Friday, April 17, 2020

නීතියේ ආධිපත්‍යය කෙලසීම: ජනාධිපති ආඥාදායකත්වයක් කරා පෙරට

ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් හෝ රටේ නීතිමය සීමාවන් කිසිලෙසක මායිම් නොකරමින් ශ්‍රී ලංකා ආන්ඩුව කොරෝනා වසංගත අර්බුදය හමුවේ අත්තනෝමතිකව කටයුතු කරමින් සිටී. ජනාධිපති ආඥාදායක පාලනයක් පිහිටුවීමේ වැඩපිලිවෙලේ කොටස් ලෙස සිවිල් පරිපාලනයද මිලිටරීකරනය කර තිබේ. සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයින් අත්අඩංගුවට ගනිමින් ප්‍රකාශනයේ නිදහස මර්දනය උත්සන්න කර තිබේ. පහත දක්වා ඇති පරිදි  අවස්ථා ගනනාවක දී රටේ නීතිය අවඥාසහගතව නොතකා හැර තිබේ: 

  • 19 වන ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව කිසිදු අමාත්‍යංශයක් තමා යටතේ තබාගැනිමට ජනාධිපතිට නොහැකි නමුත් ආරක්ෂක අමාත්‍යංශය ඇතුලු ආයතන ගනනාවකම තත්ත්වාකාර බලය ව්‍යවස්ථා විරෝධී ලෙස ජනාධිපති විසින් පවරාගෙන සිටී.
  • කොවිඩ්-19 වසංගතය වැලැක්වීමේ ජාතික ක්‍රියාකාරී මධ්‍යස්ථානය පිහිටුවීම හා එයට යුධ අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කිරීම කිසිදු නීතියක් යටතේ ගැසට් නිව්දනයක් මගින් ප්‍රකාශයට පත්කොට නැත. මෙය ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) වගන්තිය යටතේ එන ප්‍රතිපදාන ඕනෑකමින්ම මගහැරයාමකි. ඒ අනුව එහි නීතිමය පුද්ගලභාවය ප්‍රශ්නගත වන අතර සිල්වා ඇතුලුව එහි කිසිවෙකු පාර්ලිමේනතුවට හෝ අධිකරනයකට වගවීමට ලක්කිරීම ගැටලුසහගතය.
  • ඇඳිරි නීතිය පැනවීම, අත්හිටුවීම හා නැවත පැනවීම මහජන ආරක්ෂක (පීඑස්ඕ) පනතේ 16 වන වගන්තිය යටතේ ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත්කල යුතු මුත් එසේ කර නැත. 
  • සෞඛ්‍ය, ආරක්ෂක අංශ, බැංකු,රේගුව, භාන්ඩ බෙදාහැරීම, සහල් මෝල්, ජලය, විදුලිය, ඉන්දන සැපයුම, ඔසුසල හා ෆාමසි අත්‍යවශ්‍ය සේවා ලෙස ප්‍රකාශයට පත්කරමින් මාධ්‍ය නිවේදන නිකුත්කර තිබුනද ඒ කිසිවක් පීඑස්ඕ හි 17 වගන්තිය හෝ 1979 අංක 61දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනත යටතේ හෝ ගැසට් පත්‍රයේ නිවේදන ලෙස පලකර නැත.
  • මෙසේ ඇඳිරිනීතිය පැනවීම හෝ අත්‍යවශ්‍ය සේවා ගැයට් පත්‍රයේ පල නොකිරීම නිසා එම නිවේදන නීති විරෝධී වේ. එසේ ගැසට් පත්‍රයේ පලකිරීමෙන් පසු ඒ පිලිබඳව වහා පාර්ලිමේන්තුවට දැනුම්දිය යුතු අතර එනම් එවිට පාර්ලිමේන්තුව නැවත කැඳවීමට සිදුවේ. ජනාධිපති දැනටමත් ප්‍රකාශකොට ඇති පරිදි පාර්ලිමේනතුව නැවත කැඳවීමේ කිසිදු සූදානමක් ඔහුට නැත. 
