතේ (මආආ) විධිවිධාන යටතේ නොවන බවත් 1897 අංක 3 දරන සංශෝධිත නිරෝධායන සහ රෝග වැලැක්වීමේ ආඥාපනතේ (නිරෝවැආ) හා ඒ යටතේ නිශ්චිතව සඳහන් නොකරන රෙගුලාසි යටතේ බවත්ය. මෙය පවතින නීතිය වරදවා දැක්වීමකි. 

ලංකා නීතිය යටතේ "ඇඳිරිනීතිය" පැනවිය හැකි ආකාර දෙකකි. ඉන් පලමු ආකාරය නම් මආආ හි 16 වගන්තිය යටතේ  ඇඳිරිනීතිය පැනවීමයි. මෙසේ ඇඳිරිනීතිය පැනවීම හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැති අවස්ථාවක සිදුකරන්නකි. නමුත් ඇඳිරිනීතිය පැනවීම (හෝ 17 වගන්තිය යටතේ අත්‍යවශ්‍ය සේවා ප්‍රකාශයට පත්කිරීම) කල හැක්කේ එවන් නියෝගයක් ගැසට් පත්‍රයේ පල කිරීම මගිනි. පනතේ 21(2) සමඟ කියවිය යුතු 2(3) වගන්තිය අනුව එසේ පනවන ඇඳිරිනීතිය හෝ අත්‍යවශ්‍ය සේවා "නියෝග" පිලිබඳව  වහා පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබිය යුතුය. පාර්ලිමේන්තුව විසිරුවා ඇති වර්ථමාන තත්ත්වය වැනි අවස්ථාවක, එවන් නියෝග නිකුත්කර ඇත්නම්, ජනාධිපති විසින් දින දහයක් තුල, නැත්නම් හැකි ඉක්මනින් පාර්ලිමේන්තුව යලි කැඳවිය යුතුය. ජනාධිපති කාර්යාලය මගින් නිකුත් කරන "ඇඳිරිනීතිය" පිලිබඳ කිසිදු මාධ්‍ය නිවේදනයක් මෙම විධිවිධානවලට අනුකූල නොවේ. 

හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට නැතිවිට  පනවනු ලැබිය හැකි ඇඳිරිනීතිය කඩකරන අයෙකුට එරෙහිව මහේස්ත්‍රාත් උසාවියකදී ලඝු නඩුවිභාගයකින් පසු  වරදකරු කරනු ලැබුවහොත් බරපතල වැඩ සහිතව මසක කාලයකට සිරදඩුවම් සහ/හෝ රුපියල් සියයක දඩයකට යටත් කරනු ලැබිය හැක.

"⁣ඇඳිරිනීතිය" පැනවිය හැකි දෙවන ආකාරය නම් මආආ හි දෙවන වගන්තිය හා දෙවන කොටස යටතේ හදිසි අවස්ථා ප්‍රකාශයට පත්කිරීමක් කර ඇති විටෙක මආආ හි 5 වගන්තිය යටතේ නිකුත්කොට ඇති 2019 අප්‍රේල් 22 දිනැති අංක 2120/5 දරන ගැසට් පත්‍රයේ පලකරන ලද  හදිසි අවස්ථා රේගුලාසි වල එන 14 වන රෙගුලාසිය යටතේ "ඇඳිරිනීතිය" පැනවීමයි. [හදිසි අවස්ථා රෙගුලාසි පාර්ලිමේන්තුව විසින් දින දාහතරක් තුල සම්මත කලහොත් පමනක් මසක කාලයක් සඳහා බල පැවැත්වේ. මආආ යටතේ හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කලවිට ආන්ඩුක්‍රම ව්‍යවස්ථාව හැර අන් සෑම නීතියක්ම හදිසි අවස්ථා රෙගුලාසිවලට යටපත් වන බැවින් ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 155(4) ප්‍රකාරව  විසුරුවා ඇති පාර්ලිමේන්තුවක් දින දහයක් තුල නැවත නිරායාසයෙන්ම කැඳවෙනු ඇත.]

හදිසි අවස්ථා තත්ත්වයකදී එකී හදිසි අවස්ථා ⁣රෙගුලාසි වල 14 වන රෙගුලාසිය යටතේ  ජනාධිපති විසින් නියෝගයක් මගින් ඇඳිරිනීතිය පැනවිය හැකි අතර එම නියෝගයේ නම්කරනු ලබන පුද්ගලයාගේ  අවසරය මත පමනක් පුද්ගලයන්ට ඇඳිරිනීති කොන්දේසි මඟහැරිය හැකිය. බොහෝවිට මෙම නම්කරනු ලබන පුද්ගලයා යම් ප්‍රදේශයක පොලිස් ස්ථානාධිපතිවරයෙක්  හෝ යම් කලාපයක පොලිස් අධිකාරීවරයෙක් හෝ පොලිස්පතිම විය හැකිය. "පොලිස් ඇඳිරිනීතිය" යනුවෙන් බොහෝවිට හැඳින්වෙන්නේ මෙයයි. (මාර්තු 20 සිට ඇඳිරිනිතිය පනවන විට ඇත්තවශයෙන්ම මාධ්‍ය වාර්ථා කලේ පොලිස් ඇදිරිනීතිය ලෙසයි).කෙසේනමුත් හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කර නැති බැවින් හදිසි අවස්ථා රෙගුලාසි යටතේ පැනවෙන පොලිස් ඇඳිරිනීතියක් ලෙසද වර්තමානයේ ප්‍රකාශිත ඇඳිරිනීතිය සැලකිය නොහැක.

එසේනම් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇති "ඇඳිරිනීතිය" නිරෝවැආ යටතේ හෝ නීත්‍යානුකූල වන්නේද? 

සෞඛ්යය විෂයභාර ඇමාත්‍යවරිය අංක 2167/18 සහ 2020.03.20 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රය මඟින් කොරෝනා වෛරස් රෝගය හෙවත් කොවිඩ් - 19, නිරෝවැආ යටතේ ගැනෙන නිරෝධායනීය රෝගයක් ලෙසින් නම් කලාය. පසුව අංක 2168/6 සහ 2020.03.25 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍ මඟින්  ඇමතිවරිය විසින් නිරෝවැආ හි 2 සහ 3 වන වගන්ති යටතේ රෙගුලාසි ප්‍රකාශයට පත් කර ඇත. 

