Thursday, March 8, 2018

වර්ගවාදයට එරෙහිව පන්ති විඤ්ඤාණය


වර්ගවාදයට එරෙහිව පන්ති විඤ්ඤාණය

රටේ විවිධ ප්‍රදේශවල මුස්ලිම් පීඩිත මහජනතාවට එරෙහිව එල්ල කරනලද වාර්ගික ම්ලේඡ ප්‍රහාර සියලු කම්කරු පීඩිත මහජනතාව පිලිකුලින් යුතුව හෙලා දැකිය යුතුය.  සිංහල වර්ගවාදී නඩ විසින් මෙහෙයවන ලද මෙම ප්‍රහාර සෑම අනුප්‍රාප්තික ධනපති   රජයක්  සේම  අර්බුද ග්‍රස්ත  සිරිසේන-වික්‍රමසිංහ  ආන්ඩුව විසින් ඉවසා සිටියා පමනක් නොව එයට අනුබල දෙමින් වාර්ගික රේඛා මත සිංහල මුස්ලිම් කම්කරු පීඩිත මහ ජනතාව විරසක කොට බෙදා දැක්වීම සදහා කටයුතු කරනු ලැබීය.  ආන්ඩුව වැඩට බැස ඇත්තේ ප්‍රජාතන්ත්‍ර විරෝධී හදිසි නීතිය ක්‍රියාත්ම්ක කරමින්,  සමාජ මාධ්‍ය ජාලා අවහිර කරමින් හා මිලිටරි හා පොලිස් මර්දනය දිගේලි කරමිනි. 

මෙම තත්ත්වය යටතේ සිංහල මහ ජනතාව වර්ගවාදයට ගොස් ඇතැයි ගෙන යන ප්‍රදාන ධාරාවේ මාධ්‍ය හා සමාජ ජාල ප්‍රචාර එහි හරයෙන්ම වඳය. වර්ගවාදය මහ ජනතාව මත සැමවිටම පිටතින් පටවන්නකි. ඔවුන් එදිනෙදා අත්විදින කටුක ජීවන අත් දැකීම් වලට විසදුම් නොදෙන ආන්ඩු ඔවුන් මත කප්පාදු වැඩපිලිවෙල ක්‍රියාවට දැමීමත් සමග ධනවාදී අර්බුද සමයේදී සැබෑ සමාජවාදී විකල්ප දේශපාලන ඉදිරිදර්ශනයක් වහංගුකල රික්තකය තුල වර්ගවාදී විශබීජ යහමින් පෝශනය කර උත්සන්න කෙරේ.

සෑම රටකම වර්ගවාදීන් ධනවාදයේ අතිශය අර්බුද සමයන්හි වර්ගවාදය න්‍යායගත කිරිමට හා  වගා කිරීමට ඇතිතරම් කරුනු ඉදුරිපත් කරනු ඇත. ඒ සෑම කරුනකම පොදු සාදකය ලෙස තම වර්ගයාගේ අනන්‍යතාවය ට  හා එයට ඇති වරප්‍රසාදවලට එරෙහිව ඇති ඊනියා තර්ජනයක් මතු කෙරේ. බොහෝ විට එකී කරුනු ඉතිහාසය මුසාකරනයට ලක් කිරීමෙන් ව්‍යුත්පන්න කරනු ලැබේ. කෙසේ නමුත් මෙම ව්‍යාපාරවල අවසන් ප්‍රතිඵලය වන්නේ  වෛරී වාර්ගික ප්‍රචන්ඩත්වය තවත් ජන කොට්ටාශයකට එරෙහිව  මුදා හැරීමයි. 

වර්ගවාදීන්ගේ ඒ හෝ මේ න්‍යායික හා  ඓතිහාසික තර්ක සමග පැටලීම සහමුලින්ම නිරර්තකය. ධනවාදී ජාතික රාජ්‍ය පද්ධතිය තුල වර්ගවාදය අත්‍යවශ්‍ය අංගයකි.  ඔනෑම වර්ගවාදයකට එරෙහි  සැබෑ දේශපාලන ඉදිරිදර්ශනයක් පදනම් විය යුත්තේ වර්ගවාදය පදනම් කෙරෙන හා මිනිස් සංහතිය වාර්ගික රේඛා හරහා බෙදා දැක්වීම මත පදනම් වන බංකොලොත් ධනපති ක්‍රමයටම එරෙහිව කරන ක්‍රම විරෝදී අරගලයක් මතය. 

ධනවාදයේ අර්බුද සමය යනු එක් අතකින් වර්ගවාදය, ජාතිකවාදය, ආරක්ශනවාදය, ජාතික සංශෝදනවාදය ඇතුලු  සියලු ආකාරයේ ප්‍රතිගාමීත්වයන් වර්ධනය කරන අවදියක් වන අතරම, අනික් පසින් එය පන්ති අරගලයේ උච්චතම අවදියක් ද වේ. 

විවිධාකාරයේ විඤ්ඤාණවාදී මිත්‍යාවන්ට   එරෙහිව  ඓතිහාසික සත්‍ය සදහාත් ජාත්‍යන්තරවාදය සඳහාත් භෞතිකවාදීව මහජනතාව උගන්වා ගනිමින් කම්කරු පීඩිත මහ ජනතාව එක් කරනු ලබන තම පන්ති විඤ්ඤාණය සඳාහා සටන් කිරීම එකී  ක්‍රමවිරෝදී හා වර්ගවාදයට එරෙහි අරගලයේ අත්‍යවශ්‍ය කොන්දේසිය වේ.

Image credit to hindustantimes

No comments:

Post a Comment