Friday, October 30, 2026

එල්කාඩෝ සමාගම විවෘත අධිකරණයේදී පාරිභෝගිකයාගෙන් සමාව අයදියි

 එල්කාඩෝ සමාගම විවෘත අධිකරණයේදී පාරිභෝගිකයාගෙන් සමාව අයදියි

පාරිභෝගිකයාට රුපියල් 100,000 ක මුදලක් ගෙවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නියෝගයට එරෙහිව ඉදිරිපත් කළ රිට් පෙත්සම අභියාචනාධිකරණය සලකා බලයි.

කොළඹ, ඔක්තෝබර් 29 — එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම, පාරිභෝගිකයෙකුගේ පරිශ්‍රයේ රෝලර් දොරක් සහ විකට් ගේට්ටුවක් සවිකිරීමේදී සිදු වූයේ යැයි කියන අසාධාරණ ලෙස අමතර මුදල් අයකිරීම් සහ ප්‍රමාදයන් හේතුවෙන් පැන නැගුණු නීතිමය ආරවුල අවසන් කරමින්, බ්‍රහස්පතින්දා (29) අභියාචනාධිකරණය හමුවේ විවෘත අධිකරණයේදී එකී පාරිභෝගිකයාගෙන් සමාව අයැද සිටියේය.

මෙම සමාව ඇයැදීම සිදුවූයේ, පාරිභෝගික කටයුතු අධිකාරිය සහ අදාළ පාරිභෝගිකයාට එරෙහිව එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් ගොනු කරන ලද CA/Writ/460/2026 දරන රිට් පෙත්සම කරුණු දැක්වීම (support) සඳහා කැඳවූ අවස්ථාවේදීය.

රෝලර් දොර සහ විකට් ගේට්ටුව සවිකිරීම වෙනුවෙන් පනවන ලද අමතර ගාස්තු සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව, අදාළ පාරිභෝගිකයාට රුපියල් 100,000 ක මුදලක් ගෙවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය නිකුත් කළ නියෝගය අභියෝගයට ලක් කරමින් සමාගම විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

ආරවුලේ පසුබිම

මෙම ආරවුල ආරම්භ වූයේ 2021 දෙසැම්බර් මාසයේදී, අදාළ පාරිභෝගිකයා තමාගේ පරිශ්‍රයේ රෝලර් දොරක් සහ විකට් ගේට්ටුවක් සැපයීම සහ සවිකිරීම සඳහා එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම වෙත ඇණවුමක් භාරදීමත් සමඟය.

කෙසේ වෙතත්, මුලින් අපේක්ෂා කළ පරිදි සවිකිරීමේ කටයුතු අවසන් නොවීම හේතුවෙන් දෙපාර්ශ්වය අතර දීර්ඝ කාලීන ආරවුලක් හටගත්තේය. මාස හතකට වැඩි කාලයක් පාරිභෝගිකයාගේ නිවස අපේක්ෂිත ආරක්ෂිත ආවරණයෙන් තොරව පැවති අතර, එමඟින් දේපළට අවදානම් සහ අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත විය.

පසුව සමාගම විසින් සවිකිරීමේ කටයුතු සඳහා ඉහළ නංවන ලද මිල ගණන් සහිත නව මිල ගණන් කැඳවීමක් (quotation) නිකුත් කරන ලද අතර, තම පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කරගැනීමේ අරමුණින් පාරිභෝගිකයා එකී මිල ගණන් පිළිගත්තේය. ඉන් අනතුරුව රෝලර් දොර සහ විකට් ගේට්ටුව සවිකර දෙන ලදී.

එසේ වුවද, සංශෝධිත මිල ගණන් පිළිගැනීම තමා ඉදිරිපත් කළ පැමිණිල්ල ඉල්ලා අස්කරගැනීමක් හෝ සහනයක් ලබාගැනීමට ඇති අයිතිය අතහැරීමක් ලෙස සැලකිය නොහැකි බව දක්වමින් පාරිභෝගිකයා පාරිභෝගික කටයුතු අධිකාරිය හමුවේ පැවති සිය පැමිණිල්ල ඉදිරියටම පවත්වාගෙන ගියේය.