ඒ අනුව නිරෝවැආ යටතේ ප්‍රකාශ කර ඇති පැරනි රෙගුලාසි පහක දැක්වෙන, "නිසි බලධාරියා(proper authority)" යනු කවරෙක්දැයි යන්න සංශෝදනය කරමින් මාර්තු 25 ගැසට් පත්‍රය මගින් නිසි බලධාරියා යන්නට  පුද්ගල කොට්ඨාශ කීපයක් ම අන්තර්ගත කර ඇති අතර සමස්ථ ශ්‍රී ලංකාව සඳහාම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා (සෞඅජ) නිසි බලධාරියා ලෙස පත් කර තිබේ.

නිරෝවැආ හි 3 වන වගන්තියේ මගින් ආඥාපනතේ 2 වගන්තිය යටතේ රෙගුලාසි සකස් කළ හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේවත් අමාත්‍යවරයාට සාමාන්‍ය ඇඳිරිනීති තත්වයක් යටතේ මෙන් පුද්ගලයන්ගේ  ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන කිසිදු රෙගුලාසියක් මේ දක්වා පනවා ඇත්තේද නැත.

මේ හේතුව නිසා සෞඅජ විසින් ඇඳිරිනීතිය පැනවීමේ නියෝග කිසිවක් නිකුත් කල නොහැකි අතර ⁣එසේ කර අත්තේද නැත. ඇදිරිනීතිය පැනවීම හුදු ජනාධිපති මාධ්‍ය නිවේදනවලට සිමාවී ඇත්තේ මේ සියලු කරුනු යටතේය.

නිසි බලධාරියා වශයෙන් සෞඅජ පත්කරනු ලැබුනේ ⁣මාර්තු 25වනදා බැවින්  නිරෝවැආ හෝ එහි කිසිදු රෙගුලාසියක් යටතේ මාර්තු 20 සිට 25 දක්වා ඇඳිරිනීතිය වැනි තත්වයක් ප්‍රකාශයටපත් කිරීමට කිසිදු වෛශික හැකියාවක් පැවතියේද නැත. ඒ අනුව "නිරෝධායන ඇදිරිනීතිය" යනුවෙන් පොලීසිය දැන් හඳුන්වන තත්ත්වය එම දින කිහිපයට අදාලකරගත නොහැකිය. එනිසා, අඩු තරමින්, පොලීසියේ දුර්වල නීති තර්කය නිවැරදියයි උපකල්පනය කල විටකද එම දින කිහිපය සඳහා ප්‍රකාශයට පත්කල ඇදිරි නීතිය එම තර්කය යටතේවත් නීත්‍යානුකූල නොවේ.

නිරෝවැආ හෝ ඒ යටතේ පනවා ඇති  රෙගුලාසි උල්ලංගනය කල අයෙකුට මහේස්ත්‍රාත් අධිකරනයක් විසින් මාස හයකට නොවැඩි සිර දඩුවමක් හා/හෝ රුපියල් දහසක් දක්වා දඩයක් පැනවනු ලැබිය හැකිය. ඒ අනුව නිරෝධායන සීමාවන් හා ඇදිරිනීතිය හාත්පසින්ම වෙනස් ආකාරයේ බලපෑම් ඇතිකරන කොන්දේසි පනවයි.

මේ අනුව ජනාධපති මාධ්‍ය නිවේදන හරහා පනවා ඇති කිසිදු ඇඳිරිනීතියකට නෛතික වලංගුතාවයක් නැත.

"නිරෝධායන ඇදිරිනීතිය" යනුවෙන්, දින කිහිපයක සිට දැනට බලපවත්වන ඇදිරිනීතිය නම් කිරීමට පොලීසිය නව වචනයක් යොදමින් සිටින්නේ පොලීසියේ තම නීතිමය තර්කයේ දුර්වලභාවය වසං කිරීමටයි.

ඇදිරිනීතිය පැනවීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන තිබියදී, බරපතල දේශපාලන හේතු මත ආන්ඩුව ⁣එම නෛතික ප්‍රතිපාදන ක්‍රියාවට නොදමා, දැන්, අතිශයින් දුර්වල නීති තර්ක මගින් ක්‍රියාවට දමා ඇති අත්තනෝමතික  ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කිරීමට උත්සාහ ගනිමින් සිටී.

වසංගතය වැලැක්වීම සඳහා රට අගුලු දැමීම කලයුතු නමුත් එය කල යුත්තේ මහජන ජීවිතය පීඩාවට ලක්නොකරමින් සැලසුම් සහගත කලමනාකරනයකින් යුතුව හා බිලියන ගනනින් සමාජ සුභසාධන සඳහා මුදල් වෙන් කරමිනි. නීතිය අත්තනෝමතික ලෙස නැවීම හා නීතියට පිටින් කටයුතු කිරිම සඳහා ඉඩ සැලසීම නීතියේ ආධිපත්‍යයට හා ප්‍රජාතන්ත්‍රවාදයට එල්ලකරන ප්‍රහාරයන්ට ජීවය සපයයි. ආන්ඩුව මෙම නීති තත්වයන් මඟහරිමින් අනීතික ලෙස කටයුතු කරන්නේ වැඩකරන මහජනතාවට එරෙහිව ධනපති පාලක පන්තියේ වෙලඳපොල අවශ්‍යතාවයන් ඉෂ්ඨ කිරීම සඳහා විධායක ජනාධිපතිධූරයේ බලය ආඥාදායක පාලනරූපයක් වෙත සීඝ්‍රයෙන් පෙරලීම සඳහාය.

නීතීඥ සංජය විල්සන් ජයසේකර

Monday, April 27, 2020

ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මහමැතිවරනයට දින නියම කරයි

ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරමින්, වසංගතය මධ්‍යයේ ආන්ඩුව මහමැතිවරනයට දින නියම කරයි

සංජය ජයසේකර
25 අප්‍රේල් 2020

ආන්ඩුව මැතිවරනය සඳහා තදියම් වන්නේ, මහජන අප්‍රසාදය ඔඩුදුවා යෑමට පෙර තුනෙන් දෙකක පාර්ලිමේන්තු බහුතරයක් සහිත ආන්ඩුවක් පිහිටුවා, ආඥාදායක පාලනය නීතිගත කරන ව්‍යවස්ථාමය සංශෝධන ඇති කිරීම සඳහාය.

