Sunday, May 12, 2019

ත්‍රස්තවාදය ද, ෆැසිස්ට් පන්නයේ වර්ගවාදයද, රාජ්‍ය මර්ධනයද අවසන් කරන්නේ කෙසේ ද?

පාස්කු ඉරිදා කුරිරු ප්‍රහාරය දියත්කල මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය හා මුස්ලිම් පල්ලිවල හා නිවෙස්වල කඩු සොයාගැනුනේ යැයි කියන කරුන අතර සම්බන්ධයක් දක්වමින් සාමාන්‍ය මුස්ලිම් කම්කරු මහජනයාද ත්‍රස්තවාදී ගොඩට දැමීම හරහා මුස්ලිම් මහජනයාට එරෙහිව වර්ගවාදී ලේවැකි ප්‍රහාරයක් දියත් කිරීම සඳහා සිංහල වර්ගවාදී බෞද්ධ අන්තවාදී සංවිධාන දැන් මාන බලමින් සිටී.

දෙමල මහජනයාට එරෙහිව දියත් කල වර්ගවාදී යුද්ධය 2009 දී අවසන් වීමත් සමඟ රාජපක්ෂ තන්ත්‍රය යටතේ ශක්තිමත් කෙරුනු සිංහල වර්ගවාදී බෞද්ධ අන්තවාදී “බොදුබල ⁣සේනා”,”සිහල රාවය”, “රාවනා බලකාය” “සංහලේ” වැනි සංවිධාන විසින් දිගන,අලුත්ගම ඇතුලු රටේ නොයෙක් ප්‍රදේශවල දියත් කෙරුනු මුස්ලිම් විරෝධී ප්‍රහාර හා ප්‍රකෝපකරනයන් මුස්ලිම් තරුනයන්ගේ රැඩිකලීකරනය වීමට සෘජු හේතුව වූ බව හොඳටම පැහැදිලි විය යුතුය. ⁣සිංහල මහ ජාතියේ පොලීසියේ රැකවරනය යටතේ මුදාහරින එවන් වර්ගවාදී ප්‍රහාරයකට නැවත නිරායුදව මුහුන දීමට කිසිදු සුලු ජන කොටසක් නම් සූදානම් වේ ද?  

සිංහල, මුස්ලිම් කම්කරු මහජනතාව, තරුනයන් තමන් එකිනෙකාගෙන් බෙදා ලන සියලු වාර්ගික හා ආගමික අන්තවාදයන්ට එරෙහි විය යුතුය. පාස්කු ප්‍රහාරය ගසා කමින් දේශපාලන හා ආර්ථික අර්බුදයේ ගිලී සිටින ධනපති ආන්ඩුව ප්‍රමුඛ පාලක පන්තිය ආන්ඩුවේ කප්පාදු වැඩපිලිවෙලට එරෙහිව අරගලයට පිවිසෙමින් සිටි කම්කරු පන්තියට එරෙහිව දැන් රුදුරු පොලිස් මිලිටරි මර්ධන යාන්ත්‍රනය ලිහා හැර තිබේ.

ත්‍රස්තවාදයටද, ෆැසිස්ට් පන්නයේ වර්ගවාදයටද, රාජ්‍ය මර්ධනයටද එරෙහි කම්කරු පන්තියේ වැඩපිලිවෙල කුමක් ද?

කම්කරු පන්තියේ එවන් වැඩපිලිවෙලක ආරම්භක පියවර වන්නේ සමස්ථ රාජ්‍ය මර්ධන යාන්ත්‍රනය කොන්දේසි විරහිතව ප්‍රතික්ශේප කිරීමයි. එය  ව්‍යාජ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය හා ජනරජ ව්‍යවස්ථාව ඇතුලු ධනපති රාජ්‍යය ප්‍රතික්ශේප කිරීමේ මුල් පියවරකි. අනතුරුව සෑම ගමක්, නගරයක්, වැඩබිමක් තුලම පාසා කම්කරු ආරක්ශන කමිටු පිහිටුවා ගනිමින් කම්කරු පීඩිත මහජනතාව⁣ගේ ආරක්ෂාව රාජ්‍ය මර්ධන යාන්ත්‍රනනයන් ගලවාගෙන තම ආරක්ෂාව තම පන්තිය අතට ගැනීමයි. එම කම්කරු මහජන ආරක්ෂන කමිටුවල මූලිකම එල්ලය විය යුත්තේ සියලු ආකාරයේ වර්ගවාදයන්ට, ප්‍රතිගාමීත්වයන්ට හා සූරාකෑමේ ක්‍රමයේ  මූලය වන ධනපති පන්ති සමාජය අහෝසි කිරීමේ ජාත්‍යන්තර සමාජවාදී ඉදිරි දර්ශනයට සටන් වැදීමයි. ඒ සඳහා අත්‍යවශ්‍යම කොන්දේසිය වන්නේ ජාත්‍යන්තර කම්කරු පන්තික පක්ෂයේ නායකත්වය යි.

තවත් ලේවැකි සිවිල් යුද්ධයක් හෝ කලු ජුලියක් වලක්වා ගත හැක්කේ ⁣පොදු කම්කරු මහජනතාවගේ එවන් එක්සත් වැඩපිලිවෙලකින් පමනි.

No comments:

Post a Comment