විමර්ෂනය අවසානයේ, පාරිභෝගිකයාට රුපියල් 100,000 ක මුදලක් ගෙවන ලෙස පාරිභෝගික කටයුතු අධිකාරිය එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගමට නියෝග කළේය. එම නියෝගයට එරෙහිව සමාගම අභියාචනාධිකරණයේ රිට් අධිකරණ බලය අයැද සිටියේය.

අභියාචනාධිකරණය හමුවේ ඉදිරිපත් වූ තර්ක

නඩු විභාගයේදී, 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු අධිකාරිය පනතේ 13 වන වගන්තිය යටතේ පාරිභෝගික කටයුතු අධිකාරියට ඇති බලය එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම විසින් පිළිගන්නා ලදී.

කෙසේ වෙතත්, පාරිභෝගිකයා විසින් පිළිගන්නා ලද ඉහළ නංවන ලද මිල ගණන්වලට අනුකූලව රෝලර් දොර සහ විකට් ගේට්ටුව පසුව සවිකර දීම මඟින් තමන්ගේ ගිවිසුම්ගත බැඳීම් පූර්ණ වශයෙන් සහ අවසානාත්මකව ඉටු කර ඇති බව සමාගම වෙනුවෙන් තර්ක කරන ලදී.

ඒ අනුව, අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් සහන ඉල්ලා සිටීමට පාරිභෝගිකයාට නීතිමය ඉඩක් නොමැති බව (estopped) සමාගම කියා සිටියේය.

අධිකරණය එම තර්කය පිළිගැනීම ප්‍රතික්ෂේප කළ අතර, පාරිභෝගිකයා එකී ඉහළ නංවන ලද මිල ගණන් පිළිගෙන ඇත්තේ වෙනත් විකල්පයක් නොමැතිකමින් බලකෙරුණු තත්ත්වයන් යටතේ බව නිරීක්ෂණය කළේය.

සමාජ නොසන්සුන්තාවන් සහ ආරක්ෂක බිය පැවති කාල පරිච්ඡේදයක, රෝලර් දොර සහ විකට් ගේට්ටුව නොමැතිව මාස ගණනාවක් තිස්සේ අදාළ පරිශ්‍රය අනාරක්ෂිතව පැවති බව එහිදී සටහන් විය.

මෙම කරුණු හමුවේ, පාරිභෝගිකයා ඉහළ නංවන ලද මිල ගණන් පිළිගැනීම යනු ඔහු තමාගේ පැමිණිල්ල ස්වේච්ඡාවෙන් සහ කොන්දේසි විරහිතව අතහැර දැමීමක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය සඳහන් කළේය.

වැදගත්ම කරුණ වන්නේ, පාරිභෝගිකයා පාරිභෝගික කටයුතු අධිකාරිය හමුවේ පැවති සිය පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන නොතිබීමත්, විභාග වෙමින් පැවති නඩු කටයුතු ඉදිරියට ගෙනයාමට ඇති අයිතිය අතහැරීමට එකඟ වී නොතිබීමත්ය. ඔහු සංශෝධිත මිල ගණන් පිළිගෙන ඇත්තේ අධිකාරියට ඉදිරිපත් කර ඇති පැමිණිල්ලට හානියක් නොවන පරිදිය (without prejudice).

සමාගම විවෘත අධිකරණයේදී සමාව අයදියි

නඩු විභාගය අතරතුර, වසර ගණනාවක් තිස්සේ පැවති මෙම ආරවුල අවසන් කිරීම සඳහා මිත්‍රශීලී සමාදානයකට එළඹීමේ හැකියාව පිළිබඳව සොයා බලන ලෙස අධිකරණය දෙපාර්ශ්වයට යෝජනා කළේය.

පාරිභෝගිකයා වන නීතිඥ සංජය ජයසේකර මහතා ප්‍රකාශ කළේ, සමාගමෙන් සමාව ඇයැදීමක් (apology) ලැබෙන්නේ නම් සහ එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම රුපියල් 100,000 ක මුදලක් මහජන උපකාරයක් (charity) සඳහා පරිත්‍යාග කරන්නේ නම් පමණක් මෙම ගැටලුව නිරවුල් කරගැනීමට තමන් කැමති බවයි.