පාර්ලිමේන්තු මහමැතිවරනය පැවැත්වීමේ දිනය ජුනි 20 ලෙස ප්‍රකාශයට පත්කරමින් මැතිවරන කොමිෂන් සභාව (මැකොස) අප්‍රේල් 20 දා ගැසට් නිවේදනයක් නිකුත් කලේය. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තවීමේ අන්තරාය මධ්‍යයේ මැතිවරනයට දින නියම කිරීම පිලිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ මැකොස අතර මසක පමන කාලයක් පැවති කඹ ඇදිල්ල මැකොස රාජපක්ෂගේ වාසියට අත්හැර දමා ඇත්තේ ව්‍යවස්ථාමය අර්බුදයක් නිර්මානය කිරීමේ තත්වයක් උද්ගත කරමිනි.
මැකොස සභාපති මහින්ද දේශප්‍රිය පසුව මාධ්‍යයට සඳහන්කලේ මෙම දිනයද වසංගතය පාලනයේ තත්වය අනුව ඉදිරියේදී කල්යෑමට ඉඩ ඇති බවයි.
ව්‍යවස්ථාපිතව තමන්ට හිමිවූ පලමු අවස්ථාවම ඩැහැගත් රාජපක්ෂ,   මාර්තු 02 මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරි අතර, මහමැතිවරන දිනය ලෙස 2020 අප්‍රේල් 25 සහ නව පාර්ලිමේන්තුව ප්‍රථමයෙන් කැඳවන දිනය  2020 මැයි 14 බව මැකොස නිවේදනය කලේය.
රාජපක්ෂ පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හලේ පාර්ලිමේන්තුවේ නියමිත කාලය අවසන් වීමට තවත් මාස හයක් ඉදිරියට තිබියදීය. මී⁣ට පෙර ඔහු පාර්ලිමේන්තුව මාසයකට අත්හිටවූයේද එවැනිම ප්‍රජාතන්ත්‍ර-විරෝධී පියවරකිනි. 
පුපුරන සුලු පන්ති අරගල මාලාවක් හා ගැඹුරුතර ආර්ථික අර්බුදයක් මධ්‍යයේ තත්වය තමන්ට අවාසිදායක ලෙස පෙරලීමට ප්‍රථම තුනෙන් දෙකක බහුතර බලයක් සහිතව තමන් බලයට පැමිනි ශ්‍රී ලංකා පොදුජන පෙරමුනේ (ශ්‍රීලපොපෙ) ආන්ඩුවක් පිහිටුවා ගැනීමට රාජපක්ෂ අපේක්ෂාවෙන් සිටී.
පාර්ලිමේන්තුව මෙසේ විසුරුවා හරිනු ලැබූවිටක, ව්‍යවස්ථාවේ 70 (5) (අ) හා (ඇ) වගන්ති අනුව, මැතිවරනයෙන් තෝරාපත්කරගනු ලබන අභිනව පාර්ලිමේන්තුව, එය විසුරුවාහරිනු ලැබූ මාර්තු 02 සිට මාස තුනක් තුල පලමුවරට රැස්වීම සඳහා ජනාධිපති විසින් කැඳවිය යුතුවේ. මෙසේ ව්‍යවස්ථානුකූලව නව පාර්ලිමේන්තුව රැස්වියයුතු දීර්ඝම දිනය වන්නේ ජුනි 02 වන දිනයි. ඒ අනුව මැතිවරනය ⁣ජුනි 02 ට ප්‍රථම පැවැත්විය යුතුය.
පාර්ලිමේන්තු මැතිවරන පනත (පාමැප) හි 24(3) වගන්තිය පරිදි, යම් හදිසි තත්වයක් හේතුකොටගෙන මැතිවරනය සඳහා ජනාධිපති නියමකොට ඇති දිනය තුල එය පැවැත්වීමට නොහැකිනම් ඒ සඳහා  වෙනත් දිනයක් නියම කිරීමට මැකොසට හැකිය. නමුත් රටේ ඉහලම නීතිය වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉහත සඳහන්කල විධිවිධානයන්ට මැකොස බැඳී පවතින බැවින්,  පාර්ලිමේන්තුව විසුරුවීමෙන් මාස තුනක් ඉක්මවන දිනයක් වන ජුනි 20 දා මැතිවරනය පැවැත්වීමට මැකොස ගත් තීරනය අනීතික හා ව්‍යවස්ථා විරෝධී වේ.
මෙම අනීතිකභාවය මගින් බරපතල ව්‍යවස්ථා අර්බුදයක් නිර්මානය කරයි. මැතිවරනය ජුනි 20 ට නියමකොට ඇති බැවින්, ජුනි 02 හෝ ඊට ප්‍රථම නව පාර්ලිමේන්තුව කැඳවීමේ හැකියාවක් නැත. ජුනි 02ට ප්‍රථම නව පාර්ලිමේන්තුව නොකැඳවුවහොත්, පාර්ලිමේන්තුව විසුරුවාහැරීමේ ජනාධිපතිගේ මාර්තු 02 ප්‍රකාශය බල රහිත තත්වයකට පත්කෙරෙන අතර, නීතිය අනුව පාර්ලිමේන්තුව විසුරුවා නොහරිනලද තත්වයකට පත්කෙරේ.  
මාධ්‍යයට අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු හා දෙමල ජාතික සංධානයේ  හිටපු මන්ත්‍රීවරයෙකු වන එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශකලේ මෙම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාවන් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරනයට යෑමට තමන් සූදානම් බවය.  වර්ධනය වන ව්‍යවස්ථා අර්බුදය ගැන ඉඟිකරමින් හිටපු කථානායක කරු ජයසූරිය සඳහන් කලේ මැතිවරන දිනය පිලිබඳ අධිකරනය ගන්නා තීන්දුවක් පිලිගන්නා බවත් තමන් පාර්ලි⁣මේන්තුව යලි කැඳවීමේ සූදානමක් ඇති බවට මතුවන ආරංචි අසත්‍ය බවත්ය.
අප්‍රේල් 20 රෑ රූපවාහිනී මාධ්‍ය හරහා විකාශය කෙරුනු, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ ජනාධිපති රාජපක්ෂ අතර පැවති සම්මුඛ සාකච්ජාවේදී මෙම ව්‍යවස්ථා අර්බුදය පිලිබඳ හොඳින්ම සවිඥානික වූ රාජපක්ෂ මෙසේ සඳහන් කලේය: “යම් හෙයකින් ජූනි 02 වන විට ජන්දය තබා නව පාර්ලිමේන්තුව පත්වී නොතිබුනහොත් මට පාර්ලිමේන්තුව කැඳවන්නට පුලුවන්කමක් නැහැ. එහෙම උනොත් ඒක කරන්න වෙන්නෙ ඉදිරි දිනයකදී.”  
රටේ නීතියේ ආධිපත්‍යය  හා ව්‍යවස්ථාව කෙරෙහි තම නොසැලකිල්ල හා අවඥාව ප්‍රකාශ කල රාජපක්ෂ “නීතිය, කල නොහැක්කක් කිරීමට කියන්නේ නැත-Law does not expect to do the impossible” යනුවෙන් නීතිමය සිද්ධාන්තයක් (Lex Non Cogit Ad Impossibilia) නරුම ලෙස ගෙනහැර පෑවේය.
“මොනම හේතුවක් නිසාවත් පරන පාර්ලිමේන්තුව නැවත කැඳවීමට” තමන් සූදානම් නැති බව ද ඔහු නැවතත් අවධාරනය කලේය. මෙම ප්‍රකාශයන්හි බරපතල ඇඟවුම් පවතී.
රාජපක්ෂ සරලව කියන්නේ, “කල නොහැක්කක්” සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු නොකිරීම, නීති-විරෝධී නොවන බවයි.
