Wednesday, April 1, 2020

ආගමික ප්‍රතිගාමීත්වයේ අවශ්‍යතාවයට ලේඛක සත්කුමාර සිරගත කිරීමෙන් අදට වසරයි.

තම මුහුනුපොත් ගිනුමේ ලියා පලකල "අර්ධ" නමැති කෙටි කතාව මගින්, බුද්ධාගමට හා බුදුන්ට අපහාස කරන බවටත් බුදුන්ගේ ගිහි ජීවිතය විකෘත කරන බවටත් සිංහල වර්ගවාදී සංවිධානවලට සම්බන්ධ භික්ෂුවක් විසින් වෛරී සහගත ලෙස කර තිබූ පැමිනිල්ලක් මත ලේඛක ශක්තික සත්කුමාර නීතිව්රෝදී ලෙස අත්අඩංගුවට ගෙන අදට වසරකි. 
සත්සකුමාරගේ නිදහස ඉල්ලා සසප උත්ඝෝෂනය

දින 130 ක සිරගත කිරීමකින් පසු බරපතල ඇප කොන්දේසි මත ඔහු තාවකාලිකව නිදහස ලබා සිටී. ලේඛකයාට එරෙහිව අධිචෝදනා ගොනු කරන්නේද යන නීතිපතිගේ තීරනය පොලීසිය මගින් උසාවියට දැනුම්දීමට නියමිතව තිබේ.

ගිය වසරේ අප්‍රේල් 01 වන දින  සත්කුමාර නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගනු ලැබුනේත්, රඳවා තැබුනේත් දන්ඩ නීති සංග්‍රහයේ 291බී වගන්තිය හා 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනතේ 3 වන වගන්තිය යටතේ වන වැරදිවලට සැකකරුවෙකු ලෙසයි. 

එම චෝදනා යටතේ අධිචෝදනා ගොනුකිරීමට තීරනය කරනු ලැබුව හොත් සත්කුමාරට එරෙහිව කුරුනෑගල මහ අධිකරනයේ නඩු පැවරෙන අතර, වසර දහයක සිර දන්ඩනයකට ඔහුව යටත්කරනු ලැබිය හැකිය.

අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනිම මගින් ප්‍රකාශනයේ නිදහස ඇතුලු ඔහුගේ ව්‍යවස්ථාපිත අයිතීන් උල්ලංගනය කිරීමට එරෙහිව සත්කුමාර ගොනුකොට ඇති මූලික අයිතිවාසිකම් නඩුවේ වගඋත්තරකරුවන් අතර පොල්ගහවෙල පොලිස් ස්ථානාධිපති වෙනුවෙන් දැනටමත් නීතිපති පෙනීසිටින බැවින්, අධිචෝදනා ගොනුකිරීම පිලිබඳ අපක්ෂපාතී තීන්දුවක් ගැනීමෙන් නීතිපති දැනටමත් බොහෝ සෙයින් වලක්වනු ලැබ ඇත.

කලා කෘතියට අමතරව නිර්මාපකයාටද එරෙහිව පීඩක නීති යොදා, අධිකරන ක්‍රියාදාමය අවභාවිතා කරමින් කලාව හා ප්‍රකාශනයේ නිදහස මර්ධනය කිරීමට පාලක පන්තිය සත්කුමාරගෙන් අරම්භ කලේය.

ධනපති ආර්ථික අර්බුදයේ ලෝක පරිමාන සංසිද්ධියක කොටසක් ලෙස ලංකාවේ පාලක පන්තිය තවතවත් දකුනට ගමන් කරමින් සියලු ආකාරයේ ප්‍රතිගාමීත්වයන් වර්ධනය කරමින්, ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් පාගා දමමින් අධිපතිවාදය ශක්තිමත් කරමින් සිටී.

කම්කරු පන්තිය වාර්ගික රේඛා ඔස්සේ බෙදා දමන බෞද්ධ ආගමික අන්තවාදයට උඩගෙඩි දෙමින් හා වාර්ගවාදය පෝශනය කරමින්, සමාජ මාධ්‍යජාලා අවහිර කරමින්, අන්තර්ජාල ⁣සුපරීක්ෂාකාරී නීති ගෙන එමින්, මරන දන්ඩනය නැවත කැඳවුම් කරමින්, කම්කරු අරගල මර්ධනය කරමින් සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව තම පන්ති පාලනය සඳහා වියරු උත්සාහයක නිරතවිය. 

සත්කුමාරගෙන් පසු ලේඛකයන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුට එරෙහිව මෙම මර්ධක නීති යොදාගැනීමට සූදානම් කෙරිනි. ජනාධිපතිවරනය ආසන්නයේදීම චිත්‍රපට අධ්‍යක්ෂ හා නාට්‍යකරු මාලක දේවප්‍රිය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව මගින් අයිසීසීපීආර් පනත යටතේම චෝදනාවලට ප්‍රශ්න කරනු ලැබිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය හා සමාජවාදී සමානතා පක්ෂය (සසප) පමනක්ම මෙම මර්ධනයේ දේශපාලන අන්තර්ගතය පැහැදිලි කරමින් එයට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් සටන් වැදිනි. 

ප්‍රකාශනයේ නිදහසට එරෙහිව නව පාලනය යටතේත් පසුගිය කාලය තුල එල්ල කෙරුනු තර්ජනයන් රාශියක් පිලිබඳ තොරතුරු දේශීය හා ජාත්‍යන්තර මාධ්‍ය කිහිපයක්ම වාර්තා කර තිබිනි. 

කොවිඩ් -19 වසංගතය හේතුවෙන් නිවාස අඩස්සියට පත්ව සිටින මලියන 22 ජනතාවක් තම අත්‍යවශ්‍ය සේවා ඉෂ්ඨ නොකිරීම සම්බන්ධවත්, දශක ගනනාවක් සමාජ සුභසාදන කප්පාදුවට ලක්කල සෞඛ්‍ය සේවයක අවම පහසුකම් යටතේ භයානක අන්තරායකට මහජනතාව ඇද දැමීම ගැනත්, වෙලඳපොල ආරක්ෂා කිරීම හා මැතිවරන නාමයෝජනා සඳහා වසංගත ව්‍යාප්තිය වැලැක්වීමට පියවර ගැනීමට සාපරාදී ලෙස කල් මැරීමත් ගැන ආන්ඩුව පිලිබඳ තදබල වික්ෂෝපයට පත් කම්කරු තරුන මහජනතාව කරනු ලබන විරෝධතාවයන් යටපත් කිරීම සඳහා දැන් සමාජමාධ්‍ය වාරනයකට ආන්ඩුව සැරසෙමින් සිටී. 

No comments:

Post a Comment