Monday, November 9, 2015

ගුණරත්නම් නිදහස් කරනු, පිටුවහල් නොකරනු!

කුමාර් ගුණරත්නම්
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (පෙසප) නායකයෙකු වන කුමාර් ගුනරත්නම් ආණ්ඩුව විසින් අත්අඩංගුවට ගැනීම කම්කරු ශිෂ්‍ය තරුන මහ ජනතාව තරයේ හෙළාදැකිය යුතුය. ඊනියා යහ පාලන ආණ්ඩුව මේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පුද්ගලයෙකුට නිදහසේ දේශපාලනය කිරීමට ඇති අයිතියයි. ප්‍රෝඩාකාරී නීතිමය වහන්තරාවක් මතින් අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමේ යෙදී සිටින ආණ්ඩුව දේශපාලන ප්‍රතිමල්ලවයන් දඩයම් කිරීමේ වැඩපිළිවෙල ක්‍රියාවට දමා තිබේ.

ගුණරත්නම්ගේ අත්අඩංගුවට පිටුපසින් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් සංවිධානයකොට පැවැත්වූ උසස් තාක්ෂණ සිසුන්ගේ උද්ඝෝෂණය හේතු සාධකයක් වූ බවට සාක්ෂි තිබේ.

ලක්බිම පුවත්පත වාර්තාකර තිබූ පරිදි ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතියෙකු වන රංජන් රාමනායක මෙසේ පවසා තිබිණි:
“කුමාර් ගුණරත්නම් මාස කිහිපයකට පාරක් ලංකාවට ඇවිත් රටේ කලබල ඇති කරනවා. එයා එක්කෝ ඉන්න රටේ ඉන්න ඕන. නැතිනම් ලංකාවේ ඉන්න අවසර ගන්න ඕන. මේක දිගටම කරන්න දෙන්න නරකයි. අත්අඩංගුවට අරගෙන පිටුවහල් කරන්න ඕන.”

රටක පුරවැසිභාවය ලබාදීම යන්න ආණ්ඩුවේ දේශපාලන විධායක තීන්දුවකි. ගුනරත්නම්ට අනුව ඔහු ලාංකීය පුරවසිභාබය අත්හැර නැත. කෙසේ නමුත් පුරවැසිභාවය ඔහුට අහිමි කිරීම හෝ එය ලබා නොදීම එකහෙලාම ආණ්ඩුවේ තීරණයකි. රාමනායකලාට ආවශ්‍ය අඩු තරමින් තමන්ට දේශපාලනිකව විරුද්ධව සිටින එවුන් රටින් පිටුවහල් කිරීමයි.

ආණ්ඩුව වැඩකරන මහා ජනතාවට බරපතල අනතුරු සංඥාවක් දී තිබේ. උස්ම ගන්ට පිරිසිදු වාතය ඉල්ලා මීතොටමුල්ල උද්ඝෝෂකයන්ට ආණ්ඩුව පහර දුනේය. බොන්නට පිරිසිදු වතුර ඉල්ලූ හම්බන්තොට බඳගිරිය ප්‍රදේශවාසීන්ට කඳුළු ගෑස් හා බටන් ප්‍රහාර එල්ල කළේය. අනතුරුව තම අධ්‍යාපන අවශ්‍යතාවයන් ඉල්ලා සිටිමින් සාමකාමී ලෙස උද්ඝෝෂණය කල සිසුන් සිසුවියන්ට ම්ලේච්ච අන්දමින් රජය පොලිස් ප්‍රහාරයක් එල්ල කළේය. මේ මගින් ආණ්ඩුව දිගින් දිගටම පෙන්වා ඇත්තේ ඉදිරියේදී එන ඕනෑම උද්ඝෝෂණයකට ආණ්ඩුවේ ප්‍රතිචාරය වනු ඇත්තේ දරුණු මර්ධන යාන්ත්‍රනය ක්‍රියාවට දමනු ඇති බවයි. උද්ඝෝසහනවලට පහර දීම, අත්අඩංගුවට ගැනීම්, නඩු පැවරීම හා තහනම් නියෝග ලබා ගැනීම, ස්ට්‍රයික් සටන් කඩාකප්පල් කිරීම සඳහා මිලිටරිය යොදා ගැනීම යහමින් කෙරෙනු ඇති.

අන්ත නය බරින් හා අයවැය පරතරය ශීග්‍රයෙන් පහත දැමීම සඳහා ලෝක බැංකුවට හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ශපතකොට ඇති ආණ්ඩුව මෙවර අයවැය ලේඛනයට යෝජනා කර ඇති රාජ්‍ය ආරක්ෂක වියදම් රුපියල් බිලියන 308 කි. මෙය මෙතෙක් මෙරට ආණ්ඩුවක් විසින් වෙන්කළ වැඩිම ආරක්ෂ්යක වියදමයි. ඊට සාපේක්ෂව අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 174කි. ලංකාවේ නය බර දල දේශීය නිස්පාදනයේ අනුපාතයක් ලෙස 2010 දී පැවතී 30% සිට 94% දක්වා ඉහල ගොස් තිබේ. ලංකාවේ විදේශ සංචිතය යන්තම් මාස සතරක කාර්තුවක ආයෝජන සඳහා පමනක් ප්‍රමාණවත් ඩොලර් බිලියන 4.5 කි. මෙයින් වැඩි ප්‍රමාණයක් විදේශ බැංකු වලින් ලබාගත් අධි පොලී නය වේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල උපදෙස් දී ඇති පරිදි ලබන වසරේ අයවැය පරතරය 6.5 සිට 5.5 දක්වා අඩු කල යුතුව තිබේ.