  • වසංගතය මැඩපැවැත්වීම, 2005 ආපදා කලමනාකරන පනත අනුව පිහිටුවා ඇති සිවිල් ආයතනයක් වන, දැන් ආරක්ෂක අමාත්‍යංශයේ විශයපථයට දමා ඇති, ආපදා කලමනාකරන මධ්‍යස්ථානය යටතේ වෛද්‍ය මන්ඩලවලින් සමන්විත ව්‍යුහයකට අන්තර්ග්‍රහනය කල යුතුව පැවතුනද, ජනාධිපති එම නීතිය නොසලකා හරිමින් එය මිලිටරියේ ඍජු හා පූර්න පාලනයට නතුකර ඇත්තේය. 
  • සාමාන්‍ය නීතියක් වන ආපදා කලමනාකරන පනත යටතේ පිහිටුවා ඇති වඩා ප්‍රජාතන්ත්‍රිය වෘහයක් වන ආපදා කලමනාකරන ජාතික කවුන්සිලය ක්‍රියාත්මක කිරීම ඇතුලු  පවතින නීති යටතේ දැනටමත් පහිටුවා ඇති ආයතන හරහා ක්‍රියාත්මක කලහැකි කාර්යභාරයන් රාශියක්ම ආවරනය කිරීම සඳහා රාජපක්ෂ අක්‍රමවත් පියවර ගනිමින් ජනාධිපති කාර්යසාධක බලකායක් (ජකාසාබ) පිහිටවනු ලැබූයේ පාර්ලිමේන්තුවේ ප්‍රජාතන්ත්‍රවාදී අධීක්ෂනයට එම කටයුතු යටත්කිරීමේ  අවශ්‍යතාවය මගහැරීමටය. ඒ අනුව ජකාසාබ පවතින නීති විශයපථයට පිටින් ගිය බලයන් අත්පත්කරගෙන තිබේ.
  • අදිරිනීතිය පනවා දින තුනක් ඇතුලත රාජපක්ෂ යූද අපරාධකාර සමූහඝාතකයෙකු වන හිටපු හමුදා සාජන් සුනිල් රත්නායක ජනාධිපති සමාව දී නිදහස් කලේය.
  • ඇඳිරිනීතිය පනවා ඇති නමුත් රජයේ නිවාඩුදින ප්‍රකාශයට පත්කිරීමකින් තොරව "නිවසේ සිට වැඩකිරීම" යන ක්‍රමවේදයක් ප්‍රකාශයට පත්කර ඇත.  මෙයට කිසිදු නෛතික පදනමක් නැත.
  • ජාතික ආපදා අවස්ථාවකදී හදිසි අවස්ථාවක් ප්‍රකාශයට පත්කොට ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවිය යුතු වන නමුදු ජනාධිපති තම ආඥාදායක නිවේදන හරහා විධායක නීති සම්පාදනය මගින් පාලනය කිරීමට පිවිස සිටී.
  • රාජ්‍ය ඒකාබද්ධ අරමුදලින් ජනාධිපති විසින් යම් මුදල් වෙන්කිරීම් සඳහා අවසර ලබාදී අතිමුත්, පාර්ලිමේන්තුවේ අනුමැතියකින් තොරව එසේ කිරීම නීතියට පටහැනිය. 
  • ආහාර ද්‍රව්‍ය වල "පාලන මිල" අධීක්ෂනය මිලිටරියට හා බුද්ධි අංශ වෙත පවරා ඇත.
  • වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන් ආදාහනය හෝ භූමිදානය කලහැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානයම නිර්දේශ කර ඇති මුත්, මුස්ලිම් ජාතික ජනතාවගේ දැඩි විරෝ්ධය ද නොතකා හරිමින් ආගමික චාරිත්‍ර හා සමානාත්මතාවය පිලිබඳ ව්‍යවස්ථාපිත මූලික හිමිකම්ද උල්ලංගනය කරමින් සියලු මෘත ශරීර ආදාහනය කල යුතු බවට භාරකාර සෞඛ්‍ය ඇමති පවත්‍රා වන්නිආරච්චි ලවා ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ.

