Tuesday, September 11, 2012

සහෝදර සිසුනට විවෘත ලිපියක්


සහෝදර සිසුනට විවෘත ලිපියක්


ශිෂ්‍ය සහෝදරය, සහෝදරිය,
සියලු නිශ්පාදන මාධ්‍යයන්ගේ පාලනයෙන් වියුක්ත කරනු ලැබූ සහ තම ශ‍්‍රමය පමණක් අලෙවි කිරීමට ඇත්තාවූත් පොදු මහත් වැඩකරන පන්තියේ මිනිසුන්ගේ හා ගොවීන් හා මධ්‍යම පාන්තිකයන්ගේ ද දරුවන් වන ශිෂ්‍ය ප‍්‍රජාවකගේ මූලික මිනිස් අවශ්‍යතාවයක් ලෙස නිදහස් හා සමාන අධ්‍යාපන අයිතිය ආරක්ශා කිරීම හා ඔප් නැංවීම පිණිසත්,
ඊට සමගාමීව වඩා පුළුල් අර්ථයෙන් පවතින විනාශකාරී අර්බුදය
ෙන් පිරි හා මානව පරිණාමයේ ඉතිහාසයට සීමා වූ අබලන් ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව ඇති එකම තාර්කික විකල්පය ලෙස සමාජවාදී සමාජ ක‍්‍රමයක් සියලූ ජාතික රාජ්‍යයන්ගේ සීමාවෙන් ඔබ්බෙහි වන ගෝලීය පරිමානව ගොඩනැගීම සඳහා මාක්ස්වාදී නිශ්චිත මාවත ඔස්සේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සමග එක් වෙමින් එකී ව්‍යාපාරය ශක්තිමත් කිරීම සඳහාත්,

