Saturday, May 9, 2020

මිලිටරි මුරකාවල් මධ්‍යයේ ආන්ඩුව රටපුරා කම්කරුවන් වැඩට කැඳවයි

දිවයින තුල උත්සන්න වී ඇති කොරෝනා වසංගතයට දහස් ගනන් මහජනයා ගොදුරු කිරීමේ කොන්දේසි නිර්මානය කරමින්, ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල ද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා හා නිෂ්පාදන ආර්ථිකය ලබන සඳුදා (11) සිට විවෘත කිරීම ට  ශ්‍රී ලංකා ආන්ඩුව තීරනය කර ඇත. 

රටපුරා කම්කරුවන් නැවත වැඩට කැඳවනු ලැබෙන අතර ඒ දැඩි පොලිස් හා මිලිටරි මුරකාවල් මධ්‍යයේය. වසංගත තත්ත්වය සාමාන්‍යකරනයට ලක්කරමින් එය සමඟ ජීවත්වෙමින් වැඩකිරිමට බලකරන අතර, කිසිදු සෞඛ්‍ය ආරක්ෂන වැඩපිලිවෙලක් සම්පාදනය කිරීමකින් තොරව රෝගයට ගොදුරු නොවී සිටීමේ වගකීම ආන්ඩුව මහජනයා පිට පවරා තිබේ. 

මැයි 01 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය අංශය නිකුත් කර ඇති නිවේදනයක් හරහා නියෝග කරනු ලැබ ඇත්තේ "දෛනික ජන ජීවිතය හා ආයතනික ක්‍රියාකාරීත්වය" මැයි 11 සිට කොලඹ, ගම්පහ, කලුතර හා පුත්තලම යන දිස්ත්‍රික්කවල ඇඳිරිනීතිය පවතිද්දීම ආරම්භ කල යුතු බවයි. "අත්‍යාවශ්‍ය සේවා" පවත්වා ගැනීම ඇතුළු ජනජීවිතය සහ ආර්ථිකය "යථා තත්ත්වයට පත් කිරීම" පිනිස රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේ ආයතන විවෘත කොට පවත්වාගෙන යා යුතුය.

නව නියෝගය අප්‍රේල් 25 නිකුත් කර ඇති නියෝගයේ කොන්දේසි අදාල කරගනී. ඒ අනුව පාරිභෝගික ද්‍රව්‍ය වෙලඳ ස්ථාන සහ  රාජ්‍ය ආයතන සේම පෞද්ගලික අංශයේ කර්මාන්තශාලා, ගොඩනැගිලි ඉදිකිරීම් ව්‍යාපාර හා සේවා ස්ථාන විවෘත කල හැකිය. 

සේවා මුර ක්‍රමයට රාජ්‍ය හා පෞද්ගලික අංශයේ  සේවයට කැඳවිය යුතු සේවක සංඛ්‍යාව සහ සේවයට කැඳවන්නේ කුමන සේවකයන්ද යන්න තීරනය කිරීමේ පූර්න අභිමතය ආයතන ප්‍රධානියා සතුය.  රාජ්‍ය අායතනවල සේවයට කැඳවිය යුත්තේ මුළු සේවක සංඛ්‍යාවෙන් ⅓ ක් හෝ අවම ගනනකි. සෙසු සේවකයන් නිවසේ සිට ⁣රාජකාරිවල නියැලිය යුතුය. පුද්ගලික ආයතනවල මෙවන් සීමාවක් නිශ්චිතව පනවා නැත්තේ ආයතන අයිතිකරුවන්ට තමන්ට අවශ්‍ය පරිදි සේ්වක සංඛ්‍යාව කප්පාදු කිරීමේ නිදහස ලබාදීම සඳහාය.

සේවා ස්ථානවලට ගමන්කිරීම හැර "ජනයා අනවශ්‍ය ලෙස මහාමාර්ගයට පැමිණීම සහ වෙනත් ස්ථානවල එක්රැස්වීම" නොකල යුතුය. එනම් වෙනත් සියලු මහජන ඒකරාශී වීම් ඇඳිරිනීතිය කඩකිරීම හෝ නිරෝධායන නීති යටතේ පුද්ගලයන් අත්අඩංගුවට පත්කෙරෙන අවස්ථා ලෙස ක්‍රියාත්මක වෙනු ඇත. 