ඔහු එසේ කියන්නේ ව්‍යවස්ථා අර්බුදයක් පැන නොනැගෙන පරිදි කල හැක්කක් තිබියදී ය. එනම්, වසංගතයේ අවදානම පහවගිය කලෙක මැතිවරනය පවත්වන තෙක්, තමන් විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත කැඳවීමයි. ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය යටතේ ඒ සඳහා    ප්‍රතිපාදන පවතී. 
කෙසේ නමුත්, තමන් එසේ නොකරන බවත්, මාස තුනේ කාලයද ඉක්මවා යම්කිසි දවසක මැතිවරනය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවන දිනය තෙක්  තමන් ව්‍යවස්ථාවිරෝධීව විධායක බලය අනීතිකව   ක්‍රියාවට දැමීමට සූදානම්ව සිටින බවත් රාජපක්ෂ පවසයි. 
ආන්ඩුගැති  ප්‍රතිගාමී නීති උපදේශකයන් රාජපක්ෂගේ නීතිය නොතකා කටයුතුකිරීම   අනුමත කිරීම සඳහා තවත් නීතිමය සංකල්පයක් වන  “අවශ්‍යතාවයේ මූලධර්මය”  සාවද්‍යලෙස යොදාගනී. මෙම මූලධර්මය පවතින්නේ යම් කටයුත්තක් කිරීම සඳහා අවශ්‍ය  ප්‍රතිපාදන නීතිය තුල නැති දුර්ලභ අවස්ථාවන්හිදී පමනි. 
ව්‍යවස්ථාවට හා නීතියේ ආධිපත්‍යයට පිටින්, අත්තනෝමතිකව තම පාලනය ගෙනයෑමේ සූදානම රාජපක්ෂ දැනටමත් හොඳින් ප්‍රකට කොට ඇත. 
19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ තබාගැනිමට ජනාධිපතිට නොහැකි නමුත්,  පසුගිය නොවැම්බරයේ ජනාධිපතිධුරයට පත්වීමත් සමග ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු ආයතන ගනනාවකම තත්ත්වාකාර බලය රාජපක්ෂ තමන්වෙත පවරාගත්තේය.  මාර්තු 17 සිට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවද එම අමාත්‍යංශය යටතට ⁣ගෙන තිබේ.
වසංගතය මධ්‍යයේ ඇඳිරිනීතිය පැනවීම හා ඉවත්කිරීම, අත්‍යවශ්‍යසේවා ප්‍රකාශයට පත්කිරීම, කොවිඩ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානය පිහිටුවීම හා එයට යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම යනාදී කටයුතු ගනනාවක් කිසිදු නීතිමය වලංගුතාවයක් නැති හුදෙක් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පමනක් කරනලද ඒවාය.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඇතුලු රජයේ ආයතන ගනනාවකම ඉහලම තනතුරුවලට හිටපු හමුදා නායකයන් පත්කරමින්ද, මහජන ආරක්ෂක පනත යටතේ පොලිස් බලතලද සහිතව රටපුරා ත්‍රිවිධ හමුදාව දිගේලි කරමින්ද, රාජපක්ෂ වඩවඩාත් මිලිටරිය මත පාදක වූ පාලනයක් ගෙනයමින් සිටී. තමන්ට අවනත නාමික කැබිනට් මන්ඩලයක් සහිත විධායකයේ ප්‍රධානියා වශයෙන් රාජපක්ෂ දැන් තත්වාකාරයෙන්ම මූල්‍ය කලමනාකරනය ඇතුලු රටේ ව්‍යවස්ථාදායක බලයද තමන් වෙත පවරාගෙන තිබේ.
වසංගතය මධ්‍යයේ මහමැතිවරනය පැවැත්වීම මුලදී (මාර්තු21) කල්දැමූ මැතිවරන කොමිෂන් සභාව මැතිවරනයට දින නියම කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරනයේ මතය විමසන ලෙස කල ඉල්ලීම රාජපක්ෂ          ප්‍රතික්ෂේප කලේ වසංගතය හේතුවෙන් මහජනයාට විය හැකි ව්‍යසනකාරී අන්තරායද නොසලකමින් කෙසේ හෝ නොපමාව මැතිවරනය පැවැත්වීමේ තම උත්සුකය  ප්‍රකට කරමිනි.
ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර හරහා අප්‍රේල් 06 මැකොසට  ලිපියක් යවමින් “ඡන්දය ප්‍රකාශ කිරීමට මේ රටේ ජනතාවට අයිතිය ඇති බවත්, එය ඔවුන්ගේ ස්වෛරි අයිතියක් බවත්” රාජපක්ෂ සඳහන් කලේය. මැතිවරනය ඉක්මන් කරන්නේ මහජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් තහවුරු කිරීමේ අරමුනෙන් බව ව්‍යාජ ලෙස ඇඟවීමට රාජපක්ෂ උත්සාහ කලේය.
වසංගත අවදානම පවතිද්දී මැතිවරනය පැවැත්වුවහොත්  අනෙක් දේශපාලන පක්ෂ වලට නිදහසේ මැතිවරන උද්ඝෝෂනයේ යෙදීමට ඇති අවකාශය බොහෝදුරට වැලකෙන බව රාජපක්ෂ දනී.
වසංගතයේ අවදානම පහවගොස් වාතාවරනය සාමාන්‍ය අතට හැරී ඇතිබවට වන ව්‍යාජයක් මහජනයාට ඒත්තුගැන්වීම සඳහාත්, මහා ව්‍යාපාරවල ලාභ ආරක්ෂා කරදෙනුවස් කම්කරුවන් නැවත වැඩට කැඳවිම සඳහාත්, කොවිඩ්-19 අගුලුදැමීම අවසන් කරමින් ආන්ඩුව පසුගිය සඳුදා (20) සිට ඇඳිරිනීති කොන්දේසි ලිහිල් කලේය.
කොරෝනා වසංගතය ⁣තුල උග්‍රකෙරී ඇති ගෝලීය මුල්‍ය කඩාවැටීම හමුවේ වඩාත් ගැඹුරුවන මූල්‍ය අර්බුදයකට මුහුන දී සිටින රාජපක්ෂ ආන්ඩුවට, එම අර්බුදයේ සමස්ත බර කම්කරු-පීඩිත මහජනතාව මත පැටවීම හැර අන් විකල්පයක් නොමැත. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුලු මුල්‍ය ප්‍රාග්ධනය මගින් නිර්දේශිත දැවැන්ත කප්පාදු හරහා රාජපක්ෂ ආන්ඩුව ක්‍රියාත්මක කරමින් සිටින්නේ එම වැඩපිලිවෙලයි. 
මැතිවරනය වඩාත් කල්ගියහොත්, එම කප්පාදු වැඩපිලිවෙල කෙරෙහිත්,  කොරෝනා වසංගතය හමුවේ තම ජීවිත සම්බන්ධයෙන් ආන්ඩුවේ සාපරාධී නොතැකීම කෙරෙහිත් මහජන අප්‍රසාදය ද උත්සන්නවී, අවශ්‍ය පාර්ලිමේන්තු බහුතර බලය තහවුරු කරගත නොහැකි වෙතැයි රාජපක්ෂ ගනන් බලයි. 
ගැඹුරුවන දේශපාලන හා ආර්ථික අර්බුදය මධ්‍යයේ අඥාදායක පාලනරූපයන් වලට ගමන් කිරීම ලංකාවේ රාජපක්ෂ ඇතුලු පාලක පන්තියට පමනක් සීමාවූවක් නොවේ. එය ජාත්‍යන්තර ප්‍රපංචයකි. මෙහි දුෂ්ඨ ස්වභාවය කෙතෙක්ද යත්, එක්සත් ජනපදයේ  ඩොනල්ඩ් ට්‍රම්ප්,  ප්‍රන්සයේ ඉමැනුවෙල් මැක්‍රොන් සිට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි දක්වා ලොව පුරා පාලකයෝ වසංගතය ගසා කමින් අඥාදායක පාලන රූපයන් වර්ධනය කරති. 
කර්තෘ පහත ලිපි නිර්දේශ කරයි:

