Tuesday, May 26, 2020

වසංගතය මධ්‍යයේ පැනවූ "ඇඳිරිනීතිය" නීත්‍යානුකූල යයි මහේස්ත්‍රාත් අධිකරනයක් තීන්දු කරයි

කොරෝනා වෛරස වසංගතය රටපුරා පැතිරීයාමේ අවධානම මධ්‍යයේ ශ්‍රී ලංකා ආන්ඩුව රටේ විවිධ ප්‍රදේශවල විටින්විට පැනවූ "ඇඳිරිනීතිය" නීතිත්‍යානුකූල බව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරනය පසුගියදා (මැයි 11) තීන්දු කලේය. රටපුරා 'ඇඳිරිනීතිය' උල්ලංගනය කිරීම යන චෝදනාව යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයන් ගනන 60000 ක් ඉක්මවන අතර, එම අත්අඩංගුවට ගැනීම් නීති විරෝධී බවට මතයක් ප්‍රචලිතවීමේ පසුබිමක් තුල පොලීසිය මෙම නියෝගය ලබා ගත්තේය.

වසංගතය වැලැක්වීම සම්බන්ධයෙන්  මුලසිටම සාපරාධී නොසැලකිල්ලෙන් හා මහජන ජීවිත සම්බන්ධයෙන් නොතැකීමෙන් කටයුතු කල ආන්ඩුව සමාජ දුරස්ථකරනය ප්‍රධානම හා අඩු වියදම් ක්‍රියාමාර්ගය වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මාර්තු 20 සිට ඇඳිරිනීතිය වරින් වර ප්‍රකාශයට පත්කරන ලද්දේ ජනාධිපති මාධ්‍ය අංශය මගින් නිකුත් කල මාධ්‍ය නිවේදන හරහාය.

ඇඳිරිනීතිය, පොලීසියේ අනීතික නියෝග කිරීම්, දඬුවම් පිලිබඳ තර්ජන සහ මාධ්‍ය හරහා කරන ඒකපාර්ශ්වික හේතුදැක්වීම් වලට විපරීතව, ආන්ඩුව මිලියන සංඛ්‍යාත මහජනතාවකට එදිනෙදා අවශ්‍ය දෑ සැපයීමේ විධිමත් වැඩපිලිවෙලක් සම්පාදනය නොකිරීම නිසා, ආදායම් අහිමිවීම, ආහාර පාන සහ බෙහෙත් ද්‍රව්‍ය සොයාගැනීම ඇතුලු අනෙකුත් හදිසි හා අත්‍යවශ්‍ය කාරනා සඳහා එලිමහනට බැසීමට මහජනයාට බලකෙරී පැවතිබව මෙම දැවැන්ත අත්අඩංගුවටගැනීම් මගින් හෙලිවන වෛශික සත්‍යය යි.

කම්කරු ජීවිත වසංගතයේ අන්තරායට තල්ලු කරමින් රටේ සෑම ප්‍රදේශයක්ම ආර්ථිකය සඳහා විවෘත කර ඇති මේ වන විට, වාහන 17000 කට වැඩි ප්‍රමානයක්ද සමග, අත්අඩංගුවට ගන්නාලද පුද්ගලයන් 17000 කට වැඩි  සංඛ්‍යාවකට එරෙහිව උසාවියේ නඩු පවරා ඇති අතර, 6000 කට වැඩි ගනනකට දඬුවම් පමුනුවා ඇති බව  නියෝජ්‍ය පොලීස්පති අජිත් රෝහන මාධ්‍යයට පවසා ඇත. මෙලෙස නඩු පවරා ඇති අයෙකුට ඇප ලබාදීමේ නියෝගය නිකුත් කරමින් ගම්පහ මහේස්ත්‍රාත් මංජුල කරුනාරත්න මෙම තීන්දුව ප්‍රකාශයට පත්කර ඇත. 

පැහැදිලි නීතිමය කරුනු හා අර්ථදැක්වීම් ගනනාවක් වරදවා දක්වා ඇති අධිකරන තීන්දුව, නෛතිකව සාවද්‍ය ය. 