මාර්ගයේ හා ආයතනවල සමාජ දුරස්ථතාවය, මුඛ ආවරන පැලදීම ආදී "නියමයන් කඩ කරන්නේදැයි පොලීසිය සහ ආරක්ෂක හමුදා දැඩි සෝදිසියෙන් සිටිනු ඇත," යනුවෙන් නියෝගයේ සඳහන්ය. මෙම අනතුරු ඇඟවීම  ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු කොලඹ
"ප්‍රදේශය යුද කාලයේ තිබුනා වගේ පාලනයක් ඇතිකරලා විනයක් ඇතුව හික්මීමක් ඇතුව" පාලනය කිරීම සඳහා පොලීසිය හා මිලිටරිය යොදනබවට ජනාධිපති රාජපක්ෂ අප්‍රේල් 20 කල ප්‍රකාශය තහවරු කිරීමකි.  එනම් කම්කරුවන් වැඩට යෙදවෙනු ඇත්තේ දැඩි හමුදා මුරකාවල් මධ්‍යයේය. මෙහි අර්ථය නම් කිසියම්ම හෝ කම්කරු විරෝධයක් වර්ධනය වීම මුල් අවස්ථාවේදීම සිඳීම සඳහා මිලිටරිය යොදාගනු ඇති බවය.

මීට පෙර, මැයි 04 සිට මෙම නව විවෘත කිරීමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සූදානම් කෙරී තිබුනු නමුදු පසුව එය කල් තැබිනි. එහි කොන්දේසි දක්වමින් අප්‍රේල් 25 නිකුත් කල නියෝගයේ කම්කරු පීඩිත මහජනතාව "සියලු අපහසුතා" ඉවසා සිටිය යුතු අතර "සමාජයේ යහපතට" භාධාවන අයුරින් කටයුතු කරන අයට පවතින නීතිය යටතේ "උපරිම දඬුවම්" පමුනුවනු ලබන බවට අනතුරු අඟවා ඇත.

ආන්ඩුව සඳහන් කරන "සමාජයේ යහපත" යන්නෙහි මූලික අර්ථය නම් වසංගතය මධ්‍යයේ ලෝක ආර්ථික හා මූල්‍ය අවපාත තත්ත්වයන් යටතේ සංකෝචනය වී ඇති දේශීය ධනපති ආර්ථිකය ප්‍රකෘති කිරීම හැර අන් කිසිවක් නොවේ. එම ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සඳහා තම ජීවිත පූජා කිරීමට සාමකාමීව සූදානම් වන ලෙස ය කම්කරු මහජනතාවට ජනාධිපති කියා සිටින්නේ.

කිසිදු විද්‍යාත්මක සෞඛ්‍ය ආරක්ෂන වැඩසටහනක් ක්‍රියාවට දමා නැති අතර, දුම්රිය හා බස්රථ හරහා දස දහස් ගනනින් සේවයට පැමිනෙන කාර්යාල හා කර්මාන්ත කම්කරුවන් ප්‍රවාහනයේදීත්, වැඩභූමි තුලත් වසංගතයට ගොදුරුවීමේ කොන්දේසි වලට යටත් කෙරී ඇත. කම්කරුවන් වැඩට පැමිනෙන්නේ තමන් රෝගීවෙමින්, තම නිවෙස්වල දරුවන් හා වැඩිහිටියන් ඇතුලු ආදරනීයයන් වසංගතයට ගොදුරු කිරීමේ රෝග වාහකයන් වීමේ භීතියද සමඟිනි.

අප්‍රේල් 20 සිට රටේ සෙසු දිස්ත්‍රික්ක වල ඇඳිරිනීතිය දිවා කාලයේ බල නොපැවැත්වෙන බැවින් සෑම ක්ශේෂ්ත්‍රයකම කම්කරුවන් දෛනික ආර්ථික කටයුතුවල සාමාන්‍ය පරිදි යෙදීමට බලකෙරී ඇත. රටපුරා නිදහස් වෙලඳ හා ආයෝජන ප්‍රවර්ධන කලාප ඇතුලු කර්මාන්ත ශාලාවල කම්කරුවන් ⁣මෙලෙස වැඩට කැදවනු ලැබිනි.

