Friday, September 25, 2015

කැළණි ගඟේ ජලය දූෂණය සම්බන්දයෙන් කොකා කෝලා කොම්පැනියට නඩු නැත්ද ?

පසුගියදා කැළණි ගඟට ඩීසල් වැනි තෙල් ද්‍රව්‍යක් මිශ්‍ර වෙලා කොළඹ ප්‍රදේශයට ජල සැපයුම නතර කරලා තිබුන. පරිසර සංවිධාන සඳහන් කරලා තිබුනේ මේ ජලයට ආසනික් පවා මිශ්‍ර වෙලා තිබුන කියල. බහු ජාතික සමාගමක් වන කොකා කොලා කොම්පැනිය මේ ජල දූෂණය තමන් අතින් සිදු වුන බවට පිළිගෙන තිබුන. කොම්පැනියේ පාරිසරික බලපත්‍රය අහෝසි කරලා රුපියල් බිලියනයක් දඩ ගෙවන්න කියල නියෝග කරලා කියල මාධ්‍යවල පල වුන. දැන් කතාව එතනින් ඉවරද?
ඇත්තටම ජලයට මිශ්‍ර උනේ කුමන රසායනිකයන්ද? ඒ වායින් කොපමණ ජල ප්‍රමාණයක් අපවිත්‍ර උනාද, ජල සම්පාධනය හරහා මහා ජනතාවට එම ජලය පානයට සිදු උනාද, ජලජ පරිසරයට උන හානිය කුමක්ද, මේ කිසිම ප්‍රශ්නයක් පිළිඹඳ වාර්තාවක් තාමත් නැහැ. සිදු කරන ලද හානියට අදාළ අපරාධ වගකීමක් පවරන්න නඩු දාපු බවකුත් තවම දැන ගන්නට නැහැ. එත් ධනපති සමාගම් එක්ක ලහි ලහියේ සමථ වලට එළඹිලා කාරනාව යටගහන්න ආණ්ඩුවේ ආයතන පේවෙලායි ඉන්නේ.
ඒක එහෙම වෙන එක අහන්න දෙයක් නෑ. වැලිවේරිය ජල දූෂණය කරපු ධම්මික පෙරේරාගේ ඩීප් ප්‍රෝඩක්ට්ස් සමාගමේ අපරාධ ගැන වාර්තා තවමත් එලියට දාල නෑ. කෲර වැඩ කොන්දේශි යටතේ මේ සමාගම් කම්කරුවන්ගේ හීරි මාංශ හූරගෙන කනවා විතරක් නොවෙයි ලාබ තර කර ගැනීම සඳහා පිරිපහදු ක්‍රම හරි වෙනත් ආරක්ෂණ ක්‍රම හරි රක්ෂණ ක්‍රම හරි ඔය එකක්වත් නැතුව තමයි මේවා දුවන්න ඉඩ හැරලා තියෙන්නේ. වැලිවේරිය ජල දූෂණය ගැන එකම හරි හමන් පරීක්ෂණය කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය, එනම් සමාජවාදී සමානතා පක්ෂය පමණයි. ඒ වැලිවේරිය ජල දූෂණය පිළිඹඳ ස්වාදීන කම්කරු පරීක්ෂණය මගින්. එහෙම නැතුව ධනපති පාලක පන්තියට කත් අදින ආණ්ඩු වලින් උන්ට අවාසි පරීක්ෂණ නිගමන එලියට එන්නේ නෑ. ඒ පරීක්ෂණ වාර්තාව එළිදක්වල වසරක් ගිහිල්ල්ලත් ධනපති මාධ්‍ය හැම එකක්ම ඒ වාර්තාව මහා ජනතාවගෙන් වහංගු කරලයි තියෙන්නේ.
ලෝකේ හැම තැනම ධනපති ආණ්ඩු වැඩකරන්නේ මේ විදියටම තමයි. බ්‍රිටිෂ් පෙට්‍රෝලියම් සමාගමේ මෙක්සිකෝවේ සාගරයේ 2010 දී සිදුවුණ දැවැන්ත තෙල් කාන්දුව නිසා සිදුවෙච්ච බරපතල පරිසර හානිය තිබියදීම අවුරුදු 18කින් ගෙවන විදියට ඩොලර් බිලියන 18.7 ක සොච්චම් මුදලක් පමණක් ගෙවන්න ඇමරිකානු රජය සමාගම සමග සමථ වුනා. ඒ විතරක් නොවේ බීපී සමාගමට අලුත් තෙල් ගොඩගන්න බලාගාර සඳහා කිසිම බාධාවක් නැතිව ලන්සු තියන්නත් අවසර දීල තියෙනවා.
ජපානයේ ෆුකිශිමා න්‍යෂ්ටික විදුලිබලාගාරය 2011 සුනාමිය සමග හානියට පත් උනාම ප්‍රමාණවත් ආරක්ෂණ ක්‍රම හා පද්ධති නොමැතිවීම නිසා ගොඩබිමත් මහා සාගරයත් හානිකරමින් විකිරණ සහිත ජලය මුහුදට මුදා හැරිය. ටොන් 750ක් න්‍යෂ්ටික අපද්‍රව්‍ය සහිත ජලය! අදත් ටෙප්කෝ සමාගමට එරෙහිව එහි වගවීම සඳහා කිසිවක් කරලා නෑ. අබේ ආණ්ඩුව සමාගම බේරගන්න මහා ජනතාවගේ විරෝධය මැද්දේ කටයුතු කරන්නේ සමාගමේ ලාභ ගරන බලාගාර නැවත අරින්න අවසරත් දෙන ගමන්.
ලංකාවේ කොකා කෝල සිද්ධියත් සම්බන්දයෙන් ඊනියා යහපාලන ආණ්ඩුව කරන්නෙත් එකමයි. මේ මහා පරිමාන අපරාධ වලට එරෙහිව කම්කරු පන්තිය පරීක්ෂණ පවත්වන්න ඕන. වැලිවේරිය ජල දූෂණය පිළිඹඳ ස්වාදීන කම්කරු පරීක්ෂණය ඒ වගේ එකක්. පරිසර හිතකාමීව ලෝකයේම සම්පත් මහා ජනතාවගේ අවශ්‍යතාවලට සරිලන පරිදි යොදාගෙන නිෂ්පාදනය කරන, බෙදා හරින, ලාභ ක්‍රමය අහෝසි කරන ලෝක සමාජවාදී ක්‍රමයක් ඇතුලේ විතරයි මේ වගේ බහු ජාතික සමාගම් වල වත්කම් ජනසතු කරලා ශ්‍රම සූරා කෑම නතර කරලා පරිසරයත් සුරකින්න පුළුවන් වෙන්නේ.

No comments:

Post a Comment