Tuesday, March 14, 2023

Avatar: The Way of Water - ජේම්ස් කැමරන්ගේ නවතම උත්සාහය

මෙහි පලවන්නේ ප්‍රවීන මාක්ස්වාදී කලා විචාරක ඩේවිඩ් වොල්ෂ් විසින් ලියා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ජනවාරි 15 දින ඉංග්‍රීසියෙන් ප්‍රකාශයට පත් කෙරුනු Avatar: The Way of Water—James Cameron’s latest effort ලිපියේ සිංහල පරිවර්ථනය යි. පරිවර්ථනය සංජය ජයසේකර විසිනි.


The Terminator (1984), Aliens (1986), The Abyss (1989), Terminator 2: Judgement Day (1991), True Lies (1994), Titanic (1997) සහ Avatar (2009) යන සිනමා පට චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් තම ලැයිස්තුවේ අන්තර්ගත කර ගැනුනු කැනේඩියානු ජාතික ජේම්ස් කැමරන් ඉතිහාසයේ ආර්ථික වශයෙන් වඩාත්ම සාර්ථක චිත්‍රපට නිෂ්පාදකයෙකි.  ඔහු වෙනත් මහා පරිමාණ චිත්‍රපට රාශියක් ලියා (Rambo: First Blood Part II [1985]) හෝ නිෂ්පාදනය (Strange Days [1995], Solaris [2002]) කර තිබේ.

Avatar: the Way of Water (2022)

සංඛ්‍යාලේඛනඥයින්ට අනුව, කැමරන් (ස්ටීවන් ස්පීල්බර්ග්ට පසුව) දෙවන වැඩිම අදායමක් ලැබූ අධ්‍යක්ෂවරයා වේ, ඔහුගේ චිත්‍රපට උතුරු ඇමරිකාවේ ඩොලර් බිලියන 2.5ක් සහ ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 8ක් උපයා ඇත.  ලොව පුරා ඩොලර් බිලියන 2කට අධික ආදායමක් උපයාගත් පළමු චිත්‍රපට දෙක ඔහු අධ්‍යක්ෂණය කළේය. (Titanic සහ Avatar - ඉතිහාසයේ වඩාත්ම මූල්‍යමය වශයෙන් ඵලදායි චිත්‍රපටය) සහ ජාත්‍යන්තර බොක්ස් ඔෆිස් හි ඩොලර් බිලියන 1.5කට වඩා වැඩියෙන්  උපයාගත් චිත්‍රපට තුනක් (Titanic, Avatar සහ නව විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටය, Avatar: The Way of Water) අධ්‍යක්ෂණය කළ එකම පුද්ගලයා ඔහු වේ.

කැමරන්, නොවරදවාම, සැලකිය යුතු සංවිධානාත්මක කුසලතා, තාක්ෂණික දැනුම (හෝ දැනුම ඇති අය වෙත ප්‍රවේශය) සහ විශාල පුද්ගලික තල්ලුවක් සහ නොපසුබට උත්සාහයක් ඇත.  චිත්‍රපට කර්මාන්තයේ සහ පුළුල් ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනස්කම්, "බ්ලොක්බස්ටර්" පැමිණීම සහ විශාල ගෝලීය ප්‍රේක්ෂක පිරිසක් බිහිවීමෙන් ඔහු ප්‍රතිලාභ ලබා ඇත.  ඔහුගේ ඉතා සීමිත ලිවීමේ හා අධ්‍යක්ෂණය කිරීමේ කුසලතාව, පැහැදිලි සහ සුළු දේ සඳහා ඔහුගේ “දක්ෂතාවය”, මේ සියල්ල පෙර යුගයකදී ඔහුව පසුබස්සවන්නට ඉඩ තිබුණේ උවත්, කලාත්මක-දෘෂ්ටිමය වශයෙන් ප්‍රතිගාමී සහ එකතැන පල්වෙන වාතාවරණයක් තුළ කිසිසේත්ම ඒවා බාධාවක් වී නැත.  ඊට ප්‍රතිවිරුද්ධව, වෙනත් වචන වලින් කිවහොත්, කැමරන් මතුවීමට වාසනාවන්ත වී ඇත්තේ - විය හැකිව තිබුනේ එසේම පමනි - අඩු දේ ඉල්ලා සිටින සංස්කෘතියක ය: කාර්යක්ෂමතාව, ඵලදායිතාව, විශේෂ ප්‍රයෝග නවෝත්පාදනය, යාන්ත්‍රික සංදර්ශනවල තිරසාර පිපිරීම්, අවම මට්ටමේ නාට්‍යමය විශ්වාසනීයත්වය.

ඔහුගේ නවතම චිත්‍රපටය, Avatar: The Way of Water, මෙතෙක් නිපදවූ වඩාත්ම වියදම් සහිත චිත්‍රපටවලින් එකකි, එහි අයවැය ඩොලර් මිලියන 350-$400 ලෙස ගණන් බලා ඇත.  කැමරන් සම්මුඛ පරීක්ෂකයෙකුට යෝජනා කළේ ඩිස්නි සතුවන නිෂ්පාදනය ලාභයක් ලබා ගැනීමට ගෝලීය වශයෙන් ඩොලර් බිලියන 2ක් උපයා ගත යුතු බවයි.  එය මුල් Avatar හි සැලසුම් කළ අනුප්‍රාප්තික හතරෙන් (හෝ සමහර විට ඊට වැඩි) පළමු එක වේ.  අනුමාන වශයෙන්, Avatar 3, 2024 දෙසැම්බර් මාසයේදී නිකුත් කිරීමට නියමිතය.

පළමු Avatar සිනමා පට⁣ය පැන්ඩෝරා ග්‍රහලෝකය තුල හිටපු එක්සත් ජනපද මැරීන් භටයෙකු වූ ජේක් සලී (සැම් වර්තිංටන්) නිරූපනය කළේය.  පෘථිවිය අඳුරු මුඩු බිමක් බවට පත් වී ඇත.  පැන්ඩෝරා සතුව වටිනා ලෝහ විශාල ප්‍රමාණයක් ඇත, නමුත් ඒවා සංවර්ධනය සහ නිස්සාරණය සඳහා ස්වදේශ්‍රිය ජනතාව වන Na'Vi පලවා හැරීම අවශ්‍ය වේ.

විද්‍යාඥයන් ජේක්ගේ “අවතාරය”, එනම් ඔහුගේ මිනිස් මොළය සහ මතකය සහිත Na'vi ශරීරයක් ජනනය කරයි - කැමරන්ගේ වචනවලින් කියනවා නම්, “අනාගතයේ මානව තාක්‍ෂණය දුරස්ථව පිහිටා ඇති ශරීරයකට, එනම් ජීව විද්‍යාත්මක ශරීරයකට මිනිසාගේ බුද්ධිය එන්නත් කිරීමට හැකියාව ඇත.”  මෙම දෙමුහුන් පුද්ගලයා- ස්වදේශ්‍රීය ජනයා වැනි, උස, නිල් ජීවියෙකු - දේශීය ජනතාව සමඟ අන්තර් ක්‍රියා කරන අතර, අවසානයේ, ගුප්ත ක්‍රියාවලියක් හරහා, ඔවුන්ගෙන් එකෙක් බවට පත්වේ. Na'Vi ජනතාව සම්පත් සංවර්ධන පරිපාලනයේ (RDA) බලවේග පලවා හරින අතර එය ඉරාක ජනගහනය යටත් කර ගැනීමේ කුරිරු එක්සත් ජනපද ප්‍රයත්නය මතකයට ගෙන එන දර්ශන තුළින් පෙන්වනු ලබ යි.