Tuesday, April 21, 2020

How the"impossible" is possible for Sri Lanka's President

Sri Lankan president Gotabaya Rajapaksa dissolved Parliament on the 02 March 2020, six months ahead of the expiry of the duration of the then Parliament.

By virtue of the powers vested in him by Article 70(1) and 70(5) of the Constitution of the  Republic, to be read with Article 33(2)(c) thereof and in pursuance of the provisions of Section 10 of the Parliamentary Elections Act (PEA) No. 1 of 1981, the President issued the Proclamation by gazette No. 2165/8 of 02.03.2020 (a) dissolving the Parliament  with effect from midnight of 02 March, (b) summoning the new Parliament to meet on the 14 May 2020 and (c) fixing 25 April 2020 as the date for the election of Members of new Parliament.

Lex Non Cogit Ad Impossibilia

Article 70(5)(a) states the Proclamation dissolving Parliament shall fix a date or dates for the election of Members of Parliament, and shall summon the new Parliament to meet on a date not later than three months after the date of such Proclamation. Under Article 70(5)(c), by a subsequent Proclamation, the President can also postpone this date of first meeting of the new parliament,  but that date so fixed by the subsequent Proclamation shall be a date not later than three months after the date of the "Original" Proclamation.

Therefore, the Constitution is very clear that the country can run only for three months without a Parliament, after the dissolution of parliament [except under rare circumstances contemplated under Article 70(6), whereat it could go up to four months]. The new Parliament should first meet before the expiry of three months from the date of dissolution of Parliament, and so, the Election for the election of members of parliament should be fixed within these three months. The date of the election within these three months should be first fixed by the President, but this date could be later varied by the Elections Commission, due to some emergency or unexpected  exigencies of the situation, under Section 24(3) of the PEA. However, the Election Commission is still bound by Article 70(5)(a) of the Constitution, to re-fix the election on a next date, which should still be within the three months from the date of dissolution of the Parliament by the President, so that the President is not prevented from summoning the new Parliament for the first time within the mandatory three month period required under Article 70(5)(a) or 70(5)(c) of the Constitution. The Commission is not empowered, by Section 24(3) of the PEA to refix the Elections on any date it thinks fit, which may fall beyond the said three month period.

In the circumstances, it is very clear that the fixing of the Elections on the 20 June 2020 by the Elections Commission is ultra vires the PEA and the Constitution, illegal and ab initio null and void. It is, one may reasonably suppose,  because of this obvious legal hurdle that Elections Commission requested the President to refer the matter to the Supreme Court to decide on the date of the election to be held on a date that may fall even after 02 June. The President refused, and the Commission had no option.

One may conclude that the political pressure from the government paved the way for the Elections Commission to take this obviously "impossible" decision. It is thus true when the President himself refers to the maxim, "the Law does not compel a man to do that which is impossible" (Lex Non Cogit Ad Impossibilia), but, on the contrary, Politics does.


What was legally possible ?

