Tuesday, May 5, 2020

ආඥාදායක පාලනයකට සූදානම් වෙමින් ආන්ඩුව මුස්ලිම් විරෝධී ප්‍රහාරයන් උත්සන්න කරයි


රටේ ව්‍යවස්ථාවට පිටින් රාජ්‍ය බලය ඩැහැගැනීම සූදානම් කරන අතර  මිලිටරියේ සහයෝගය රැලිකර ගනිමින්, ආඥාදායක පාලනයකට පාර කපමින් සිටින ශ්‍රි ලංකා ජනාධිපති ⁣ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ පාලක පන්තිය, නව වටයකින් මුස්ලිම් විරෝධී උද්ඝෝෂනයක් ආරම්භ කර තිබේ.

ආන්ඩුව හා එයට පක්ෂ වර්ගවාදී නඩ හා මාධ්‍ය මේ සඳහා කොවිඩ්-19 (කොරෝනා) වසංගතය ව්‍යාප්තිය ට වගකීම මුස්ලිම් ජනතාවට පවරමින් වෛරී සහගත චෝදනා නැගීමද, රාජ්‍ය ආරක්ෂාව පිලිබඳව පාස්තු ඉරිදා  ප්‍රහාරයේ මතකයන් ගසාකෑමද යොදාගනිමින් සිටී. 

මෙහි ආසන්නතම සිද්ධිය නම්, පසුගිය වසරේ මුස්ලිම් අන්තවාදී පිරිසක් විසින් දියත්කල පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධයැයි යන චෝදනාවක් මත මුස්ලිම් ජාතික නීතීඥවරයෙක් වන හෙජාස් හිස්බුල්ලා මාර්තු 14 දා අත්අඩංගුවට ගැනීමයි. 

ක්‍රිස්තියානි දේවස්ථාන සහ හෝටල් තුනක් ඉලක්ක කර ගනිමින් පසුගිය වසරේ පාස්කු ඉරිදා (අප්‍රේල් 21) සිදු වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් 270ක් පමන මිය ගොස් අවම වශයෙන් 500 ක් පමන තුවාල ලැබූහ. 

ත්‍රස්තවාදය වැලැක්වීමේ මර්ධක පනත යටතේ අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති නීතීඥවරයාට එරෙහි නිශ්චිත චෝදනා මේ දක්වා ඉදිරිපත් කොට නැත.  සති තුනකට අධික කාලයක් ඔහුව අනීතික ලෙස රඳවා තබාගෙන සිටින්නේ, පුද්ගලික නීති සහාය ලබාගැනීමේ අවස්ථාව ඔහුට අහිමි කරමින් හා මේ දක්වා ඔහුව මහේස්ත්‍රාත්වරයෙක් වෙත ඉදිරිපත් නොකරමින් හෝ රැඳවුම් නියෝගයක් නොමැතිව⁣ය.

පිලිගතහැකි සාක්ෂි කිසිවක් ඉදිරිපත් නොකරමින්ම, පොලිස් ප්‍රකාශක ජාලිය සේනාරත්න මාධ්‍යයට ප්‍රකාශ කලේ, ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු සැලසුම් කල දෙවන ප්‍රහාරයක් සම්බන්ධව කල පරීක්ෂන වලදී, බෝම්බකරුවන් සමඟ නීතීඥ-සේවාදායක සම්බන්ධයකට එහා ගිය සෘජු සම්බන්ධතා නීතීඥවරයාට තිබූ බවට කරුනු සොයාගෙන ඇති බවයි.

වසර මුල සිටම ආන්ඩුව පාස්කු ප්‍රහාරය සම්බන්ධව පරීක්ෂන නව වටයකින් තීව්‍ර කල අතර සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව යටතේ දියත් කෙරුනු පොලිස් පරීක්ෂන උඩු යටි කරමින්, පරීක්ෂනයට සම්බන්ද පොලිස් නිලධාරීන් ඉවත් කරමින් නව අත්අඩංගුවට ගැනීම් සිදු කලේය. මේ අතර ප්‍රහාරය ගසා කෑම සඳහා ආන්ඩු ගැති මාධ්‍ය හරහා මුස්ලිම් විරෝධී වර්ගවාදී උද්ඝෝෂනය තීව්‍ර කරන ලදී. 

හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට සමගාමීව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන්ම පසුගිය රජයේ අමාත්‍යවරයෙක්ව සිටි රිසාඩ් බදුර්දීන් ගේ සහෝදරයෙක් වන මුස්ලිම් ජාතික මොහොමඩ් රියාජ් ද අත්අඩංගුවට ගැනිනි. ප්‍රතිගාමී මුස්ලිම් ජාතිකවාදය මත පදනම්වූ ඕල් සිලෝන් මක්කල් කොන්ග්‍රස් පක්ෂයේ නායකයා වන බදුර්දීන්, ආන්ඩුව තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇතැයි දක්වමින් පසුගිය දා(මාර්තු 29) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරනයට ඉදිරිපත් කලේය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව මේ දක්වා  පුද්ගලයන් 120 ක් අත්අඩංගුවට ගෙන 40ක් රැඳවුම් නියෝග මත රඳවා ඇති බවට වාර්ථා තිබේ. මෙසේ රඳවා තබා ඇති අතිශය බහුතරයක් මුස්ලිම් ජාතිකයන් වේ. 

ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ සමස්ථ "පරීක්ෂන" දාමය තුලම මහජනතාවගේ ආරක්ෂාව පිලිබඳ කිසිදු හෝ උත්සුකයක් පාලක පන්තියට ඇතැයි යන මිත්‍යාවක් කම්කරු මහජනතාව එකහෙලා ප්‍රතික්ෂේප කල යුතුය. ප්‍රහාරය සම්බන්ධ සියලු තොරතුරු දැන සිටි රාජපක්ෂ ඇතුලු වර්තමාන ආන්ඩුවේ පාලක කවය සහ සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුව එය වැලැක්වීම සඳහා සාපරාධී ලෙස කිසිදු පියවරක් නොගත්තේ එම ප්‍රහාරය මුස්ලිම් මහජනයාට එරෙහි වාර්ගික උද්ඝෝෂනයක් හරහා ගසා කෑමටය.

ප්‍රහාරයෙන් පසු බුරුතු පිටින් මුස්ලිම් ජාතික තරුනයන් අත්අඩංගුවට ගනු ලැබුනු නමුත්, චෝදනා නැගීමට තරම් සාක්ෂි නොමැති කම මත වැඩිදෙනා නිදහස් කෙරුනි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව එය නොවැලැක්වීමේ චෝදනාව යටතේ ආන්ඩුව කෙරේ මහජනයා අතර නැගුන බරපතල අප්‍රසාදය  අවමන්ගත කිරීම සඳහා මුස්ලිම් ජනවර්ගයම ත්‍රස්තවාදීන් ලෙස නම් කරමින් ආන්ඩුව සිංහල වර්ගවාදී උද්ඝෝෂනය දැනුවත්වම උත්සන්න කලේය. සිංහල වර්ගවාදී ෆැසිස්ට් ප්‍රහාර මුස්ලිම් ගම්මාන ඉලක්ක කරගනිමින් දිගේලි කිරීම සඳහා මැයි 13 වන විට රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුන (ශ්‍රීලංපොපෙ) ට  සම්බන්ධ මැර නඩ ඇතුලු කන්ඩායම් මුදා හරිනු ලැබුනු අතර, පොලීසියේ හා මිලිටරියේ ඍජු හෝ වක්‍ර පිටුබලය සහිත ව සිදුකෙරුනු ප්‍රහාරය තුලදී අඩුතරමින් එක් මුස්ලිම් ජාතිකයෙකු මරා දැමා, මුස්ලිම් පල්ලි, නිවාස, ව්‍යාපාරික ස්ථාන, නිවාස ඇතුලු දේපල සියගනනක් විනාශ කෙරිනි. 

මෙය රටේ  සුලුජන කොටස්වලට එරෙහිව දියත් කෙරුනු පාලක පන්තියේ විෂඝෝර සිංහල ස්වෝත්තමවාදී ප්‍රහාරයන්ගේ ඉතිහාසයට එක්වන ලේවැකි සමාජ අපරාධයකි.   

පසුගිය වසරේ මැදභාගයේ සිට මෙම වර්ගවාදී උද්ඝෝෂනයේ ඊලඟ තියුනුම ප්‍රකාශනය වූයේ,   බදුර්දීන්ට එරෙහිව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂගේ එවකට ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාව සහ, සිංහල කාන්තාවන් දහස් ගනනක් වන්ද්‍යාභාවයට ලක්කලේය යන ⁣අභූත චෝදනාව යටතේ කුරුනෑගල රෝහලේ සේවය කල  නාරිවේදී විශේෂඥ වෛද්‍ය සියාබ්දීන් මොහමඞ් සාෆි පොලිස් අත්අඩංගුවට ගැනීම සමඟ දියත්කල මුස්ලිම් භීතිකාවයි. 