පොලීසියට හා මිලිටරියට ද අවශ්‍ය පරිදි නීතියට පිටින්  ක්‍රියාත්මක වීමට ජනාධිපති ප්‍රමුඛ භාරකාර ආන්ඩුව ඉඩ සලසා තිබේ:

  • නීතිවිරෝධී ඇඳිරිනීතිය යටතේ පොලීසිය ඉවක්බවක් නැතිව දසදහස් ගනනින් පුද්ගලයන් හා වාහන අත්අඩංගුවට ගනිමින් සිටී. නීතිය අනුව මේ සියල්ලද අනීතිකය. 
  • අප්‍රේල් 01දා වැඩබලන පොලිස්පති මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ්-19 වසංගතය වැලැක්වීම සඳහා ක්‍රියාකරන රාජ්‍ය සේවකයන්ගේ “සුලු අඩුපාඩු” මතු කර පෙන්වමින් “බරපතල ලෙස” ඔවුන්ගේ “රාජකාරියට බාධා කරමින් හා ඔවුන්ට බැන තර්ජනය කරමින් අසත්‍ය හෝ ද්වේශසහගත ප්‍රකාශ” අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ කරන පුද්ගලයන් අත්අඩංගුවට ගතයුතු බවට පොලිසියට නියෝගයක් නිකුත් කලේය. එවන් අපරාධ වරදක් දක්වන කිසිදු නීතියක් රටේ නැත. 
  • එම නියෝගය යටතේ තරිදු අවිශ්ක සිසුවා ඇතුලු නව දෙනෙක් මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇත. ජාතිවාදයට එරෙහි සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙක් වන රම්සි රසීක් සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුත් පනත (අයිසීසීපීආර්)යටතේ සාවද්‍ය චෝදනා මත අත්අඩංගුවටගෙන රිමාන් බන්ධනාගාර ගතකොට ඇත. මේවා ප්‍රකාශනයේ ව්‍යවස්ථාපිත මූලික අයිතියම උල්ලංගනය කල අවස්ථාය.
  • මීට සාපේක්ෂව මුස්ලිම් මහජතාවට එරෙහිව වාර්ගික උසිගැන්වීම් කරන කිසිදු පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන නැත. හමුදාපති සිල්වා මාධ්‍යට කල ප්‍රකාශ හරහා වසංගතය ව්‍යාප්තවීමේ වගකීම මුස්ලිම් ජනයා මත පැටවීමේ අතිෂය දුෂ්ඨ හා නරුම ක්‍රියාකලාපයක් ඉෂ්ඨ කලේය.
  • නිරෝධායනය දඩමීමා කරමින් සාමාන්‍ය පටිපාටියටද පටහැනි ලෙස පුද්ගලයන් බලහත්කාරයෙන් රැගෙනගොස් කඳවරුවල රඳවා තැබේ.
  • වසංගතය මර්දනය මධ්‍යයේ උප පොලිස්පති ලෙස උසස්කරනු ලැබ ඇති අජිත් රෝහන ආන්ඩුවේ මාධ්‍ය⁣ය හොරනෑ හරහා තර්ජනය කරමින් කියා සිටියේ ඇඳිරි නීතිය කඩකරමින් දිස්ත්‍රික්ක අතර මාරුවන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන දින 14ක අනිවාර්ය නිරෝධායන කඳවුරු තුල රඳවා තබන බවයි. එවන් නීතියක් නොමැත.
  • පසුගිය 11 දින සිට පොලීසිය මුහුනු අවරන පැලදීම අනිවාර්ය කර ඇත්තේ වෛද්‍ය නිර්දේශවලටද පිටින් යමින් හා කිසිදු සෞඛ්‍ය රෙගුලාසියක් යටතේ නොවේ.
  • මාර්ගයේ නිකරුනේ හැසිරුනේය යන "වරදට" පුද්ගලයන්ට එවෙලේම දඬුවම් දීමට කටයුතු කල පොලිස් නිලධාරීන් නිර්දෝශී බවට ප්‍රකාශකොට දිනක වැඩ අත්හිටුවීමකට පසු සේවයේ යලි පිහිටුවා ඇත.
  • ඇඳිරිනීතිය උල්ලංගනය කරමින් ආගමික රැස්වීම් පැවැත්වීම සම්බන්ධව පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේදී වාර්ගික අනන්‍යතාවය මත අසමාන ලෙස සලකා තිබේ. 

රටේ නීතිමය ප්‍රතිපාදනවලට පිටින් මෙලෙස කටයුතු කිරිම නීතියේ ආදිපත්‍යය යටපත් කිරීමකි. වසංගතය මධ්‍යයේම තත්වය බරපතල වීමට ප්‍රථම මහ මැතිවරනය පවත්වා තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආන්ඩුවක් පිහිටුවීමේ අපේක්ෂාව නිසා ආන්ඩුව පාර්ලිමේන්තුව නැවත නොකැදවමින් අත්තනෝමතික ලෙස හැසිරෙමින් සිටී.


නුදුරේදීම පුපුරායාමට නියමිත පන්ති අරගල මාලාවක් තම ධනපති පාලනය අභියෝගයට ලක්කරනු ඇතබව රටේ පාලක පන්තිය හොඳින් සවිඥානකය. එබැවින්,  පාර්ලිමේන්තුව රැස්වුවද සිදුවනු ඇත්තේ එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුන, දෙමල ජාතික සන්ධානය හා මුස්ලිම් වාර්ගික පක්ෂ  ආදී ධනපති පක්ෂ සියල්ලම ආන්ඩුවේ මිලිටරීකරන පියවරයන් අනුමත කිරීමයි. 

කොරෝනා වසංගතය ව්‍යවසනයක් බවට පත්වීමට දශක ගනනාවක් පොදු සෞඛ්‍ය සේවා ඛාදනය කරමින් නවලිබරල් ප්‍රතිප්ති ක්‍රියාත්මකකල සෑම ආන්ඩුවක්ම වගකිව යුතුය. මෙය ලොව සෑම රටකම සත්‍යයකි. කම්කරු පන්තියේ පොදු සතුරා කොරෝනාව නොව ධනපති පන්ති පාලනය හා පුද්ගලික ලාභය ගැරමේ පද්ධතියයි.

Image courtesy of dailymirror

2 comments: