Thursday, June 25, 2026

LTTE ඝාතන හා ආණ්ඩුවේ යුද අපරාධ එකලෙස හෙළා දකිනු! ජීවත්ව සිටින සියලු රාජ්‍ය හා LTTE යුද අපරාධකරුවන් වගවීමට ලක් කිරීමට සටන් කරනු!

 


කම්කරුවනි, තරුණයිනි, පීඩිත ජනතාවනි,


LTTE ඝාතන හා ආණ්ඩුවේ යුද අපරාධ එකලෙස හෙළා දකිනු! ජීවත්ව සිටින සියලු රාජ්‍ය හා LTTE යුද අපරාධකරුවන් වගවීමට ලක් කිරීමට සටන් කරනු! 

හිංසක, අනවරතව ක්‍රියාකාරී, සන්නද්ධ රාජ්‍යයේ අපරාධ වගවීම ඉල්ලා සිටීම සදාචාරාත්මක ක්‍රියාවකට එහා ගිය මූලික දේශපාලන ක්‍රියාවකි. එය බරපතල පන්ති ආස්ථානයකි. රාජ්‍යයේ වගවීම ඉල්ලීම වාර්ගික ක්‍රියාවක් නොව අත්‍යවශ්‍ය පන්ති අවශ්‍යතාවයකි. 

රාජ්‍ය අපරාධවලට සාධාරණත්වය ඉල්ලීමට “සමරූපී ආකාරයට” එල්ටීටීඊ (LTTE) අපරාධවලටත් සාධාරණත්වය,  වගවීම (accountability) වගේම නඩු පැවරීම් (prosecution) ඉල්ලන්න වැඩකරන පන්තිය ක්‍රියා කරන්න ඕනෙය කියන සිංහල ස්වෝත්තමවාදී කියාපෑම ඇතුළේ, සමාන ලෙස හෙළා දැකීමේ මිනුම්දණ්ඩ වෙන්නේ සර්වසම දේශපාලන ඉල්ලීම් කියන උපකල්පනය ගැබ්වෙලා තියෙනවා. අපි මේ උපකල්පනය අනිවාර්යයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ.

සමාන විදිහට හෙළා දකින්න, ඒ වගේම දැනට ජීවත් වෙලා ඉන්න හැම යුද අපරාධකාරයෙකුටම සමාන විදිහට නඩු පැවරීම ඉල්ලා සිටින්න — හැබැයි,  මූලික දේශපාලන ප්‍රහාරය එල්ල කරන්න ඕන දැනට පවතින ජීවමාන රාජ්‍ය උපකරණයට (state apparatus) එරෙහිව, මොකද විශාලතම අපරාධ සිද්ධ කරපු, හැම අපරාධකාරයෙක්වම ආරක්ෂා කරන, වගේම අද දවසේ වැඩකරන පන්තියට තර්ජනයක් වෙලා තියෙන පන්ති පාලනයේ (class rule) සක්‍රීය, සන්නද්ධ, ආයතනගත මෙවලම වෙන්නේ ඒ රාජ්‍යය. එතන තමයි දේශපාලන බර තැබීමේ අසමමිතිය (asymmetry of political emphasis) පිහිටලා තියෙන්නේ.

සිංහල ස්වෝත්තමවාදී රාජ්‍යයේ යුද අපරාධ වගේම බෙදුම්වාදී LTTE සංවිධානයේ කුරිරුකම් සමාන විදිහට හෙළා දැකිය යුතුය කියන ස්ථාවරය එන්නෙ ඒ දෙකම වැඩකරන පන්තියට විරුද්ධව කරපු අපරාධය කියන කොන්දේසි විරහිත සදාචාරාත්මක හා දේශපාලනික නිගමනය ඇතුළෙයි. ඒ නමුත්, නඩු පැවරීම (prosecution) සඳහා කරන ඉල්ලීම දේශපාලනික එකක්. ඒ දේශපාලන ඉල්ලීම කියන්නේ හුදෙක් සදාචාරාත්මක අදහස් ප්‍රකාශ කිරීමක් නෙවෙයි — ඒක සැබෑ ලෝකයේ ප්‍රතිඵල ඇති කරන දේශපාලන වැඩපිළිවෙළක් (political program). ඒ වැඩපිළිවෙළ සැබෑ දේශපාලන තත්ත්වයට ගැලපෙන විදිහට සකස් වෙන්න ඕනේ: ඒ කියන්නේ නඩු පවරන්න, වගවීම ඉල්ලන්න අද කවුද ජීවත් වෙලා ඉන්නේ, සක්‍රීය රාජ්‍ය ආරක්ෂාව යටතේ කුමන ආයතනයක අපරාධද තවමත් වහලා තියෙන්නේ, පාලක පන්තියේ ප්‍රචණ්ඩත්වයේ ජීවමාන මෙවලමට අභිමුඛ වෙන්නේ අපේ මොන ඉල්ලීමද, ඒ වගේම අධිරාජ්‍යවාදී බලවතුන්ගේ භූ-දේශපාලනික අවශ්‍යතා හෝ සිංහල ස්වෝත්තමවාදයේ (Sinhala chauvinism) මතවාදී අවශ්‍යතා වෙනුවට වැඩකරන ජනතාවගේ අවශ්‍යතාවලට සේවය කරන්නේ මොන ඉල්ලීමද කියන කරුණු මතයි ඒක පදනම් වෙන්නෙ.