කුරුනෑගල රෝහලේ සියලුම වෘත්තීය සමිති වෛද්‍ය සාෆිට එරෙහි උද්ඝෝෂනයට බැස ගත්හ. රාජපක්ෂ ලැදි රාජයේ වෛද්‍ය නිලිධාරීන්ගේ සංගමය (රවෛනිස) මේ ප්‍රතිගාමී උද්ඝෝෂනයේ මුදුනේ ම වැජඹිනි.

වෛද්‍ය සාෆි හා පාස්කු ප්‍රහාරයෙන් පසු අත්අඩංගුවට පත් මුස්ලිම් තරුනයන් වෙනුවෙන් හිස්බුල්ලා අධිකරනයේ පෙනීසිටි අතර ඔහුගේ අත්අඩංගුවට ගැනීම එකී මුස්ලිම් භීතිකාව නැවත කරලියට ගෙන ඒ⁣ම ද අරමුනු කරගත් එකකි.

මැතිවරන නාමයෝජනා බාරගත් මාර්තු 19 දක්වා වසංගතය වැලැක්වීම සඳහා පියවර ගැනීම සාපරාධී ලෙස අතපසු කල ආන්ඩුව, වසංගතය ව්‍යාප්තවීම සම්බන්ධයෙන් විශේෂයෙන් මුස්ලිම් ජනයාට එරෙහිව අවලාද නැඟීමේ මතයක් සමාජගත කිරීම පිනිස, වෛරසය ආසාදිත පුද්ගලයන් අතුරින් මුස්ලිම් ජාතිකයන් ජාතිය හා ප්‍රදේශය අනුව නම් කිරීමේ නීච සේවාවක ආන්ඩු ගැති රාජ්‍ය හා පුද්ගලික මාධ්‍යය යොදවා ගැනුනි.  

පසුගිය ආන්ඩු සමයේ සිට රාජපක්ෂගේ වර්ගවාදී උද්ඝෝෂනයේ කරලියේම සිටගත් රවෛනිස, වසංගතය වැලැක්වීමේ සෞඛ්‍ය ශේෂ්ත්‍රය ඇතුලු සියලු වැඩසටහන් මිලිටරි හස්තයට යටකිරීමේ රාජපක්ෂගේ වැඩපිලිවෙල කරේ තබාගත්තේය. මෑතකදී එය ආන්ඩුවට ඉදිරිපත් කල, වසංගතය නිසා රට අගුලු දැමීමේ ක්‍රියාදාමයෙන් ඉවත් වීමේ වැඩපිලිවෙලෙහි (exit strategy),  එයට අදාල වෛරසය ව්‍යාප්තිය හදුනාගැනීමේ නිර්දේශයන්හි නිර්නායකයක් ලෙස "මුස්ලිම් ජනතාව" යන්න යොදා ගැනීම (ethnic profiling) මෙහි නින්දිතම ප්‍රකාශනයක් විය. සමාජ මාධ්‍ය හරහා එය දැඩි දෝශදර්ශනයට ලක්කෙරුනු පසුබිමක රවෛනිස එම නිර්නායකය ඉක්මනින් හකුලා ගත්තේය.

හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීමට දින කිහිපයකට පෙර, අප්‍රේල් 09 දා, වසංගතය පැතිරීයාම සම්බන්දයෙන් පොලීසිය, මිලිටරිය හා ආන්ඩු⁣ගැති රජයේ හා පුද්ගලික මාධ්‍ය හරහා  මුස්ලිම් මහජනයාට අවමන් සහගත ලෙස වගකීම පැවරීමට උත්සාහ ගනිමින් ගෙනගිය වාර්ගවාදී ප්‍රහාරය මධ්‍යයේ, එයට එරෙහිව තම ෆේස්බුක් ගිනුමේ අදහස් පලකල මුස්ලිම් ජාතික රම්සි රාසික්, 2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිලිබඳ ජාත්‍යන්තර සම්මුති (අයිසීසීපීආර්) පනත යටතේ අත්අඩංගුවට  ගනු ලැබුනි. රාසික් පෙනී සිටින්නේ සිංහල වර්ගවාදී ප්‍රහාරයන්ට එරෙහිව "මතවාදයම ජිහාඩයක්" අවශ්‍යයැයි ⁣යන මධ්‍යම පන්තික ප්‍රතිගාමී උද්ඝෝෂනයක් වෙනුවෙනි.