මෙම විධායක නියෝග රටේ කම්කරු පන්තිය දශක ගනනාවක් අරගල හරහා දිනාගත් සීමිත අයිතීන් පිලිබඳ නීති අවඥා සහගත ලෙස බැහැර කරයි. රට මෙලෙස වැඩ සඳහා විවෘත කිරීම, අගුලු දැමීමේ කොන්දේසි නිසා තම ලාභ සිඳීයාම පිලිබඳ ධනපති ව්‍යපාරිකයන් හා හාම්පුතුන් ගේ කන්නලව් වලට රාජපක්ෂ ආන්ඩුවේ සෘජු ප්‍රතිචාරය යි.

අප්‍රේල් 17 දා ඩේලිඑෆ්ටී පුවත්පතේ ද, පසුව ලංකා හාම්පුතුන්ගේ සම්මේලනයේ (ලංහාස) වෙබ් අඩවියේද  පලකල ජනාධිපති වෙත යොමුකල "හදිසි ආයාචනයක්" මගින් ධනපති හාම්පුතුන් වෙනුවෙන් ලියන ෆෑන්කිලින් අමරසිංහ තම පන්තිය සඳහා වරප්‍රසාද ඉල්ලා සිටියේය.  ලංකාව තුල ඇති කම්කරුවන්ගේ සේවය අවසන් කිරීමේ (1971 අංක 45) පනත වැනි  "කම්කරු ආරක්ෂාව සඳහා ඇති (නීතිමය) අවි" අත්හිටවනු ලැබිය යුතු බව නිර්දේශ කරන ඔහු, "නිදහස් වෙලඳාමට මානුෂීය මුහුනුවරක්" ගෙන එ⁣මින් ව්‍යාපාර ආරක්ෂා කරගැනීම සදහා "සමාජවාදී ආර්ථිකයකට" සුදුසු කම්කරු නීති, අත්හිටුවීමේ ශක්තිමත් දේශපාලන නායකත්වයක් අවශ්‍යයැයි කියා සිටී. මේ සඳහා ජනාධිපති විසින් වෘත්තීය සමිති එකඟකරවා ගත යුතුය.

ව්‍යපාර කිරීම සඳහා ඇති අයිතිය රටේ කම්කරු නීතිය අභිබවා  ව්‍යවස්ථාවෙන්ම දී ඇති මූලික අයිතියක් ලෙස හදුන්වන අමරසිංහ, "සමාජ සාධාරනත්වය" යන්න අර්ථකතනය කල යුත්තේ රජයේ ඇඟිලිගැසීමකින් තොරව සමාගම් ප්‍රතිව්‍යුහගත කිරීම, වන්දි ප්‍රදානය කිරීම සම්බන්ධව වෘත්තීය සමිති සමඟ සාකච්ඡා මගින්  අභ්‍යන්තරව විසඳා ගැනීම යනාදී  ව්‍යාපාරවල මූලෝපායික තීරනයන් ගැනීමට සමාගම්වලට ඇති "නිදහස" බව කියා සිටී. 

ලංහාස ආන්ඩුවට අප්‍රේල් 25 යැවූ ලිපියක මෙම යෝජනා ක්‍රියාත්මක කිරීමේ වඩා සංයුක්ත වැඩපිලිවෙලක් යෝජනා කලේය. තම විධායක බලය යොදවමින් කම්කරු පන්තියට එරෙහිව රාජපක්ෂ දැන් අකුරටම ඉටුකරමින් සිටින්නේ ධනපති පන්තියේ මෙම පන්ති යුද්ධයේ අවශ්‍යතාවයන් ය. 

මහජනතාවගේ සෞඛ්‍යය හා ජීවිත ආරක්ෂනය නොව ධනපති සූරාකෑමේ ලාභ පද්ධතිය රැකීම ආන්ඩුවේ මූලික උත්සුකය බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි පසුගියදා  මාධ්‍යයට මෙසේ ප්‍රකාශ කලාය:  "අපට තියෙන්නෙ මේ රටේ ආර්ථිකය නැගිටිටවීමෙි වගකීම. ආර්ථිකය සම්පූර්නයෙන් වහලදාල රටක් යන්නෙ කොහොම ද? ඒකයි අපිට තියෙන ප්‍රශ්නය". 

ආර්ථිකය විවෘත කිරීමේදී රෝගය වැලදීමේ වගකීම කම්කරු මහජනතාව මත පටවමින් අමාත්‍යවරිය නරුම ලෙස ⁣සදහන් කලේ, " රෝග ලක්ෂන පෙන්නුම් නොකරන රෝගීන් ඔබ අසල ගැවසිය හැකි" බවත්,  රෝගය වැලදීම වලක්වාගැනීමට "සමාජ දුරස්ථකරනය තබා ගනිමින් ඔබ දෛනික කටයුතුවලට යොමු වන්න," යනුවෙනි.