පාරිභෝගිකයාට සිදු වූ අපහසුතාවය පිළිබඳව ඔහුගෙන් සමාව ඇයැදීමට තමන් සූදානම් බව එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම ප්‍රකාශ කළ අතර, එම ස්ථාවරය අධිකරණයේ සටහන් කරගන්නා ලදී.

කෙසේ වෙතත්, යෝජිත මහජන සහන පරිත්‍යාග මුදල ගෙවීම සමාගම විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

ඉන් අනතුරුව, එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් සමාගම නියෝජනය කළ අමාදෝරු මහතා විවෘත අධිකරණයේදී ජයසේකර මහතාගෙන් පුද්ගලිකවම සමාව අයැද සිටි අතර, පාරිභෝගිකයා විසින් එම සමාව ඇයැදීම පිළිගන්නා ලදී.

එම සමාව ඇයැදීමත් සමඟ වසර පහකට ආසන්න කාලයක් තිස්සේ පැවති ආරවුල අවසාන විය.

ඒ අනුව, අදාළ රිට් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කිරීමක් සිදු නොකෙරුණි.

මුදල් අයකරගැනීමේ නඩු කටයුතු ඉදිරියට නොගෙනයාමට පාරිභෝගික කටයුතු අධිකාරිය පොරොන්දු වෙයි

සමාව ඇයැදීම පිළිගැනීමෙන් අනතුරුව, සමාගම විසින් පාරිභෝගිකයා වෙත ගෙවිය යුතු බවට මීට පෙර නියෝග කරන ලද රුපියල් 100,000 ක මුදල අයකරගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු කටයුතු ආරම්භ නොකිරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය ප්‍රතිඥා දුන්නේය.

දෙපාර්ශ්වය විසින් ගන්නා ලද ස්ථාවරයන් සහ පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දෙන ලද ප්‍රතිඥාව සලකා බලමින්, අභියාචනාධිකරණය හමුවේ පැවති නඩු කටයුතු අවසන් කරන ලදී.

මෙම සිදුවීම පාරිභෝගික දැනුවත්භාවයේ ඇති වැදගත්කම මැනවින් පැහැදිලි කරයි. එමෙන්ම, අදාළ නියාමන අධිකාරිය හමුවේ පාරිභෝගික පැමිණිල්ලක් විභාග වෙමින් පවතිද්දී, මහා පරිමාණ සමාගමක් සහ පාරිභෝගිකයෙකු අතර පවතින බල අසමතුලිතතාවය හමුවේ, වෙනත් විකල්පයක් නොමැතිකමින් බලකෙරුණු තත්ත්වයන් යටතේ සංශෝධිත ගිවිසුම් කොන්දේසි පිළිගැනීමේ ඇති නීතිමය බලපෑම සහ පාරිභෝගික ආරක්ෂණ යාන්ත්‍රණයන්හි ඇති වැදගත්කම ද මෙමඟින් තහවුරු කෙරේ.

නීති නියෝජනය

18 වන වගඋත්තරකාර පාරිභෝගිකයා වෙනුවෙන් නීතිඥ එස්. ඒ. කිෆ්සියා බානු මහත්මියගේ උපදෙස් මත නීතිඥ ලක්ෂ්මන් ජෙයකුමාර් මහතා පෙනී සිටියේය.

පෙත්සම්කාර එල්කාඩෝ ඉන්ඩස්ට්‍රීස් (පුද්ගලික) සමාගම වෙනුවෙන් නීතිඥ භාග්‍යා හේරත් මහත්මිය පෙනී සිටියාය.

පාරිභෝගික කටයුතු අධිකාරිය වෙනුවෙන් රජයේ නීතිඥවරියක් පෙනී සිටියාය.

විනිසුරු මයාදුන්නේ කෝරයා සහ විනිසුරු නවරත්න මාරසිංහ යන මහත්වරුන්ගෙන් විනිසුරු මඬුල්ල සමන්විත විය.


No comments:

Post a Comment