අධිකරන තීන්දුව මගින්ම සනාථ කරන පරිදි පොලීසිය හරහා රජය දැනටමත් පිලිගෙන ඇත්තේ ඇඳිරිනීතිය පනවනු ලැබ ඇත්තේ මහජන ආරක්ෂක පනතේ (මආආ) 16 වගන්තිය හෝ මආආ යටතේම පනවනු ලබන හදිසි අවස්ථා රෙගුලාසි යටතේ නොවන බවයි. අප්‍රේල් මස අගභාගයේ සිට "නිරෝධායන ඇඳිරිනීතිය" යන නාමකරනයක් දෙමින් නියෝජ්‍ය පොලිස්පති රෝහන මාධ්‍යයට ප්‍රකාශකර සිටියේ ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා ප්‍රකාශයට පත්කොට ඇත්තේ නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනත (නිරෝවැආ) යටතේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ නියෝග මත පනවනු ලැබූ ඇඳිරිනීතියක් බව ය. අධිකරන නියෝගයේ හරය මෙම මතයට රබර් සීල් ගැසීමයි.

නිරෝවැආ හි 3 වන වගන්තියේ මගින් ආඥාපනතේ 2 වගන්තිය යටතේ සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් අදාල රෙගුලාසි සකස් කළ හැකි විෂයයන් දක්වා ඇත. එහෙත් එම වගන්තියේ කිසිදු අනු වගන්තියක් යටතේවත් අමාත්‍යවරයාට සාමාන්‍ය ඇඳිරිනීති තත්ත්වයක් යටතේ මෙන් නිරෝගී පුද්ගලයන්ගේ ගමන් බිමන් වලකන රෙගුලාසි පැනවීමේ බලයක් හිමි නොවේ. එසේම එවැනි කොන්දේසි පනවමින් සාමාන්‍ය මහජන ජීවිතය සීමාකරන  කිසිදු රෙගුලාසියක් මේ දක්වා පනවා ඇත්තේද නැති අතර ඒ සෑම රෙගුලාසියක්ම අදාල වන්නේ රට තුලට හා ඉන් පිටතට නිශ්චිත වසංගත රෝගයක් බෝවීම වැලැක්වීම සම්බන්ධයෙන් හා රෝගය වැලැඳී ඇති රෝගීන් නිරෝධායනය කිරීම පිලිබඳව පමනි. 

ඒ අනුව, හුදෙක් ජනාධිපති මාධ්‍ය නිවේදන හරහා පනවනු ලැබූ ඇඳිරිනීතිය නිරෝධායන හා රෝග වැලැක්වීමේ ආඥාපනතට (නිරෝවැආ) ද කිසිදු සම්බන්ධයක් නැත.

ඇඳිරිනීතියේ අනීතිකභාවය පිලිබඳව සමාජගත වීමත්, අධිකරනයට ඉදිරිපත් කරන පුද්ගලයන්  මෙම නීතිමය කරුනු මත තම අත්අඩංගුවට ගැනීම් අභියෝගයට ලක්කිරීමත් සමඟ මෙවන් තීන්දුවක් අධිකරනයකින් ප්‍රකාශයට පත්කරවා ගැනීමට පොලීසිය හා ආන්ඩුවට අවශ්‍යව පැවතියේය. 

මීට පෙර, වැඩබලන පොලිස්පතිගේ ඉල්ලීම මත උපදෙස් දෙමින්, ඇදිරිනීතිය පැනවීම හා ඒ යටතේ "රෝගය වැලැක්වීම" සඳහා පොලීසිය ගන්නා ලද ක්‍රියාමාර්ග  අනුමත කරන බව නීතිපති අප්‍රේල් 30 නිවේදනය කලේය.

තමන්ගේ අත ශක්තිමත් කිරීමේ "ඓතිහාසික තීන්දුවක්" ලෙස පොලීසිය හුවා දැක්වුවද, මෙම තීන්දුව මගින් වෙනත් මහේස්ත්‍රාත්වරයෙකු හෝ ඉහල අධිකරනයක් බැඳ තැබෙන්නේ ද නැත. 