Avatar: the Way of Water (2022)

නව චිත්‍රපටයේ, සලි ඔහුගේ බිරිඳ Neytiri (Zoe Saldaña) සහ දරුවන් කිහිප දෙනෙකු සමඟ ජීවත් වන අතර ඔහුගේ ගෝත්‍රයේ ප්‍රධානියා ලෙස කටයුතු කරයි.  මාරාන්තික ආයුධ වලින් සන්නද්ධ RDA මිලිටරි හමුදා නැවත වරක් දුෂ්ට කර්නල් මයිල්ස් ක්වාරිච් (ස්ටීවන් ලැන්ග්) හෝ ඔහුගෙන් ඉතිරිව පැවති දේ  ප්‍රධානත්වයෙන් ආපසු පැමිණ, අනුකම්පා විරහිත කැරලි මර්දන මෙහෙයුමක් දියත් කරයි.

නැවතත්, චිත්‍රපටයේ ප්‍රබලම රූපරාමු දෘශ්‍යමය වශයෙන් විවිධ එක්සත් ජනපද මිලිටරි මැදිහත්වීම් වෙත යොමු කෙරේ.  ප්‍රදේශයේ ගම්මානයකට ගිනි තැබීම වියට්නාම් යුද්ධයේ දර්ශන ප්‍රකම්පනකාරීව සිහිපත් කරයි.  2009 'නිව් යෝර්කර්' පුද්ගල වාර්ථාවකට අනුව, කැමරන් "[ජෝර්ජ් ඩබ්ලිව්.] බුෂ් 2004 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසු, ඇමරිකානු පුරවැසිභාවය සඳහා වූ ඔහුගේ අයදුම්පත ඉල්ලා අස්කර ගත්තේ ය."

සලී, ක්වාරිච් සහ ඔහුගේ හමුදාවන්ට එරෙහිව ගරිල්ලා ව්‍යාපාරයක් මෙහෙයවයි (පෘථිවිය දැන් මිය යමින් පවතී), නමුත් අවසානයේ වෙරළට පලා ගොස් ගල්පර අසල ජනතාවගේ, එනම් ගෝත්‍රයක, උපකාරය හෝ අවම වශයෙන් ඉවසීම ලබා ගැනීමට බල කෙරෙයි.  The Way of Water හි ඉතිරි කොටස සිදු වන්නේ මුහුදේ හෝ මුහුද ආශ්‍රිතව ය.  RDA හමුදා සලී සහ ඔහුගේ පවුල සොයා ගන්නා අතර පූර්න පරිමාණ ගැටුමක් පුපුරා යයි.  විශ්මයජනක ජීවීන් රාශියක් සම්බන්ධ වන සිද්ධීන් සමුදායක් දිය යට සිදු වේ.  කැමරන් සහ ඔහුගේ කණ්ඩායම චිත්‍රපටයේ මෙම කොටස සඳහා නව තාක්ෂණයන් නිර්මාණය කිරීමට බැඳී සිටියහ.

එහි ප්‍රතිඵලය වූ නිර්මාණය, එහි නව්‍ය පෙනුම සහ ඉඳහිට ප්‍රකෝපකාරී නිරූපණ තිබියදීත්, වෙහෙසකර (මිනිත්තු 192 කදී) සහ සූත්‍රගතකරනු ලැබුවා වේ.  දෙබස්, චරිත සහ සබඳතා දුසිම් ගනනක් (බොහෝ විට වඩා හොඳ) බටහිර විද්‍යා ප්‍රබන්ධ සහ යුධ චිත්‍රපට වලින් ඇහිඳගනු ලැබී ඇත.  'මොබි ඩික්' සහ අනෙකුත් කෘතිවල දුර්වල දෝංකාර ද ඇත.