අද (08) වන විට රට තුල කොරෝනා වෛරසය ආසාධිතයින් ගනන 824 ක්ද මරන 09ක් ද  වේ. සිදුකෙරෙන අවම පරීක්ෂන ප්‍රමානය යටතේ උවද, වසංගතයේ ආසාධිතයන් සොයාගැනීමේ සීග්‍රතාවය පසුගිය සති දෙක තුල අවම වශයෙන්  දිනකට 30 ක සාමාන්‍යයක් දක්වා ඉහල ගොස් තිබේ. සාමාන්‍ය ජන ජීවිතය ආරම්භ කිරීමට හැකි කිසිදු විද්‍යාත්මක පසුබිමක් නැතබව වසංගත විද්‍යාඥයන් ගනනාවක් අනතුරු අඟවා තිබේ. 

ආර්ථික කටයුතු නැවත විවෘත කිරීමේ සැලැස්මේ සැබෑ අන්තර්ගතය රාජපක්ෂ ආන්ඩුවේ අමාත්‍ය දිනේශ් ගුනවර්ධන පෙරේදා පැහැදිලිව ප්‍රකාශ කලේය. කම්කරු අමාත්‍යංශය, හාම්පුතුන්ගේ සම්මේලනය හා වෘත්තීය සමිති සමඟ ආන්ඩුව එකඟවී ඇත්තේ කම්කරුවන් සේවයෙන් පහ නොකරන නමුත් ඔවුන්ගේ වැටුප් භාගයකින් කපා හැර මුර ක්‍රමයට සේවයේ යොදවා ගැනීමටයි. ඒ අනුව අවම වැටුව රුපියල් 14,500ක් දක්වා කපා හැරේ. 

සත්‍යය වන්නේ සේවයෙන් පහකිරිම් දැනටමත් සිදුකෙරෙමින් පවතින බවයි. සොෆ්ට්ලොජික් හා ජෝන්කීල්ස් සංගත ද, ඇගලුම් කම්හල් හිමියන්ද,  අවුරුදු 50 වඩා වයසැති කම්කරුවන් දොට්ට දැමීම, අර්ථසාධක හා සේවක භාරකාර අරමුදල් මාස හයකට නොගෙවීම සහ අතිකාල දීමනා අත්හිටුවීම ආදී කප්පාදු නිවේදනය කර ඇත.

රටේ ආර්ථික සංවර්ධන වේගය 1.5% දක්වා පහල වැටීම හේතුවෙන් පහලයන ලාභ රේට්ටු යථාවත් කිරීම සඳහා කර්මාන්ත තුල මෙසේ යොදවන අවම ශ්‍රමිකයන් සංඛ්‍යාවන් දැඩි සූරාකෑමට ලක්කිරීමට නියමිතය. අයවැය පරතරය දල දේශීය නිෂ්පාදනයෙන් 7.9% දක්වා ඉහල ගොස් ඇති අතර ඩොලර් බිලියන 55.9 ක  දැවැන්ත නය කන්දරාවත් ගෙවීමේ කොන්දේසි යටතේ විශාල සමාජ සුභසාධන සේවා හා වැටුප් කප්පාදු කිරීමට කම්කරුවන් ගොදුරු කෙරෙනු  ඇත.

වසංගතය හේතුවෙන් 20% ක් ආදායම් පහල හෙලුනහොත්, දකුනු ආසියාවේ මිලියන 129ක් දුප්පත්කමට ඇදවැටෙනු ඇති බව  ඔක්ස්ෆෑම් ආයතනය පුරෝකතනය කරයි.

වසංගතයට අදාල සෞඛ්‍ය සේවාවන් ඉහල නැංවීම සඳහා කිසිදු අමතර මුදලක් වෙන්කර නැති අතර ව්‍යාපාර හා බැංකු ගලවා ගැනීම සඳහා මහ බැංකුව රුපියල් බිලියන 50ක මුදල් පොම්ප කරමින් හා පොලී අනුපාත සහන ලබාදෙමින් තිබේ.