දැවැන්ත මුල්‍ය හා ආර්ථික අර්බුදයක් තුල ක්‍රියාවට දැමෙන දැඩි කප්පාදු පිලිවෙත් වලට එරෙහිව වර්ධනය වෙමින් පවතින කම්කරු පන්තික අරගල පාගා දැමීම සඳහා, කොරෝනා වසංගතය (කොවිඩ්-19) ඩැහැගෙන, ආඥාදායක පාලනයක් තහවරු කරගැනීම පිනිස වඩවඩාත් මිලිටරිය මත පදනම් වෙමින්, ව්‍යවස්ථාවද, රටේ පොදු නීතියද නොතකමින්,  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ උත්සන්න කල වැඩපිලිවෙලක පසුබිම තුල මෙම අධිකරන තීන්දුව ස්ථානගත වේ.  

රාජපක්ෂ ජනාධිපති ලෙස දිවිරුම් දීමේ දින සිට අවධාරනය කලේ රටේ සියලු රාජ්‍ය නිලධාරින් තම ප්‍රත්පත්තිවලට අවනතව කටයුතු කල යුතු බවයි. අධිකරනය හා අගවිනිසුරු සම්බන්ධයෙන්ද රාජපක්ෂ කිහිප වරක්ම විවිධාකාරයෙන් අවධාරනය කලේ තම සංවර්ධන වැඩපිලිවෙලට අධිකරනය භාධාවක් වන පරිදි කටයුතු නොකල යුතු බවයි. කොලඹදී නීති සමුලුවක් අමතමින් පෙබරවාරි මැද රාජපක්ෂ  කීවේ, "රජයේ විධායක හා ව්‍යවස්ථාදායක ශාඛාවල ක්‍රියාකාරිත්වයට අධිකරනය අනවශ්‍ය ලෙස මැදිහත් නොවිය යුතු" බවයි.

ගිය සතියේ (14) රාජ්‍ය නිලධාරීන් සමඟ පැවති සාකච්ජාවකදී, රාජ්‍ය නිලධාරීන් තම "හරි" ප්‍රතිපත්ති ප්‍රශ්න කිරීමකින් තොරව පිලිගත යුතු බවත්, එසේ නොමැතිනම් ඉවත්ව යා යුතු බවටත් රාජපක්ෂ අනතුරු ඇඟවීය. නීතියට පිටින්, අත්තනෝමතිකව තම පාලනය ගෙනයෑමේ සූදානම වඩා හොඳින් හෙලිදරව් කරමින් ඔහු සඳහන් කලේ, ආර්ථික ඉලක්ක හඹා යාමේදී "තාර්කික නොවන නීති රීති" භාධාවක් නොකරගත යුතු බවයි. ජනාධිපති මෙසේ කියා සිටින්නේ ප්‍රතිපත්තිවල "හරි" බව හා නීති වල "තාර්තික" බව තීරනය කිරීමේ අවසාන බලධාරියා තමන් බව ය.

ඇඳිරිනීතිය පැනවීම සඳහා, රාජපක්ෂ මආආ යටතේ ගැසට් නිවේදන නිකුත් කරමින් කටයුතු නොකලේම ආන්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව එවන් අවස්ථාවක, ඔහු විසින්, කල් පිරීමට පෙර, ප්‍රජාතන්ත්‍ර විරෝධීව, විසුරුවා හල පාර්ලිමේන්තුව නැවත කැඳවීම වැලැක්වීම සඳහාය. 