හරියටම වසර 25 කට පමණ පෙර, අපි ටයිටැනික් ගැන සටහන් කළේ, චිත්‍රපටයේ ඇති සෑම අංගයක්ම පාහේ, “ප්‍රේම කතාව ඇතුළුව, හනමිටි සහ පුරෝක්ත කල හැකි ආකාරයෙන් ඉදිරිපත් කර ඇති බවයි.  සෑම චරිතයක්ම පුද්ගල හැසිරීමේ හා පෞරුෂ ලක්ෂණවල - මුහුණේ ඉරියව් පවා - ආකෘතීන් ප්‍රදර්ශනය කරයි. ඒවා ක්ෂණිකව හඳුනාගත හැකි අතර චිත්‍රපටය පුරාම නොවෙනස්ව පවතී."

මෙම අදහස් Avatar: The Way of Water සඳහාද අදාළ වේ. සරලව ස්ථාවර, වෙනස් නොවන පෞරුෂයන් සහ ප්‍රචණ්ඩ ලෙස ගැටෙන "වර්ග" සහිත කැමරන්ගේ නව නිපැයුම් විශ්වයේ කිසිදු අව්‍යාජ සංකීර්ණතාවයක් නොපවතී.

එක් අපරීක්ෂාකාරී විචාරකයෙක් මෙම චිත්‍රපටය හඳුන්වන්නේ "ජනප්‍රියවාදී අග්‍රගන්‍ය කෘතියක් (masterwork)… ප්‍රවේශ විය හැකි, අවංකව රෝමාන්තික සහ ක්‍රියාදාමයෙන් පිරුණු එකක්" ලෙසයි.  මෙහි "ජනප්‍රියවාදී" යන යෙදුම බොක්ස් ඔෆිස් සාර්ථකත්වයට සමාන හිස් වැකියකට වඩා වැඩි යමක් වේ නම් (එය බොහෝ විට එසේ නොවේ), එය ජනගහනයේ පුළුල් ස්ථරවල කොන්දේසි සහ අවශ්‍යතා ගැන යම් තීක්ෂණ බුද්ධියකින් කථා කරන කෘති වෙත යොමු විය යුතුය.  ප්‍රකාශනය අඩුම තරමින් ධනවතුන්ට සහ බලවතුන්ට එරෙහි වීම ගම්‍ය වේ.

Charlie Chaplin ගේ Modern Times, ජෝන් ෆෝඩගේ The Grapes of Wrath, විලියම් වයිලර්ගේ The Best Years of Our Life සහ ජෝන් හස්ටන්ගේ The Treasure of the Sierra Madre මෙම නිර්වචනයට අනුව "ජනප්‍රියවාදී මාස්ටර්වර්ක්" වේ.  (කිං විඩෝර්ගේ Our Daily Bread එඩ්ගාර් උල්මර්ගේ Ruthless, මයිකල් කර්ටිස්ගේ The Breaking Point, ෆ්‍රිට්ස් ලැංගේ Fury සහ තවත් ඒවා අඩු ප්‍රසිද්ධ චිත්‍රපට ලයිස්තුවට එකතු කළ හැකිය.)

Avatar: the Way of Water (2022)

බටහිර අධිරාජ්‍යවාදයට එරෙහි විරෝධය දිරිමත් කරයි යන පදනම මත නවතම චිත්‍රපටයට පක්ෂව කෙරෙන තර්ක ද බරපතළ ලෙස අස්ථානගත වී ඇත.  RDA ප්‍රහාරයේ රුදුරු බව ප්‍රමාණවත් තරම් අව්‍යාජ ය, නමුත් එයින් බොහෝමයක් ක්වාරිච්ගේ පුද්ගලික පරපීඩා කාමුකත්වය සහ පළිගැනීම් වලට ආරූඩ කළ හැකි බව පෙනේ.  චිත්‍රපටයේ ප්‍රධාන උත්සුකය වන්නේ, දෙබස් නිරන්තරයෙන් අවධාරණය කරන පරිදි, පවුල ආරක්ෂා කිරීමයි. (The Way of Water හි විශේෂාංග ගණනාවක් Roland Emmerich-Mel Gibson සුසංයෝගයෙන් නිෂ්පාධිත බිහිසුණු The Patriot, 2000 ගෙනහැර පායි).