ඒ සඳහා සියලූ ප‍්‍රතිගාමීත්වයේත්, ධනේශ්වර මුලාකරනයන්ගෙනුත්, ඊනියා ජාතිකවාදයන්ගෙනුත් මුදවා ගනිමින් ශිෂ්ටාචාරයේ පන්ති පදනම පිළිබඳ මූලික අවබෝධය තුළ ගොඩනැගෙන සමාජවාදී විඥානයක් සෑම අධ්‍යාපන ආයතනයකම ශිෂ්‍ය ප‍්‍රජාව අතරත් සියලූ තරුණ කොටස් අතරත් ගොඩනැගීම හා එය වර්ධනය කිරීම සඳහාත්
යන මූලික අරමුණු අරබයා වන විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් වෙනුවෙන් සියලු සිසුහු සවිඥානිකව එක් විය යුතුව ඇත.
එවන් විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් පහත කොන්දේසි හා අවබෝධයන් තුළ පදනම් වනු ඇත:
01. ධනවාදයේ අති මූලික මූලධර්මය වන්නේ කමිකරුවන්ගේ ශ‍්‍රම බලය වෙතින් අතිරික්ත වටිකාකමක් ලෙස අතිරික්ත ශ‍්‍රමය - නොගෙවූ ශ‍්‍රම කාලය- උදුරා ගැනීමෙන් ලබා ගන්නා පුද්ගලික හෝ සාංගමික ලාභය නීත්‍යානුකූල කිරීමයි. එය ජාතික හා ජාත්‍යන්තර කම්කරු පන්තිය, එනම් තම ශ‍්‍රමය මඟින් ලාභය ලබා දෙන පංතිය, ධනේශ්වර පන්තිය විසින් සූරාකනු ලැබීම පිණිසම පවතින ඇදහිල්ලක් හා භාවිතාවක් වෙයි. නව ලිබරර්වාදය විසින් මෙකී නීත්‍යානුකූල කරන ලද සූරා කෑම පුළුල් සමාජ දේශපාලන සංධර්භය තුළ ස්ථාපිත කරයි.
02. අධිරාජ්‍යවාදයෙන් උත්කෘශ්ඨයට පත් ගෝලීය ධනේශ්වර ක‍්‍රමයට එරෙහිව ක‍්‍රියාත්මක විය හැකි එකම බලවේලය ලෙස කම්කරු පන්තික ස්වාධීන විප්ලවීය වැඩපිළිවෙළින් පරිභාහිර වූ ව්‍යාපාරයක් ශිෂ්‍ය ව්‍යාපාරයකට පැවතිය නොහැකි අතර තම අධ්‍යාපනයේ ද අයිතිවාසිකම් ද ඇතුලූ සියලූ මානව අයිතිවාසිකම් දිනාගැනීමේ අරගලය එකී කම්කරු පන්තික අරගලයේම ඓන්ද්‍රීය කොටසක් ලෙසම පවතී.
03. සමාජ පන්තීන් අතර උසස් ශාස්ත‍්‍රඥානයකින් හෙබි බුද්ධිමත් තරුණ කොටස වන ශිෂ්‍ය ප‍්‍රජාව එකී කම්කරු පන්තික අරගලය සඳහා අවශ්‍ය වන්නාවු පන්ති හා සමාජවාදී විඥානය, ගොඩනැගෙන වෛශික තත්ත්වයන් තුළ කම්කරු පන්තිය වෙත ගෙනයාම සඳහා වන පුරෝගාමී කොමියුනිස්ට්වාදීන්ගේ කර්තව්‍ය ඉටුකිරීමේ වගකීමෙන් බැඳී සිටින්නේය.
04. සෑම ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙක්ම කොමියුනිස්ට්වාදියෙකු වන්නේය. සෑම ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙකුම ක‍්‍රියාත්මක වීමේ ගාමක බලවේගය සියලු පීඩිත පන්තික මිනිසුන් කෙරෙහි වන අසීමිත මානව පේ‍්‍රමය හා දයාව පමණක්ම නොව මානව සමාජය පිළිබඳ භෞතිකවාදී ලෝක දෘෂ්ඨියකින් හෙබි වීම වන හෙයින්ම සැබෑ කොමියුනිස්ට් ලෝක ව්‍යාපාරයක් මෙන්ම විප්ලවවාදී ශිෂ්‍ය-තරුණ ව්‍යාපාරයක්ම නියෝජනය කරන්නේද බහුතරයක් වන පීඩිත ජනතාවගේ අවශ්‍යතාවයන්ය. ඒනයින් සෑම කරුණක් සම්බන්ධයෙන්ම එවන් ශිෂ්‍ය-තරුණ ව්‍යාපාරයක දෘෂ්ඨි කෝණය පීඩිත ගොවි කම්කරු ජනතාවගේ දෘෂ්ඨි කෝණයම වන්නේය.
05. නිදහස් හා සම අධ්‍යාපන අයිතිවාසිකම් අහෝසිකරමින් අධ්‍යාපනය වෙළදපොලකරණය කරනු ලබන ලිබරල් ධනේශ්වර ක‍්‍රමය අනවරත ලාභ අපේක්ෂාවෙන් ශ‍්‍රමිකයන්ගෙන් සූරාකනු ලැබූ නොගෙවූ අතිරික්ත ශ‍්‍රමය මත පදනම් වෙමින් එහි නෛසර්ගික අභ්‍යන්තර ප‍්‍රතිවිරෝධතාවයන් හරහා මිනිස් වර්ගයාට උරුමකොට ඇත්තේ දුප්පත්කම, සමාජ අසමානතාවය, යුද්ධය,දූෂණය, කොල්ලකෑම, නාස්තිය හා අර්බුදය පමණි.