පාර්ලිමේන්තුව මාර්තු 2 විසුරුවාහරිනු ලැබූ පසු ව්‍යවස්ථානුකූලව මාස තුනක් තුල, එනම් ජුනි 02 වන විට, මැතිවරනය පවත්වා නව පාර්ලිමේන්තුව කැඳවිය යුතු නමුදු, වසංගතය මධ්‍යයේ එසේ කල නොහැකි උවද, විසුරුවාහල පාර්ලිමේන්තුව එහි ඉතිරි කාලය සඳහා නැවත කැඳවීමට තමන් කිසිදු සූදානම් නැති බව කියා සිටි රාජපක්ෂ, රටේ නීතිය පිලිබඳ තම අවඥාව ප්‍රකට කරමින් අප්‍රේල් 20 සම්මුඛ සාකච්ජාවකදී ප්‍රකාශ කලේ, "කල නොහැක්කක්” සම්බන්ධයෙන් නීතියට අනුව කටයුතු නොකිරීම, නීති-විරෝධී නොවන බවයි. රාජපක්ෂ මෙසේ "කල නොහැක්කක්" යනුවෙන් දක්වන්නේ ව්‍යවස්ථාවට අනුව කටයුතු කල නොහැකි බවයි.

නීතියට පිටින් කටයුතු කිරීම නීත්‍යානුකූල හා සාධාරනීකරනය කිරීම සඳහා රාජපක්ෂ ඔහුගේ නීති වන්දිභට්ටයන් යොදාගනිමින් අනීතික ක්‍රියාමාර්ග නීත්‍යානුකූල කරන, කුප්‍රකට "අවශ්‍යතාවයේ මූලධර්මය" ජනාධිපතිගේ ක්‍රියාවන්ට අදාල වන බවට ප්‍රචාරයක් ගෙනයමින් තිබේ.

වසංගතයට හා එහි ප්‍රතිවිපාක ලෙස ගෝලීය ආර්ථිකය බිඳවැටීමට පෙර පවා, ශ්‍රී ලංකාවේ ආර්ථිකය පැවතුනේ ප්‍රගාඪ අර්බුදයක ය. රටේ ආර්ථික සංවර්ධන වේගය 1.5% දක්වා පහලට රූටා ඇති අතර  අයවැය පරතරය දල දේශීය නිෂ්පාදනයෙන් 7.9% දක්වා ඉහල ගොස්  ඇත. බැංකු හා මහා ව්‍යාපාර ගලවා ගන්නා අතර, ඩොලර් බිලියන 55.9 ක  දැවැන්ත නය කන්දරාවත් ගෙවීමේ කොන්දේසි යටතේ විශාල සමාජ සුභසාධන සේවා හා වැටුප් කප්පාදු කිරීමට කම්කරුවන් ගොදුරු කෙරෙනු  ඇත.

අර්බුදයට යන ආර්ථිකය කෙලින් කිරිම හා කම්කරු අරගලවලට මුහුන දීම සඳහා "දැඩි පාලනයක්" කැඳවුම් කරම්න් සිටි රටේ ධනපති පාලක පන්තිය පසුගිය ජනාධිපතිවරනයේදී රාජපක්ෂ බලයට ගෙන ආවේ පන්ති යුද්ධයේ එම ඉලක්කයන් සපුරා ලීමට ය. ජනාධිපති ලෙස පත්වූ පසු වසංගතයට පෙර සිටම වතු, දුම්රිය, පරිපාලන සේවය ආදී කම්කරුවන්ගේ හා ශිෂ්‍යයන්ගේ  උද්ඝෝෂන වැඩී ආවේ ආන්ඩුවේ කප්පාදු වැඩ පිලිවෙත්වලට එරෙහි පුපුරා යාමට නියමිත පන්ති අරගල මාලාවක් පිලිබඳ සංඥාවක් ලෙසිනි.

මෙම වර්ධනයන්ට මුල සිටම සූදානම් වීම සඳහා රාජපක්ෂ මිලිටරිය රටපුරා දිගේලි කරගත් අතර රාජ්‍ය පරිපාලනයේ ඉහලම නිලවලට හිටපු මිලිටරි නායකයන් පත් කලේය. අගමැති සහෝදර මහින්ද රාජපක්ෂ සඳදා (18) ප්‍රකාශ කලේ තම පාලනය තුල ඉදිරියට ද එසේ කරනු ඇති බව යි. ආන්ඩුව කොරෝනා වසංගතය ඩැහැගත්තේ  මෙම පියවරයන් වඩාත් තීව්‍ර කරමින් රාජ්‍ය බුද්ධි අංශ, පොලීසිය හා මිලිටරිය කම්කරු පන්තිය මෙල්ල කිරීමේ යාන්ත්‍රනයක් ලෙස පුලුල්ව ව්‍යාප්ත කිරීමට ය.