ලෝක ආර්ථික අපගමනය හමුවේ ගෝලීය වශයෙන් සිදුවන බූ දේශපාලන වෙනස්වීම් හරහා අපනයන වෙළඳපොල හැකිලීම මගින් ලංකාවේ ආර්ථික දේශපාලන වේදිකාව තීරණය වේ. ඉහත ආර්ථික කලබගෑනිය යටතේ තවදුරටත් මහජන සහන කප්පාදුව, බදු ඉහල දැමීම හා බඩු මිල ඉහල දැමීම අනිවාර්ය කටයුත්තක් ලෙස ක්‍රියාවට දැමීමට ආණ්ඩුවට සිදුවනු ඇත. රැකියා වියුක්තිය ඉහල යාම හා කුණු කොල්ලයට කම්කරු ශ්‍රමය විකිණීම තර කිරීම, පඩි සංකෝචනය වීම, මහා පරිමාන ආයෝජනවලට ශ්‍රම සූරා කෑමේ අයිතිය සුරකින ප්‍රතිපාදන හරහා සහන සැලසීම , පුද්ගලීකරණය ඒ සමග ගලා එන වැඩ පිලිවෙලවල්ය. ඒ අනුව ජීවන කොන්දේසි වඩවඩාත් ආපස්සට තල්ලු කිරීමත්, මෙතුවක් කල් වැඩකරන ජනතාව ජයග්‍රහණය කල අයිතිවාසිකම් කප්පාදු කිරීමත් සිදු කෙරෙනු ඇත. එහෙත් මේ කිසිවක් කම්කරු පීඩිත මහා ජනතාවගේ කඳුළු හා ලේ මතින් මිස සාක්ෂාත් කිරීමට කිසිදු ආණ්ඩුවකට හැකියාවක් නැත. ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් වෙත මරු පහරවල් එල්ල කෙරෙනු ඇත්තේ මේ තතු යටතේය.

උද්ඝෝෂණයේ යෙදෙන මහජනතාවට, සිසුන්ට පහරදීම හා දේශපාලන විරුද්දවාදීන් දඩයම් කිරීම එහි අවශ්‍යම අංගයයි. සිදුව ඇති සිද්දි දාමය එන්නට පවතින මර්ධන දම්වැලේ මුල් පුරුක් කිහිපය පමණි.
කම්කරු පීඩිත ජනතාව ගුණරත්නම් නිදහස් කර ගැනීම සඳහා පෙරට ආ යුත්තේ ඉහත කී කප්පාදු වැඩ පිළිවෙලට හා ප්‍රජාතන්ත්‍ර විරෝදී මර්ධනය අවසන් කිරීමේ වැඩ පිළිවෙලක කොටසක් ලෙසයි. එය අත්‍යන්තයෙන්ම ජාත්‍යන්තරව වර්ධනය වන තුන්වන ලෝක යුද අන්තරයට එරෙහිව වන සටනක් ද වේ. එසේම කම්කරු මහා ජනතාව, ශිෂ්‍යයින්, තරුණයන් සිහි තබා ගත යුතු වැදගත් කරුණ වන්නේ ගුණරත්නම් පෙනීසිටින දේශපාලන ප්‍රවාහය, එනම් පෙසප යනු අධිරාජ්‍ය ගැති මෛත්‍රී-රනිල් ආණ්ඩුව බලයට ගෙන ඒමට වක්‍රව සියලු දේ කල ව්‍යාජ වාම සංවිධානයක් පමණක් බවයි. කම්කරු මහ ජනතාව, ශිෂ්‍යයින්, තරුණයන් ඒ හෝ මේ ධනපති අඩු නපුරට ගැට ගසන අවස්ථාවාදී ප්‍රවනතාවයක් වන පෙසප තැත් කරන්නේ ග්‍රීසියේ මහා ජනතාවගේ කැමැත්ත යුරෝපානු ට්‍රොයිකාවට පාවාදුන් සිරිසා බඳු ප්‍රෝඩාකාරී ව්‍යාපාරයක් ලංකාව තුල ගොඩ නැගීමයි. කම්කරු පන්තියේ ස්වාදීන විප්ලවවාදී අරගලය තුලින් ලෝක සමාජවාදය සඳහා වන ඉදිරිදර්ශනයක් වෙතින් කම්කරු පීඩිත ජනතාව ඈත් කර තැබීම සඳහා කැපවී වැඩ කරන පෙසප මාක්ස්වාදී වචන හරහා වෙස්මාරු කර ගෙන සිටී. එයම කියා ඇති පරිදි එය සුරකින්නේ රෝහණ විජේවීරගේ උරුමයයි.

ඉහත දේශපාලන පාඩම් තිබියදීම කම්කරු පන්තිය තමන්ගේ ආරක්ෂාවට සැරසිය යුතුය. ගුණරත්නම් වහා නිදහස් කරනු! ඔහුව පිටුවහල් නොකරනු!

(image credit to newsfirst.lk)

No comments:

Post a Comment