06. ජාත්‍යන්තර වශයෙන් සියලු ධනේශ්වර රාජ්‍යයන් විසින් මිනිසුන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රිය අයිතිවාසිකම් කප්පාදු කරන අතරම එම අන්ඩු හා අර්බුදයට පත් ධනේශ්වර ක්‍රමය තුළම ඉල්ලීම් දිනාගත හැකියයි තොරොම්බල් කරන පුස් රැඩිකල් සංවිධානද ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින්නේ යැයි මවාපාමින් සිටී. මීට එරෙහිව සියලු ප‍්‍රජාතන්ත‍්‍රීය අයිතිවාසිකම් ආරක්ෂා කරගත හැක්කේ ජාත්‍යන්තර වශයෙන් සමාජ සමානතාවය සඳහා වූ ස්වාධීන කම්කරු සටන් ව්‍යාපාරයක් ඔස්සේ පමණි. ප‍්‍රජාතන්ත‍්‍රවාදය අත්‍යන්තයෙන්ම අසාධාරණ ප‍්‍රාග්ධන සමුච්ඡුයකරණයට හා අසම සම්පත් බෙදීයාමේ ක‍්‍රමය හා ප‍්‍රතිවිරෝධී වන්නේය. සබෑ ප‍්‍රජාතන්ත‍්‍රවාදය එබැවින් ආර්ථික ප‍්‍රජාතන්ත‍්‍රවාදය මත අනිවාර්ය ලෙස බැඳී පවතී.
07. ඊනියා සමානාත්මතාවය යනු ධනේශ්වර ක‍්‍රමය තුළ ප්‍රෝඩාවකි. සැබෑ සමානාත්මතාවය සමාජ අසමානතාවය ද සියලු මිනිස් අවශ්‍යතාවයන් හුදු ලාභය ඩැහැගැනීමේ සුලුතර කොටසකගේ උවමනාවන් නීත්‍යානුකූල කරන සමාජ ක‍්‍රමය ද මුලිනුපුටා දැමීමෙන් පමණක්ම උදාකරගත හැක්කේය.
08‍. විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් සියලු ආකාරයේ සංශෝධනවාදයන් ද, සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයන් ද, යහපත් ධනේශ්වර ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් ද, අතරමැදි මාවත් ද, තනි රටේ සමාජවාදය ද ප‍්‍රතික්ශේප කර සිටී. එය වෘත්තීය-සමිතිවාදයෙන් බැහැරව ජාත්‍යන්තර කම්කරු පන්තිය ස්වාධීනව බලමුලු ගන්වන ජාත්‍යන්තරවාදී පක්ෂයක නායකත්වය යටතේ ධනේශ්වරය මුලිනුපුටා දමන ක‍්‍රියාමාර්ගයක් පිළිබඳ පමණක් විශ්වාසය තබයි.
09. එවන් ශිෂ්‍ය ව්‍යාපාරයක් හුදු රැඩිකල් විරෝධතාවයන්, සටන් පාඨ මගින් පවතින ධනපති රාජ්‍ය මත බලපෑම් ඇතිකිරීමේ දේශපාලන ක‍්‍රමවේදය ධනපති ආන්ඩු වෙතින් අයිතිවාසිකම් දිනාගැනීමේ බංකොලොත් ක‍්‍රමවේදයේ කොටසක් පමණක්ම ලෙස සලකන අතර එය කිසිසේත්ම විප්ලවවාදී බහුජන ව්‍යපාරයක් හරහා පුලුල් න්‍යායික අවබෝධයක් තුළ තාර්කිකව, ප‍්‍රජාතන්ත‍්‍රවාදීව, හා සමානාත්මතාවය මත සමාජය හැඩගස්වන දේශපාලන වැඩපිලිවෙලේ පියවරක් ලෙස නොසලකයි.
10. මේ හේතූන් නිසාම, තවදුරටත්, විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් සියලු මූලධරමවාදී හා ගරිල්ලා ක‍්‍රමවේදයන් ද, චේ ගුවේරාවාදය ද ප‍්‍රතික්ශේප කරයි.
11. ජාත්‍යන්තරවාදී පක්ෂයක මගපෙන්වීම යටතේ පමණක්ම විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයකට තම අයිතීන් උදෙසාත් ලෝක සමාජවාදී සමාජයක් සඳහාත් තිරසාර පියවර ගත හැකිවන අතර මාක්ස්වාදී දේශපාලන ආර්ථික න්‍යාය හරහා කරන ලෝක විශ්ලේෂණයන් මත ධනේශ්වර ප‍්‍රතිවිරෝධතාවයන්, එහි වඳභාවය, ආර්ථික භූගෝලියකරණය, ජාතික රාජ්‍ය දියවී යාම, ලෝක මූල්‍ය ආයතනවල ක‍්‍රියාකාරීත්වය ආදිය පිළිබඳ නිරන්තර පුලුල් අවබෝධයකින් එය සන්නද්ධ විය යුත්තේමය.
12. විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් පශ්චාත් නූතනවාදය වැනි අරාජික ධනේශ්වර නිශ්පාදනයන්ගෙන් බැහැරව - ඓතිහාසික භෞතිකවාදය මත පදනම්ව ශිෂ්ඨාචාරයේ ඓතිහාසික ගතිකයන් විශ්ලේෂණය කරමින් රුසියාවේ ස්ටැලින්වාදී නිලධාරීවාදය, ඊනියා කැස්ත්‍රෝවාදය ආදිය පිළිබඳ න්‍යායික සවිඥානකත්වය හරහා පාඩම් උගනිමින් ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත දේශපාලන හා ආර්ථික බලය ලබාගැනීමේ අරගලයට දායක වන්නේය.
එවන් ලෝක ශිෂ්‍ය හා තරුණ ව්‍යාපාරයක් වෙත ලෝකය පුරා ශිෂ්‍යයනි එක්වව් !

No comments:

Post a Comment