කම්කරු පන්තියට මුහුන දීමේ රාජපක්ෂගේ සැලැස්ම හෙලිදරව් කරමින් ඔහුගේ ආරක්ෂක ලේකම්  පසුගියදා  ප්‍රකාශයට පත් කලේ, “ආපදා තත්ත්වයන්, කම්කරුවන්ගේ වැඩ වර්ජන හා සිවිල් කැලඹීම්වල බලපෑම ලොප් කිරීම" පිනිස  සිවිල් පරිපාලනය සමග මිලිටරිය මිශ්‍ර කිරීමේ  "ඒකාග්‍රිත, හදිසි සැලැස්මක්"  ක්‍රියාවට දැමීමට ආන්ඩුව කටයුතු යොදා ඇති බව යි.

ඉදිරි මැතිවරනයේදී තමන්ට අවනත තුනෙන් දෙකක බහුතර බලයක් සහිත පාර්ලිමේන්තුවක් පිහිටුවා ගැනීමටත්, ඒ හරහා තම විධායක බලයට ඇති සීමාසහිත බාධා පවා මකා දැමීමටත් රාජපක්ෂ අපේක්ෂාවෙන් සිටී.

මෙසේ, ව්‍යවස්ථාමය සම්මතයන් හා නීතියේ ආධිපත්‍යය කීතු කරමින්, ජනාධිපති ආඥාදායකත්වයක් සූදානම් කිරීමට වසංගත තත්ත්වය යොදාගනිමින් සිටින රාජපක්ෂ ව්‍යවස්ථාදායකය, සිවිල් පරිපාලන සේවය හා අධිකරනය ඒ සඳහා ඒකාග්‍ර කරගනිමින් සිටී.

ධනේශවර ප්‍රජාතන්ත්‍රවාදයේ ශේෂවූ නාමික වටිනාකම්ද ධනපති ලාභ ආරක්ෂා කිරීම හා එහි අධිපතිවාදී දේශපාලන නියෝජිතයන් සුරැකීම සඳහා උගුලා දැමීම ලංකාව හෝ වෙනත් තනි රටකට සීමා වූවක් නොවේ.  

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපති ලෙස පත්වීමට ප්‍රථම කරනු ලැබූ මූල්‍ය ගෙවීම් සම්බන්ධ අපරාධ නඩු කටයුතුවලින් මුක්තිය ලබාදීම සලකාබැලීම සඳහා ඇමරිකානු  ශ්‍රේෂ්ඨාධිකරනය මෑතකදී තීරනය කිරීම, ආඥාදායක පාලන තන්ත්‍රවල අත ශක්තිමත් කිරිම සඳහා සෑම රටකම පාලක පන්තීන්ගේ උත්සුකය පෙන්නුම් කල ජාත්‍යන්තර වැදගත්කමක් දරන සිදුවීමකි.

කොරෝනා වසංගතය අවධානම ඉහල අඩියක පැවතියදීම කම්කරුවන්ගේ ජීවිත මරනයට බිලිකරමින් නැවත වැඩට දැක්කීම සඳහා ලංකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ජර්මනිය, දකුනු කොරියාව,  ඇමරිකාව ආදී සෑම රටකම ආන්ඩු සාපරාධී පියවර ගනිමින් සිටින්නේ මහා සංගත හා ව්‍යාපාරවලට අවශ්‍ය පරිදි කම්කරු නීති උල්ලංගනය කිරීම සඳහා නෛතික ආවරනය සැපයීමට කටයුතු කරමිනි. ඇමරිකාවේ ට්‍රම්ප්, බ්‍රසිලයේ බොල්සනාරෝ, බ්‍රිතාන්‍යයේ ජොන්සන්, ඉන්දියාවේ මෝඩි සිට සෑම රටකම පාහේ පාලන තන්ත්‍රයන්  ආඥාදායකත්වයන් දක්වා රූටා යමින් තිබේ. 

Article on the same topic in wsws is here

No comments:

Post a Comment