මේ අතර, ස්ලාම් භක්තිකයන්ගේ සංස්කෘතික චාරිත්‍ර උල්ලංගනය නොකරන ලෙස  මුස්ලිම් සිවිල් සංවිධාන හා දේශපාලකයන් ගනනාවක් කල ඉල්ලීම නොතකමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේද නිර්දේශ වලට ද පටහැනිව, කොවිඩ්-19 රෝගය හේතුවෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ දේහ ආදාහනය කිරීම සඳහා ආන්ඩුව අත්තනෝමතික ලෙස පියවර ගත්තේය. මෙය ද රාසික් තම ෆේස්බුක් ගිනුමේ විවේචනය කර තිබිනි.

ආන්ඩුවේ මෙම ක්‍රියාකලාපය දැඩි දෝශදර්ශනයට ලක් කරමින් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හා සුලු ජාතීන්ගේ අයිතීන් සම්බන්ධ විශේෂ රැපෝර්ටර්වරුන් සිවි දෙනෙකු විසින් ජනාධිපතිට යොමු කරනු ලැබූ ලිපියක සඳහන් කරන්නේ "භූම්දානය කිරීම තහනමි කිරීම අයිසීසීපීආර් උල්ලංගනය කිරීමක්" බවයි. ආන්ඩුවට උපදෙස් දෙමින් ලිපිය ඉල්ලා සිටින්නේ, "විවිධ ජන කොටස්වලට අයත් පුද්ගලයන්ගේ මූලික මානව අයිතිවාසිකම්වලට ගරු කිරීමට පටහැනි හා ආතතිය වැඩි කිරීමට ඉඩ ඇති අනවශ්‍ය ක්‍රියාමාර්ග" ආන්ඩුව නොගතයුතු බවයි.

ආන්ඩුව ඉහත ලිපියට පිලිතුරු යැව්වේ නැත. සෞඛ්‍ය අමාත්‍යංශය මාර්තු 31 දා අනිවාර්යය කර තිබූ  මෙම මලසිරුරු ආදාහනය කිරීමේ මුස්ලිම් පීඩක හා වර්ගවාදී නිර්දේශය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි අප්‍රේල් 12 දා නිකුත් කල ගැසට් නිවේදනයකින් නීතිගත කරන ලදී.

එක් අතකින් අදහස් ප්‍රකාශකිරීමේ විකල්ප මාධ්‍ය ඇහිරීම ද අරමුනු කරගනිම්න් රාසික් මෙසේ අත්අඩංගුවට ගනු ලැබෙන්නේ ආන්ඩුව දැනුවත්වම  මුස්ලිම් ජනකොටස් එල්ලකර ගනිමින් සමාජමාධ්‍ය හා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා නිරනිතරයෙන් කෙරෙන වර්ගවාදී ප්‍රචාරන හා ප්‍රකාශ වලට එරෙහිව කිසිවකුට හෝ එරෙහිව නීතිය ක්‍රියාත්මක කොට නැති පසුබිමක් යටතේය. 

තම පාලනය තුල මුස්ලිම් හා දෙමල ජනකොටස්වලට විරුද්ධව වර්ගවාදී අකටයුතුකම් සිදුකිරීම  රාජපක්ෂ බෞතීසම කලේ ජනාධිපති ලෙස දිවිරුම් දෙමින්, සිංහල ස්වෝත්තමවාදය උත්කර්ශයට නංවමින්, අනුරාධපුරයේදී ගිය නොවැම්බරයේ සිදුකල කිරීඨාරූඩවීමේ කථාවේදීය. සුලුජාතීන්ගේ ජන්ද නොමැතිව තමන්ට සිංහල ජන්දවලින් පමනක් මැතිවරන ජයග්‍රහනය කිරීමට හැකි බවට රාජපක්ෂ එහිදී පුරාජේරු ⁣දෙඩවීය. 

ජනාධිපතිවරනයේදී මෙන්ම, වසංගතයද නොසලකා කඩිනම් කරමින් තිබෙන මහමැතිවරන උද්⁣ඝෝෂනයේදී ද රාජපක්ෂ ප්‍රමුඛ ශ්‍රීලංපොපෙ, ජාතික ආරක්ෂාව හා සිංහල ස්වෝත්තමවාදය ඉදිරියට ගැනීමට සූදානමින් සිටී.

සිරිසේන-වික්‍රමසිංහ ආන්ඩුවේ ප්‍රහාරයන්ට එරෙහිව අඛන්ඩව වැඩෙමින් පැවති කම්කරු පන්තික අරගල, රාජපක්ෂ ආන්ඩුව යටතේ වඩාත් උත්සන්න වෙමින් පැවතියදී  වසංගතය රට ආක්‍රමනය කලේය. 