සලී: "මට මේ පවුල ආරක්ෂා කළ හැකිය - මට එය කළ හැකිය," "මේ පවුල අපේ බලකොටුව", "පියෙක් ආරක්ෂා කරයි, ඔහුට අර්ථය ලබා දෙන්නේ එයයි," " පලායාමෙන් මට මගේ පවුල බේරා ගත නොහැක ... මෙය අපේ බලකොටුවයි  … මෙතන තමයි අපි අපේ නිවහන හදන්නේ” යනාදී වශයෙන් කියයි.

නව Avatar චිත්‍රපටයේ හරයෙහි උද්ඝෝෂනකාරී කිසිවක් නොමැත.  කැමරන් පැහැදිලිවම පාරිසරික විනාශය ගැන සැලකිලිමත් වන නමුත් ලාභ පද්ධතියෙන් ග්‍රහලෝකයට එල්ල කරන තර්ජනයට එරෙහිව කෝපාවිෂ්ට විරෝධතාවයක් වෙනුවට, ඔහු සාගරයට අපහැදිලි, බාල ගෞරවයක් පෙරට ගනී: “ජලයේ ගමනට ආරම්භයක් හා අවසානයක් නැත,” යි ද "ජලය සියල්ල සම්බන්ධ කරයි" ද යනුවෙන් අපට කියනු ලැබේ. 

කෙසේ හෝ වේවා, ටයිටැනික් හි ඇතැයි කියනු ලබන "රැඩිකල්" දේශපාලන අන්තය පිලිබඳ, වසර විසි පහකට පෙර අප තවදුරටත් අදහස් දැක්වූ පරිදි: “කැමරන් තම ප්‍රේක්ෂකයන්ට එක අතකින් දෙන දෙය - පන්ති සබඳතා පිළිබඳ නොගැඹුරු විවේචනයක් - එයට වඩා වැඩි යමක්, ඔහු ඔහුගේ නිසරු සහ අනුකූල දැක්මට  ගැලපෙන ලෙස ඉදිරිපත් කිරීමෙන්, අනෙක් අතින් ඉවතට ගනී.  මිනිස් හැසිරීම් වල නොපැහැදිලි ස්වභාවයක් නැත;  වේදනාකාරී, විනාශකාරී තීරණ ගැනීමට බලකෙරෙන ගැටළු නොමැත;  සමාජය සහ ජීවිතය පිළිබඳ සෑම දෙයක්ම විනිවිද පෙනෙන හා පැහැදිලි ය;  ලෝකය බැලූ බැල්මට පෙනෙන ආකාරයයි... එය 'නයික්' වෙළඳ ප්‍රචාරණයක් තරම් හිස් ය.  මේ කිසිවක් විවේචනාත්මක චින්තනය දිරිගන්වන්නේ කෙසේද?"

"වේදනාකාරී … තීරණ" අවශ්‍ය වන "නොපැහැදිලිතාවයන්" හෝ "ගැටළු" නොමැති බැවින්, "විනිවිද නොපෙනෙන" සහ "මතුපිටින්ම පැහැදිලි නොවන" ධාරා සහ අන්තර් සම්බන්ධතා වලට යටින් එබී බැලීම කාර්යය වන අව්‍යාජ කලාවක කලාත්මක බවක් අවශ්‍ය නොවේ.  සමෘද්ධිමත් සහ තෘප්තිමත් තාක්ෂණ ශිල්පී-ඉංජිනේරුවා සඳහා, කලාව සහ සංකීර්ණත්වය සඳහා එහි දැඩි බැඳී සිටීම බොහෝ දුරට නිෂ්ඵල එකක් වන අතර, යන්තම් නොරිස්සන සුලු ව්‍යාකූලත්වයට වඩා ටිකක් වැඩි යමක් ය.

Original article and Images courtesy of wsws.org 

#theSocialistLK

Translation Originally Published in thesocialist.lk