If the elections cannot be held due to some exigencies of the situation, like today when a pandemic has hit, within the said three month period from the date of dissolution of parliament and the date of first meeting of the new parliament, such situation can and should be considered as an emergency contemplated under Article 70(7) of the Constitution. Under Article 70(7),  at any time after the dissolution of Parliament, if the President is satisfied that an emergency has arisen of such a nature that an earlier (i.e.before three months) meeting of Parliament is necessary, he may by Proclamation summon the Parliament which has been dissolved to meet on a date not less than three days from the date of such Proclamation and such Parliament  could be be operative till the conclusion of the General Election and be dissolved thereupon.

But, for reasons best known to him, the President has asserted that he is not gonna recall the parliament dissolved, and has decided to flout Constitutional provisions.

The decision of the Elections Commissions raises serious issues of rule of law and questions of democratic procedure. Most importantly, this illegality of the Commission's decision will render the presidential proclamation dissolving the Parliament on the 02 March ineffective and invalid, as the constitutionally permitted period to hold the election has lapsed.

An acute constitutional crisis is imminent, if these constitutional questions are raised.


Sanjaya Wilson Jayasekera, LL.B, LL.M.
Attorney-at-Law.

Friday, April 17, 2020

නීතියේ ආධිපත්‍යය කෙලසීම: ජනාධිපති ආඥාදායකත්වයක් කරා පෙරට

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝ රටේ නීතිමය සීමාවන් කිසිලෙසක මායිම් නොකරමින් ශ්‍රී ලංකා ආන්ඩුව කොරෝනා වසංගත අර්බුදය හමුවේ අත්තනෝමතිකව කටයුතු කරමින් සිටී. ජනාධිපති ආඥාදායක පාලනයක් පිහිටුවීමේ වැඩපිලිවෙලේ කොටස් ලෙස සිවිල් පරිපාලනයද මිලිටරීකරනය කර තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගනිමින් ප්‍රකාශනයේ නිදහස මර්දනය උත්සන්න කර තිබේ. පහත දක්වා ඇති පරිදි  අවස්ථා ගනනාවක දී රටේ නීතිය අවඥාසහගතව නොතකා හැර තිබේ: 

  • 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ තබාගැනිමට ජනාධිපතිට නොහැකි නමුත් ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු ආයතන ගනනාවකම තත්ත්වාකාර බලය ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපති විසින් පවරාගෙන සිටී.
  • කොවිඩ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය පිහිටුවීම හා එයට යුධ අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම කිසිදු නීතියක් යටතේ ගැසට් නිව්දනයක් මගින් ප්‍රකාශයට පත්කොට නැත. මෙය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) වගන්තිය යටතේ එන ප්‍රතිපදාන ඕනෑකමින්ම මගහැරයාමකි. ඒ අනුව එහි නීතිමය පුද්ගලභාවය ප්‍රශ්නගත වන අතර සිල්වා ඇතුලුව එහි කිසිවෙකු පාර්ලිමේනතුවට හෝ අධිකරනයකට වගවීමට ලක්කිරීම ගැටලුසහගතය.
  • ඇඳිරි නීතිය පැනවීම, අත්හිටුවීම හා නැවත පැනවීම මහජන ආරක්ෂක (පීඑස්ඕ) පනතේ 16 වන වගන්තිය යටතේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කල යුතු මුත් එසේ කර නැත. 
  • සෞඛ්‍ය, ආරක්ෂක අංශ, බැංකු,රේගුව, භාන්ඩ බෙදාහැරීම, සහල් මෝල්, ජලය, විදුලිය, ඉන්දන සැපයුම, ඔසුසල හා ෆාමසි අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් මාධ්‍ය නිවේදන නිකුත්කර තිබුනද ඒ කිසිවක් පීඑස්ඕ හි 17 වගන්තිය හෝ 1979 අංක 61දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ හෝ ගැසට් පත්‍රයේ නිවේදන ලෙස පලකර නැත.
  • මෙසේ ඇඳිරිනීතිය පැනවීම හෝ අත්‍යවශ්‍ය සේවා ගැයට් පත්‍රයේ පල නොකිරීම නිසා එම නිවේදන නීති විරෝධී වේ. එසේ ගැසට් පත්‍රයේ පලකිරීමෙන් පසු ඒ පිලිබඳව වහා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු අතර එනම් එවිට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදුවේ. ජනාධිපති දැනටමත් ප්‍රකාශකොට ඇති පරිදි පාර්ලිමේනතුව නැවත කැඳවීමේ කිසිදු සූදානමක් ඔහුට නැත. 
  • වසංගතය මැඩපැවැත්වීම, 2005 ආපදා කලමනාකරන පනත අනුව පිහිටුවා ඇති සිවිල් ආයතනයක් වන, දැන් ආරක්ෂක අමාත්‍යංශයේ විශයපථයට දමා ඇති, ආපදා කලමනාකරන මධ්‍යස්ථානය යටතේ වෛද්‍ය මන්ඩලවලින් සමන්විත ව්‍යුහයකට අන්තර්ග්‍රහනය කල යුතුව පැවතුනද, ජනාධිපති එම නීතිය නොසලකා හරිමින් එය මිලිටරියේ ඍජු හා පූර්න පාලනයට නතුකර ඇත්තේය. 
  • සාමාන්‍ය නීතියක් වන ආපදා කලමනාකරන පනත යටතේ පිහිටුවා ඇති වඩා ප්‍රජාතන්ත්‍රිය වෘහයක් වන ආපදා කලමනාකරන ජාතික කවුන්සිලය ක්‍රියාත්මක කිරීම ඇතුලු  පවතින නීති යටතේ දැනටමත් පහිටුවා ඇති ආයතන හරහා ක්‍රියාත්මක කලහැකි කාර්යභාරයන් රාශියක්ම ආවරනය කිරීම සඳහා රාජපක්ෂ අක්‍රමවත් පියවර ගනිමින් ජනාධිපති කාර්යසාධක බලකායක් (ජකාසාබ) පිහිටවනු ලැබූයේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂනයට එම කටයුතු යටත්කිරීමේ  අවශ්‍යතාවය මගහැරීමටය. ඒ අනුව ජකාසාබ පවතින නීති විශයපථයට පිටින් ගිය බලයන් අත්පත්කරගෙන තිබේ.
  • අදිරිනීතිය පනවා දින තුනක් ඇතුලත රාජපක්ෂ යූද අපරාධකාර සමූහඝාතකයෙකු වන හිටපු හමුදා සාජන් සුනිල් රත්නායක ජනාධිපති සමාව දී නිදහස් කලේය.
  • ඇඳිරිනීතිය පනවා ඇති නමුත් රජයේ නිවාඩුදින ප්‍රකාශයට පත්කිරීමකින් තොරව "නිවසේ සිට වැඩකිරීම" යන ක්‍රමවේදයක් ප්‍රකාශයට පත්කර ඇත.  මෙයට කිසිදු නෛතික පදනමක් නැත.
  • ජාතික ආපදා අවස්ථාවකදී හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවිය යුතු වන නමුදු ජනාධිපති තම ආඥාදායක නිවේදන හරහා විධායක නීති සම්පාදනය මගින් පාලනය කිරීමට පිවිස සිටී.
  • රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් ජනාධිපති විසින් යම් මුදල් වෙන්කිරීම් සඳහා අවසර ලබාදී අතිමුත්, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එසේ කිරීම නීතියට පටහැනිය. 
  • ආහාර ද්‍රව්‍ය වල "පාලන මිල" අධීක්ෂනය මිලිටරියට හා බුද්ධි අංශ වෙත පවරා ඇත.
  • වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් ආදාහනය හෝ භූමිදානය කලහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයම නිර්දේශ කර ඇති මුත්, මුස්ලිම් ජාතික ජනතාවගේ දැඩි විරෝ්ධය ද නොතකා හරිමින් ආගමික චාරිත්‍ර හා සමානාත්මතාවය පිලිබඳ ව්‍යවස්ථාපිත මූලික හිමිකම්ද උල්ලංගනය කරමින් සියලු මෘත ශරීර ආදාහනය කල යුතු බවට භාරකාර සෞඛ්‍ය ඇමති පවත්‍රා වන්නිආරච්චි ලවා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