වසංගතය හමුවේ සහන සේවාවන් සැපයීමේ කිසිදු ක්‍රමවත් ක්‍රමවේදයක් තොරව නගර අගුලු දැමීම, වසංගතයට හා මරනයේ අන්තරයායට කම්කරු මහජනතාව නිරාවරනය කරමින් නැවත වැඩට කැඳවිම, සමාජ අසමානතාවය තීව්‍ර කරන අතර විශාල සමාගම් හා ව්‍යපාර ගලවා ගැනීම සඳහා මහජන මුදල් බිලියන ගනනින් පොම්ප කිරීම, සමාජය දැවැන්ත ලෙස මිලිටරීකරනය කිරීම ආදිය සම්බන්දයෙන් වර්ධනය වෙමින් පවතින්නේ පුලුල් මහජන වික්ශෝපයකි. 

මෙම මහජන අප්‍රසාදය පන්ති අරගල තීව්‍රකරනු ඇතිබවට ගනන්බලා ඇති රාජපක්ෂ ප්‍රමුඛ පාලක පන්තිය දැන් වඩවඩාත් වාර්ගික විභේදනයන් උත්සන්න කිරීමේ ඓතිහාසික කූඨෝපාය ක්‍රියාවට දමමින් සිටී.

වර්ධනය වන මහජන අප්‍රසාදය දෝරගැලීමට පෙර කඩිනමින් මහ මැතිවරනය පවත්වා අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් කරමින් තම ආඥාදායක බලය ශක්තිමක් කරගැනීමට රාජපක්ෂ මාන බලමින් සිටී. රාජපක්ෂ අතුලු පාලක කල්ලිය දැන් සූදානම් කරමින් තිබෙන්නේ මැතිවරන උද්ඝෝෂනයේදී ඉස්මත්තට ගැනීමට නියමිත මුස්ලිම් විරෝධයේ  කොන්දේසිය. 

වසංගතය මධ්‍යයේ පැවැත්වීමට එරෙහිව මතුව ඇති විරෝධය හේතුවෙන් කල්යාහැකි මැතිවරනයකට පෙරාතුව බලය රැකගැනීම සඳහා රාජපක්ෂ බරපතල ආකාරයෙන් මිලිටරිය මැදිහත් කරමින් සිටී.  රාජ්‍ය ආරක්ෂාවේ කඩතුරාව යටතේ මෙම පියවර ගැනීම සඳහා නව අත්අඩංගුවට ගැනීම් හරහා මුස්ලිම් අන්තවාදය පිලිබඳ භතිකාව ඉදිරියට දමමින් තිබේ.  

ආන්ඩුවේ මෙම වර්ගවාදී උද්ඝෝෂනය සම්බන්ධව නාමික විරුද්ධ පක්ෂයට ඇතුලත් වන එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවෙිගය, ජනතා විමුක්ති පෙරමුන හා දෙමල ජාතික සන්ධානය ඇතුලු ධනපති පක්ෂ නිහඬ සහයෝගය දක්වා ඇත. උඩුදුවා යන මහජන අප්‍රසාදය සමස්ථ පාලක පන්තියටම එරෙහි පොරෝ පහරක් වනු ඇති බවට ඔවුන් සංවේදී ය. 

ලංකාව තුල මෙසේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ ජාත්‍යන්තර ප්‍රපංචයක ස්වරූපයකි.  රාජපක්ෂ මෙන්ම එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය සිට ඉන්දියාව දක්වා ලොවපුරා පාලක පන්තීන් වසංගතය ඩැහැගනිමින් මිලිටරීකරනය සහ වර්ගවාදය යොදාගනිමින් කම්කරු මහජනතාවට එරෙහිව ආඥාදායකත්වයන් දෙසට යන ගමන වේගවත් කොට ඇත.

පාලක පන්තියේ මෙම මෘග වාර්ගික උද්ඝෝෂනයන් ෆැසිස්ට් පන්නයේ ප්‍රහාරයන් දක්වා වර්ධනය වීම වලක්වා ප්‍රජාතන්ත්‍රීය හා සමාජ අයිතීන් ආරක්ෂාකල හැක්කේ වාර්ගික රේඛා කපාගෙන කම්කරු පන්තියේ එකමුතුව යටතේ, එම වාර්ගික ප්‍රහාරයන්ගේ හා භේදකරනයන්හි පදනම වන ධනපති පන්ති පාලනයටම එරෙහිව කරනු ලබන සමාජවාදී අරගලයකින් පමනි.

No comments:

Post a Comment