කැබිනට් ප්‍රකාශකයෙකු වන බන්දුල ගුනවර්ධන පෙරදින සඳහන් කල ආකාරයට, ලංකාවේ මෙලෙය ක්‍රියාත්මක කෙරෙන්නේ ජාත්‍යන්තරව ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය සිට නවසීලන්තය හා ඉන්දියාව දක්වා ධනපති ආන්ඩුවල කම්කරු මහජනතාව නැවත වැඩට දැක්කීමේ සාපරාධී, සමූලඝාතක වැඩපිලිවෙලේ  අනුකාරකයකි. 

ලොව පුරා ධනපති න්‍යායාචාරයවරුන්ට මෙම මානව ව්‍යවසනය, වෙලදාමේම තවත් හර කොටසක් පමනි. මරනය හා රැකියාව හෝ ජීවිතය හා විරැකියාව යන දෙආකාරයෙන් එකක් තෝරාගැනීමේ තැනට මේ සියලු ධනපති නියෝජිතයෝ කම්කරුවන් තල්ලු කර ඇත.

කොරෝනා මැඩීමේ මුවාවෙන් කෙරෙන ආන්ඩුවේ මිලිටරීකරන වැඩපිලිවෙලට  හා නැවත වැඩට කැඳවීමේ  සැලැස්මට ඊනියා විරුද්ධ පක්ෂ සෑම එකක්මද සෘජුව හෝ වක්‍රව සහාය පලකර තිබේ. කම්කරු ජීවිත මරනයේ අන්තරාය වෙත ඇද දමමින් ඔවුන්  දරිද්‍රතාවයේ පතුලටම හා බරපතල සූරෑකෑමට තල්ලු කිරීම සඳහා පාලක පන්තිය පිඹුරුපත් සකසා ඇත්තේ වෘත්තීය සමිතිවලද සහාය සහිතවය.

එහෙත්, තම දිවි පරදුවට තබමින් රැකියාවල නිරත වීමට බලකිරීම, වැටුප් හා රැකියා කප්පාදුව ආදිය පිලිබඳ කම්කරුවන් ආන්ඩුවට එරෙහිව පෙලගැසෙමින් තිබේ. දැනටමත්, වතු කම්කරුවන්, රෝහල් හෙද නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, සංවර්ධන නිලධාරීන්, තැපැල් සේවකයන් හා පතල් කම්කරුවන් මෙසේ සටනට පිවිස  ඇත.

මිලිටරිය දිගේලි කරමින් පාලක පන්තිය මෙම මාරක සැලැසුම්  ක්‍රියාත්මක කිරීමේ පියවර කම්කරුවන් ප්‍රතික්ශේප කල යුතුය. 

සම්පූර්න වැටුප්, දීමනා, විශ්‍රාම වැටුප් සහ රැකියා අහිමිවීම් සඳහා  පූර්න වන්දි  තහවරු කරගැනීම පිනිස සමිතිවලින් ස්වාධීනව තම අරගල ඉදිරියට ගනිමින් කම්හල් හා වැඩභූමි තුල කම්කරුවන් ක්‍රියාකාරී කමිටු පිහිටුවා ගත යුතුය.  

ඒ සඳහා දේශපාලන වැඩපිලිවෙලක් ඉදිරිපත් කරන "අනාරක්ෂිත වසංගත කොන්දේසි යටතේ ආපසු වැඩට යාමට විරුද්ධ වනු! රැකියා විනාශය එපා!" යනුවෙන් ශ්‍රී ලංකා සමාජවාදී සමානතා පක්ෂය (සසප) අප්‍රේල් 19 ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පල කල ප්‍රකාශයේ මෙසේ කියයි: 

"මෙම හදිසි කර්තව්‍යයන් අත්පත් කරගත හැක්කේ, ධනපති පන්තියෙන් නිෂ්පාදන බලවේග උදුරාගෙන, සමාජයේ බහුතරයේ අවශ්‍යතා සඳහා ඒවා තාර්කික ව සංවිධානය කිරීමෙන් පමනි. මෙම පියවරයන් ක්‍රියාවට දැමීම සඳහා නම්, දකුනු ආසියාවේ හා ජාත්‍යන්තර ව සමාජවාදය සඳහා අරගලයේ කොටසක් ලෙස කම්කරුවන්ගේ හා ගොවීන්ගේ ආන්ඩුවකට සටන් වැදීම අවශ්‍ය වේ."

මෙම ඉදිරිදර්ශනය හා වැඩපිලිවෙල සමඟ එක්වන්න.

Article on the same topic in wsws is here

No comments:

Post a Comment