පොලීසියට හා මිලිටරියට ද අවශ්‍ය පරිදි නීතියට පිටින්  ක්‍රියාත්මක වීමට ජනාධිපති ප්‍රමුඛ භාරකාර ආන්ඩුව ඉඩ සලසා තිබේ:

  • නීතිවිරෝධී ඇඳිරිනීතිය යටතේ පොලීසිය ඉවක්බවක් නැතිව දසදහස් ගනනින් පුද්ගලයන් හා වාහන අත්අඩංගුවට ගනිමින් සිටී. නීතිය අනුව මේ සියල්ලද අනීතිකය. 
  • අප්‍රේල් 01දා වැඩබලන පොලිස්පති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ගේ “සුලු අඩුපාඩු” මතු කර පෙන්වමින් “බරපතල ලෙස” ඔවුන්ගේ “රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රකාශ” අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතු බවට පොලිසියට නියෝගයක් නිකුත් කලේය. එවන් අපරාධ වරදක් දක්වන කිසිදු නීතියක් රටේ නැත. 
  • එම නියෝගය යටතේ තරිදු අවිශ්ක සිසුවා ඇතුලු නව දෙනෙක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත. ජාතිවාදයට එරෙහි සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන රම්සි රසීක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුත් පනත (අයිසීසීපීආර්)යටතේ සාවද්‍ය චෝදනා මත අත්අඩංගුවටගෙන රිමාන් බන්ධනාගාර ගතකොට ඇත. මේවා ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත මූලික අයිතියම උල්ලංගනය කල අවස්ථාය.
  • මීට සාපේක්ෂව මුස්ලිම් මහජතාවට එරෙහිව වාර්ගික උසිගැන්වීම් කරන කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැත. හමුදාපති සිල්වා මාධ්‍යට කල ප්‍රකාශ හරහා වසංගතය ව්‍යාප්තවීමේ වගකීම මුස්ලිම් ජනයා මත පැටවීමේ අතිෂය දුෂ්ඨ හා නරුම ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේය.
  • නිරෝධායනය දඩමීමා කරමින් සාමාන්‍ය පටිපාටියටද පටහැනි ලෙස පුද්ගලයන් බලහත්කාරයෙන් රැගෙනගොස් කඳවරුවල රඳවා තැබේ.
  • වසංගතය මර්දනය මධ්‍යයේ උප පොලිස්පති ලෙස උසස්කරනු ලැබ ඇති අජිත් රෝහන ආන්ඩුවේ මාධ්‍ය⁣ය හොරනෑ හරහා තර්ජනය කරමින් කියා සිටියේ ඇඳිරි නීතිය කඩකරමින් දිස්ත්‍රික්ක අතර මාරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දින 14ක අනිවාර්ය නිරෝධායන කඳවුරු තුල රඳවා තබන බවයි. එවන් නීතියක් නොමැත.
  • පසුගිය 11 දින සිට පොලීසිය මුහුනු අවරන පැලදීම අනිවාර්ය කර ඇත්තේ වෛද්‍ය නිර්දේශවලටද පිටින් යමින් හා කිසිදු සෞඛ්‍ය රෙගුලාසියක් යටතේ නොවේ.
  • මාර්ගයේ නිකරුනේ හැසිරුනේය යන "වරදට" පුද්ගලයන්ට එවෙලේම දඬුවම් දීමට කටයුතු කල පොලිස් නිලධාරීන් නිර්දෝශී බවට ප්‍රකාශකොට දිනක වැඩ අත්හිටුවීමකට පසු සේවයේ යලි පිහිටුවා ඇත.
  • ඇඳිරිනීතිය උල්ලංගනය කරමින් ආගමික රැස්වීම් පැවැත්වීම සම්බන්ධව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී වාර්ගික අනන්‍යතාවය මත අසමාන ලෙස සලකා තිබේ. 

රටේ නීතිමය ප්‍රතිපාදනවලට පිටින් මෙලෙස කටයුතු කිරිම නීතියේ ආදිපත්‍යය යටපත් කිරීමකි. වසංගතය මධ්‍යයේම තත්වය බරපතල වීමට ප්‍රථම මහ මැතිවරනය පවත්වා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාව නිසා ආන්ඩුව පාර්ලිමේන්තුව නැවත නොකැදවමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටී.


නුදුරේදීම පුපුරායාමට නියමිත පන්ති අරගල මාලාවක් තම ධනපති පාලනය අභියෝගයට ලක්කරනු ඇතබව රටේ පාලක පන්තිය හොඳින් සවිඥානකය. එබැවින්,  පාර්ලිමේන්තුව රැස්වුවද සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා මුස්ලිම් වාර්ගික පක්ෂ  ආදී ධනපති පක්ෂ සියල්ලම ආන්ඩුවේ මිලිටරීකරන පියවරයන් අනුමත කිරීමයි. 