මේ සැබෑ දේශපාලන තත්ත්වයට ගැලපීම සංගතව වගේම අවංකව යොදාගැනීමෙන් අපි එළඹෙන්නේ රාජ්‍යයේ යුද අපරාධවල වගවීම් ගැන අසමමිතික බර තැබීමක් (asymmetric emphasis) අනිවාර්‍ය හා ප්‍රමුඛ වෙන දේශපාලන ආස්ථානයට— ඒකෙන් කිසිසේත් අදහස් වෙන්නේ නැහැ LTTE අපරාධවල හෝ ඒ වින්දිතයන්ගේ වටිනාකම, බර අඩුයි කියන එක. හැබැයි අනික් පැත්තෙන් ඒ වින්දිතයන් සමූලඝාතනය කරපු, සමූහ මිනීවළවල් වල හංගපු ඒ රාජ්‍යය තවමත් සන්නද්ධයි, තවමත් ක්‍රියාත්මකයි, තවමත් තමන්ගේ අපරාධකාරයන්ව ආරක්ෂා කරනවා, ඒ වගේම දිනපතා වර්තමානයෙත් වැඩකරන පන්තියට විරුද්ධව තාමත් ඒ උපකරණයම පාවිච්චි කරනවා හා පවිච්චි කරන්න ලෑස්ති වෙනවා. අන්න ඒ නිසා ඒක හෙළිදරව් කරන්න ඕනේ. මේ අපරාධ වලට වගවීම් ඉල්ලලා ඒ රාජ්‍යයට අභියෝග කිරීම කියන්නේ පන්තිමය ක්‍රියාවක් (class act); ඒක වර්ගික  පදනමක ක්‍රියාවක් (racial act) නොවෙයි. මැරිච්ච එල්ටීටීඊ නායකයන්ට “සමාන විදිහට නඩු පැවරීම” කියන කොන්දේසිය උඩ මේ රාජ්‍යය වගවීමට ලක් කිරීමේ ඉල්ලීම රඳා පවතිනවා කියන කෘත්‍රිම සමානතාව (manufactured equivalence) පිළිගන්නවා කියන්නේ මර්දක රාජ්‍යයට එරෙහි මේ දේශපාලන අවශ්‍යතා කිසිවක් වෙන්නෙ නෑ කියන එක. ඒ වගේම ඒක පන්ති සතුරාට යටත් වීමක්. 

LTTE විසින් සිදු කළ අපරාධ—මායිම් ගම්මාන වල සමූලඝාතන, මුස්ලිම් ජනයා වාර්ගිකව සුද්ද කිරීම, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම, දේශපාලන විරුද්ධවාදීන් ඝාතනය කිරීම–කම්කරු පන්තියේ පන්ති එකමුතුවට හතුරුව සිදුකළ ඒවා. කම්කරු පන්තිය අද ජීවත්ව සිටින එම අපරාධවලට නායකත්වය දුන් සෑම සියලු අයෙක්ම වගවීමට ලක් කිරීමේ දේශපාලන ඉල්ලීම කළ යුතුයි. අරන්තලාව භික්ෂු ඝාතනය, ළමා සොල්දාදුවන් බඳවා ගැනීම ඇතුලු ආදී අපරාධ කළ බවට පැහැදිලි සාක්ෂි ඇති කරුණා අම්මාන්, පිල්ලෙයාන් ආදීන් මේ රාජ්‍ය විසින්ම වගවීමෙන් මුක්ත කොට වරප්‍රසාද දී ආරක්ෂා කරන විට, කම්කරු පන්තිය ඔවුන්ට එරෙහිව වගවීම ඉල්ලා සිටීමේ දේශපාලන උද්ඝෝෂනයක් පෙරට ගත යුත්තේ ද රාජ්‍යය හා පන්ති සතුරන් වගවීමට ලක් කළ යුතු වීමේ මේ පන්ති මූලධර්ම අනුවයි. 

theSocialist.lk එක වගේම SLLA අපි මේ අපරාධ කණ්ඩ දෙකම සමාන විදිහට හෙළා දකිනවා. කම්කරුවොත්, තරුණයොත් ඒ විදිහටම ඒ ආස්ථානය ගන්න ඕනේ කියල අපි කියනව. ඒ වගේම, ජීවත් වෙලා ඉන්න හැම අපරාධකාරයෙකුටම එරෙහිව — ඒ කියන්නේ රාජ්‍ය අණදෙන නිලධාරීන්ට වගේම දැනට ඉතිරි වෙලා ඉන්න එල්ටීටීඊ (LTTE) නායකත්වයේ හැමෝටම එක වගේ — නඩු පැවරීම ඉල්ලමින් සටන් කළ යුතුයි. හැබැයි ඒක කළ යුත්තේ සැබෑ සාධාරණත්වයට හා පවතින හිංසක රාජ්‍ය පද්ධතියට අභියෝග කරන පන්ති අරගලයට අවශ්‍ය වෙන බර තැබීමත් එක්කයි. ඒ වගේම අපි දැඩිව කියා සිටින්නේ, මේ ඊලාම් යුද්ධයේ හැම වින්දිතයෙක්ටම ලැබිය යුතු සාධාරණත්වය ඉටුකරන්න පුළුවන් වෙන්නේ එක්සත්  වුණු ස්වාධීන වැඩකරන පන්තියට විතරයි කියන එකයි — අධිරාජ්‍යවාදී අධිකරණවලටවත්, ධනපති කොමිෂන් සභාවලටවත්, දෙමළ ජාතිකවාදී බලපෑම් කණ්ඩායම්වලටවත් ඒක කරන්න බැහැ.

සංජය ජයසේකර

24/06/2026