කොරෝනා වසංගතය ව්‍යවසනයක් බවට පත්වීමට දශක ගනනාවක් පොදු සෞඛ්‍ය සේවා ඛාදනය කරමින් නවලිබරල් ප්‍රතිප්ති ක්‍රියාත්මකකල සෑම ආන්ඩුවක්ම වගකිව යුතුය. මෙය ලොව සෑම රටකම සත්‍යයකි. කම්කරු පන්තියේ පොදු සතුරා කොරෝනාව නොව ධනපති පන්ති පාලනය හා පුද්ගලික ලාභය ගැරමේ පද්ධතියයි.

Image courtesy of dailymirror

Wednesday, April 1, 2020

ආගමික ප්‍රතිගාමීත්වයේ අවශ්‍යතාවයට ලේඛක සත්කුමාර සිරගත කිරීමෙන් අදට වසරයි.

තම මුහුනුපොත් ගිනුමේ ලියා පලකල "අර්ධ" නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට හා බුදුන්ට අපහාස කරන බවටත් බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවටත් සිංහල වර්ගවාදී සංවිධානවලට සම්බන්ධ භික්ෂුවක් විසින් වෛරී සහගත ලෙස කර තිබූ පැමිනිල්ලක් මත ලේඛක ශක්තික සත්කුමාර නීතිව්රෝදී ලෙස අත්අඩංගුවට ගෙන අදට වසරකි. 
සත්සකුමාරගේ නිදහස ඉල්ලා සසප උත්ඝෝෂනය

දින 130 ක සිරගත කිරීමකින් පසු බරපතල ඇප කොන්දේසි මත ඔහු තාවකාලිකව නිදහස ලබා සිටී. ලේඛකයාට එරෙහිව අධිචෝදනා ගොනු කරන්නේද යන නීතිපතිගේ තීරනය පොලීසිය මගින් උසාවියට දැනුම්දීමට නියමිතව තිබේ.

ගිය වසරේ අප්‍රේල් 01 වන දින  සත්කුමාර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබුනේත්, රඳවා තැබුනේත් දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට සැකකරුවෙකු ලෙසයි. 

එම චෝදනා යටතේ අධිචෝදනා ගොනුකිරීමට තීරනය කරනු ලැබුව හොත් සත්කුමාරට එරෙහිව කුරුනෑගල මහ අධිකරනයේ නඩු පැවරෙන අතර, වසර දහයක සිර දන්ඩනයකට ඔහුව යටත්කරනු ලැබිය හැකිය.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනිම මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංගනය කිරීමට එරෙහිව සත්කුමාර ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවන් අතර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් දැනටමත් නීතිපති පෙනීසිටින බැවින්, අධිචෝදනා ගොනුකිරීම පිලිබඳ අපක්ෂපාතී තීන්දුවක් ගැනීමෙන් නීතිපති දැනටමත් බොහෝ සෙයින් වලක්වනු ලැබ ඇත.

කලා කෘතියට අමතරව නිර්මාපකයාටද එරෙහිව පීඩක නීති යොදා, අධිකරන ක්‍රියාදාමය අවභාවිතා කරමින් කලාව හා ප්‍රකාශනයේ නිදහස මර්ධනය කිරීමට පාලක පන්තිය සත්කුමාරගෙන් අරම්භ කලේය.

ධනපති ආර්ථික අර්බුදයේ ලෝක පරිමාන සංසිද්ධියක කොටසක් ලෙස ලංකාවේ පාලක පන්තිය තවතවත් දකුනට ගමන් කරමින් සියලු ආකාරයේ ප්‍රතිගාමීත්වයන් වර්ධනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් පාගා දමමින් අධිපතිවාදය ශක්තිමත් කරමින් සිටී.

කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දමන බෞද්ධ ආගමික අන්තවාදයට උඩගෙඩි දෙමින් හා වාර්ගවාදය පෝශනය කරමින්, සමාජ මාධ්‍යජාලා අවහිර කරමින්, අන්තර්ජාල ⁣සුපරීක්ෂාකාරී නීති ගෙන එමින්, මරන දන්ඩනය නැවත කැඳවුම් කරමින්, කම්කරු අරගල මර්ධනය කරමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තම පන්ති පාලනය සඳහා වියරු උත්සාහයක නිරතවිය. 

සත්කුමාරගෙන් පසු ලේඛකයන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම මර්ධක නීති යොදාගැනීමට සූදානම් කෙරිනි. ජනාධිපතිවරනය ආසන්නයේදීම චිත්‍රපට අධ්‍යක්ෂ හා නාට්‍යකරු මාලක දේවප්‍රිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අයිසීසීපීආර් පනත යටතේම චෝදනාවලට ප්‍රශ්න කරනු ලැබිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක්ම මෙම මර්ධනයේ දේශපාලන අන්තර්ගතය පැහැදිලි කරමින් එයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සටන් වැදිනි. 

ප්‍රකාශනයේ නිදහසට එරෙහිව නව පාලනය යටතේත් පසුගිය කාලය තුල එල්ල කෙරුනු තර්ජනයන් රාශියක් පිලිබඳ තොරතුරු දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබිනි. 

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නිවාස අඩස්සියට පත්ව සිටින මලියන 22 ජනතාවක් තම අත්‍යවශ්‍ය සේවා ඉෂ්ඨ නොකිරීම සම්බන්ධවත්, දශක ගනනාවක් සමාජ සුභසාදන කප්පාදුවට ලක්කල සෞඛ්‍ය සේවයක අවම පහසුකම් යටතේ භයානක අන්තරායකට මහජනතාව ඇද දැමීම ගැනත්, වෙලඳපොල ආරක්ෂා කිරීම හා මැතිවරන නාමයෝජනා සඳහා වසංගත ව්‍යාප්තිය වැලැක්වීමට පියවර ගැනීමට සාපරාදී ලෙස කල් මැරීමත් ගැන ආන්ඩුව පිලිබඳ තදබල වික්ෂෝපයට පත් කම්කරු තරුන මහජනතාව කරනු ලබන විරෝධතාවයන් යටපත් කිරීම සඳහා දැන් සමාජමාධ්‍ය වාරනයකට ආන්ඩුව සැරසෙමින් සිටී.